Photobucket

Saturday, January 5, 2013

හැඳුනුම්පත් දෙපාර්තමේන්තු නව පාලක සරත් කුමාර

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ලෙස ආර්. එම්.එස්. සරත් කුමාර මහතා පත්කර තිබේ. මෙතෙක් කලක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළ ජගත් විජේවීර මහතා ග‍්‍රී ලංකා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත්වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුවට සරත් කුමාර මහතා පත්කර ඇත. 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයේ පාලකවරයා ලෙස මෙතෙක් සේවය කරමින් සිටි සරත් කුමාර මහතා නව ධුරයේ ලබන 07 වෙනිදා වැඩ භාර ගැනීමට නියමිතය. මොණරාගල වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත්ව පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව උපාධිය හිමිකර ගෙන ඇති සරත් කුමාර මහතා රාජ්‍ය පරිපාලනය පිළිබද ශ‍්‍රාස්ත‍්‍රපති උපාධියද හිමිකර ගෙන ඇත්තේය. 

බදුල්ල රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් ලෙස රාජ්‍ය සේවයට පිවිසි ඒ මහතා වසර තුන හමාරක සේවා කාලයකින් පසු මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙක් ලෙස පත්වී තිබේ. අනතුරුව විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස සේවය කර 2000 වසරේදි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙක් ලෙස පත්වීම් ලැබ ඇත. සරත් කුමාර මහතා 2009 වසරේදි නියෝජ්‍ය පාලක ලෙසත් 2010 වසරේ වීසා අංශයේ පාලක ලෙසත් උසස් වීම් ලබා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා දක්වා උසස්වීම් ලබන තෙක්ම රාජ්‍ය සේවයේ නිහඩ සේවයක් ඉටුකළ නිලධාරියෙකි. 

සරත් කුමාර මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. දියණිය චීනයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරන අතර පුතා තොරතුරු තාක්‍ෂණය සහ ව්‍යාපාර සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයේ නිරතව සිටී. සරත් කුමාර මහතාගේ දයාබර බිරිඳ විශ‍්‍රාමික ගුරුවරියකි. සරත් කුමාර මහතාගේ පියා රජයේ ලිපිකරුවෙක් වන අතර මව ගෘහණියකි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all