සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසාන ටෙස්ට්
තරගයේ ඔස්ට්‍රේලියාව කඩුලු සබඳතා ගොඩනගමින් පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව
අභිබවා යාමට ඊයේ සමත් විය.
දෙවැනි දින තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 6කට ලකුණු 342ක් ලබා ගෙන ශ්‍රී
ලංකාව ට වඩා ලකුණු 48කින් පෙරමුණ ට පිවිස සිටියේය. ඒ, තවත් කඩුලු 4ක්ද අතැතිවය.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබා ගත්තේ ලකුණු 294කි.
ඔස්ට්‍රේලියානු පිතිකරුවන් කඩුල්ලට පැමිණි වහාම ඔවුන්ට අභියෝග එල්ල කිරීමට
ශ්‍රී ලංකාව අසමත් විය. මේ හේතුවෙන් විටින් විට ගොඩනැගුනු කඩුලු සබඳතා මතින්
ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කර ගත්තේය.
දර්ශනීය පිතිහරඹයන්හි නිරත වෙමින් ඩේවිඩ් වෝනර් ලකුණු 85ක්ද, ෆිල් හියුස්
ලකුණු 87ක්ද වාර්තා කළ අතර නායක මයිකල් හසී අර්ධ ශතකයක් ලබා ගත්තේය.
දිවා ආහාරය සඳහා ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකාව ට ලබා ගැනීමට හැකිව තිබුණේ
එක් ඔස්ට්‍රේලියානු කඩුල්ලක් පමණි. ඒ, එඩ් කොවන් (4) දුවද්දී දවා ගැනීම ය. ඔහු
දැවී ගියේ ඊයේ තරගයේ යැවුනු 6 වැනි ඕවරයේදීය. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව
36ක් විය.
ධම්මික ප්‍රසාද් ගේ පන්දුවට පහරක් එල්ල කළ ඩේවිඩ් වෝනර් ලකුණක් කරා ඉක්මනින්
දිව ගියේය. ඔහු දෙවැනි ලකුණ කරා දිව යාමට ආපසු හැරුණු විට කොවන් මඳක් පසුබට විය.
එහෙත් වෝනර් දෙවැනි ලකුණ කරා දිව යාමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. නුවන් ප්‍රදීප්
පන්දුව ප්‍රසාද් වෙත වීසි කළ අතර ඒ වන විට කොවන් සිටියේ කඩුල්ලට බොහෝ ඈතිනි.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට වෝනර් හා ෆිල් හියුස් යන වමත් පිතිකරුවන්
දෙදෙනාම අර්ධ ශතක වාර්තා කර සිටි අතර ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් පමණක් දැවී
ලකුණු 127ක් රැස්කර ගෙන සිටියේය.
ඔස්ට්‍රේලියානු ඉනිමට ශක්තිමත් අත්තිවාරමක් දමමින් සිටි වෝනර් හා හියුස් ගේ
සබඳතාව අවසන් වූයේ දිවා ආහාරයෙන් පසුව යැවුනු 8 වැනි ඕවරයේදීය. තිලකරත්න
ඩිල්ෂාන් ගේ දඟ පන්දුවට වෝනර් අහස දෙසට පහරක් එල්ල කළ අතර ප්‍රසාද් ‘ලෝන්ග් ඕන්’
ස්ථානයේ සිට පිටුපසට දිව යමින් උඩ පන්දුව රැක ගත්තේය.
මේ වමත් පිතිකරු යුගළය
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 29යි පන්දු 4කදී ලකුණු 130ක සබඳතාවක් ගොඩනැගූහ.
මුළු ලකුණු 166දී වෝනර් දැවී යන විට ඔහු ලකුණු 85ක් ලබා ගෙන සිටියේය. ඒ පන්දු
84කිනි. මිනිත්තු 150ක් කඩුල්ලේ රැඳී සිටි ඔහු හතරේ පහර 10ක් එල්ල කළේය. ඊයේ දෙවැනි
දින තරගය ආරම්භයේ පළමු පන්දුවෙන්ම ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුවට ලකුණු එකතු
කළේද වෝනර්ය.
ඒ, සුරංග ලක්මාල් ගේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කරමිණි.
සිවුවැනි ඕවරයේදී වෝනර්, නුවන් ප්‍රදීප් ගේ පන්දුවලට පිට පිට හතරේ පහර තුනක්
එල්ල කරමින් ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළේය.
හියුස් හා මයිකල් ක්ලාක් මුළු ලකුණු ප්‍රමාණය 195 දක්වා ඉහළ නංවමින් සිටියදී
හියුස් දැවී ගියේය. ඒ කඩුල්ල ලබා ගත්තේ ඊයේ තරගයේ උදය වරුවේ පන්දු රකින්නකු
පමණක් ලෙසින් ක්‍රීඩා කරමින් සිට දිවා ආහාරයෙන් පසුව පන්දු යැවීම සඳහා කැඳවනු
ලැබූ රංගන හේරත්ය.
ඔහුගේ 8 වැනි ඕවරයේදී පන්දුව හියුස් ගේ පිත්තේ ගෑවී කඩුලු
රකින දිනේෂ් චන්දිමාල් ගේ දෑතට ගියේය. මිනිත්තු 159ක් තිස්සේ පන්දු 143කට මුහුණ
දුන් හියුස් හතරේ පහර 9ක් සමග ලකුණු 87ක් ලබා ගත්තේය.
හියුස් ගේ දැවී යාමෙන් පසුව මයිකල් හසී පිටියට පිවිසෙද්දී ශ්‍රී ලංකා
ක්‍රීඩකයන් හැසිරුනු ආකාරය ප්‍රශංසනීය විය. සිය අවසන් ටෙස්ට් තරගයට
සහභාගි වෙමින් සිටින මයික් හසී නරඹන්නන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයයේ අංක 5
පිතිකරු ලෙසින් පිටියට පිවිස කඩුල්ල වෙත පියවර තබන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්
දෙපැත්තට පේලි ගැසී ඔහුට සුභ පැතූහ. හසී ඒ මැදින් පැමිණ කඩුල්ල වෙත ගියේය.
සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 3කට ලකුණු 241ක් රැස්කර
ගෙන සිටියේය.
තේ පානයෙන් පසුව යළි තරගය ආරම්භ වී යැවුනු සිවුවැනි ඕවරයේදී හසී දැවී ගියේය.
පන්දු 51කට මුහුණ දුන් හසී ට ලබා ගත හැකිවූයේ ලකුණු 25ක් පමණි. ඒ සඳහා ඔහු
මිනිත්තු 66ක් කඩුල්ලේ රැඳී සිටියේය. ඉනිමේ 59 වැනි ඕවරයේදී දිමුත් කරුණාරත්න
පන්දු රකින්නා එල්ල කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් හසී දුවද්දී දැවී යාමට
ලක්විය.
ප්‍රසාද් ගේ පන්දුවට ක්ලාක් ‘කවර්’ ස්ථානයට පහරක් එල්ල කර ඉක්මන්
ලකුණක් කරා යද්දී කරුණාරත්න පන්දුව ගෙන පිතිකරුවාගේ අන්තයේ කඩුල්ල ට එල්ල
කළේය. ක්ලාක් සහ හසී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 16.5කදී ලකුණු 56ක් එක් කළහ.
මුළු ලකුණු 271දී නායක මයිකල් ක්ලාක් දැවී ගියේය. හේරත් ගේ පන්දුවට ඔහු එල්ල කළ
පහරින් ඉතා ඉහළ නැගි පන්දුව කරුණාරත්න හරියට මැන ගනිමින් අල්ලා ගත්තේය. හතරේ
පහර 5ක් හා හයේ පහරක් එල්ල කළ ක්ලාක් පන්දු 74කින් ලකුණු 50ක් ලබා ගත්තේය.
ඔහු ඊයේ
මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් බේරුණේ අලීම් ඩාර් පිටියේ තරග
විනිසුරුවරයාගේ දුර්වල විනිශ්චයෙන් හා ශ්‍රී ලංකාව ‘රෙෆරල් ක්‍රමය’ වෙත
නොයාමෙනි. හේරත් එවූ පන්දුව කඩුල්ල ඉදිරිපිට ක්ලාක් ගේ පා ආවරණයේ වැදුනු බව
රූපවාහිනී පුනරූපනවල පැහැදිළිව දර්ශනය විණි.
ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ඉනිමේ 77 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා මුළු ලකුණු ප්‍රමාණය
වූ 294 අභිබවා ගියේය.
ඕවර 80ක් අවසානයේ ඔස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 305ක් වාර්තා කර සිටියදී
ශ්‍රී ලංකාව දෙවැනි නව පන්දුව ලබා ගත්තේය. ඉන්පසුව යැවූ දෙවැනි ඕවරයේදී
කඩුල්ලක් ලබා ගැනීමට නුවන් ප්‍රදීප් වේග පන්දු යවන්නා සමත් විය. දැවී ගියේ මිචල්
ජොන්සන් (13) ය. කඩුලු රකින චන්දිමාල් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ජොන්සන් මුළු
ලකුණු 307දී දැවී ගියේය.
මැතිව් වේඩ් දෙවතාවක්ම ‘ෆෝවර්ඩ් ෂෝට් ලෙග්’ ස්ථානයට උඩ පන්දු ලබා දී දැවී යාමෙන්
බේරිණි. එම ස්ථානයේ පන්දු රකිමින් සිටි ලහිරු තිරිමාන්න දෙවතාවක්ම වේඩ් ගේ
ප්‍රහාරයන්ට ගොදුරු වූවද තුවාළ වී පිටියෙන් ඉවතට නොයා එම ස්ථානයේම රැඳෙමින්
පන්දු රකින විට නරඹන්නන් අත්පොළසන් දෙමින් ඔහු දිරිමත් කළේය.
73 වැනි ඕවරයේදී වේඩ් ලකුණු 22ක් ලබා ගෙන සිටියදී ප්‍රදීප් එවූ පන්දුව පිත්තේ
ගෑවී කඩුලු රකින්නා වෙත ගියේය. පිටියේ අනෙක් තරග විනිසුරු හිල් එය දැවී යාමක් නොවන
බවට තීරණය කළේය. මහේල එම තීරණය තෙවැනි විනිසුරුට යොමු කළ විට අනාවරණය වූයේ
පන්දුව පිත්තේ ගෑවී යාම කෙසේ වෙතත් ප්‍රදීප් ගේ ඒ පන්දුව නීතිවිරෝධී (නෝ බෝල්)
එකක් බවයි.
ඊළඟ ඕවරයේදී හේරත් ගේ පන්දුවට වේඩ් දුන් උඩ පන්දුව තිරිමාන්න ට අල්ලා ගැනීමට
නොහැකි විය. ඊටත් පසු ඕවරයේදී වේඩ් ගේ පිත්තෙන් නික්ම ආ උඩ පන්දුව රැක ගැනීමට
තිරිමාන්න සමත් විය.
එය දැවී යාමක් බවට අලීම් ඩාර් තරග විනිසුරුවරයා දුන්
තීරණයට එරෙහිව වේඩ් කළ අභියෝගයෙන් (රෙෆරල්) ඔහු ජය ගත්තේය. වේඩ් පිට පිට
එල්ල කළ පහර දෙකකින් පන්දුව තිරිමාන්න ගේ ශරීරයේ වැදුනේ ඉන්පසුවය.
ඊයේ දෙවැනි
දින තරගය නතර කරන විට වේඩ් හතරේ පහර 3ක් සමග ලකුණු 47ක්ද, පීටර් සිඩ්ල් හතරේ පහර
2ක් සමග ලකුණු 16ක්ද රැස්කර ගෙන නොදැවී ක්‍රීඩා කරමින් 7 වැනි කඩුල්ල වෙනුවෙන්
ලකුණු 35ක නොබිඳි සබඳතාවක් ගොඩනගා ගෙන සිටියහ.
0 comments:
Post a Comment