Photobucket

Sunday, December 2, 2012

කනේ මයිල් ඇති අය හෘදයාබාධ ගැන සැලකිල්ලෙන් ඉන්න

හෘදයාබාධයක් යනු කුමක්දැයි දැන් බොහෝ දෙනා තුළ අවබෝධයක් තිබෙනවා. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය (කොලෙස්ටරෝල්) තැන්පත් වීමෙන් එම නාළ සිහින් වී ඒවා තුළ රුධිර කැටි ඇති වීමෙන් හෘදයට රුධිර සැපැයුම අඩාල වේ. එමඟින් උවදුරට පත් හෘද පේශියේ අදාළ කොටස මිය යාම හෘදයාබාධයක් ලෙස හැඳින්වේ.

හෘදයාබාධයක් හටගන්නා පළමු අවස්ථාවේම රෝගියා මරණයට පත්වෙන අවස්ථා බහුලය. ඊට හේතුව හෘද රෝග බොහෝවිට ඇතිවන්නේ ක්‍ෂණිකව වීමය. හෘදයාබාධවලට ගොදුරු වන්නන්ගෙන් 60% ක්ම ඉන් පෙර කිසිදු පපුවේ වේදනාවක් නොතිබූ අය වීම මෙහි ඇති බැරෑරුම් තත්ත්වයයි.

එහෙයින් හෘදයාබාධයකට ගොදුරු වීමේ අවදානම් ලක්‍ෂණ ඔබ වෙත ඇත්ද? එසේ නම් ඒවායෙන් වැළැකිය හැක්කේ කෙසේද යන කරුණු පිළිබඳ මූලික අවබෝධයක් සෑම පුද්ගලයකු තුළම තිබීම වැදගත් ය. ඒ පිළිබඳ විස්තර අප පසුගිය ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කළෙමු.

හෘදයාබාධයකට බලපාන ප්‍රධාන සාධක වන දුම්බීම, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අධික වීම, ස්ථූලතාව, අධික රුධිර පීඩනය, දියවැඩියාව, ව්‍යායාම මද වීම, මානසික අසහනය සහ ජන්ම ප්‍රවේණිය වැනි ලක්‍ෂණවලින් හිතාමතා වළක්වා ගත හැකි සාධක මඟහරවා ගැනීමෙන් හෘදයාබාධවලට ගොදුරු වීමේ අවදානම අඩු කරගත හැකිය. එමෙන්ම මේද සහිත ආහාර, සීනි සහ ලුණු භාවිතය අවම කිරීම, සමබල පෝෂ්‍යදායී, ආහාර සහ ව්‍යායාම ද මානසික සුවයද මඟින් නිරෝගී හදවතක සුවය ළඟා කරගත හැකිය.

වයස අවුරුදු හතළිහ පිරුණු විට අවම වශයෙන් වසරකට වරක්වත් වෛද්‍ය පරීක්‍ෂණයක් කර ගැනීම සුදුසුය. විශේෂයෙන් ම ඔබේ පවුලේ හෘද රෝගීන්, දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය සහිත අය ඇත්නම් ප්‍රවේණිගතව එම රෝග ඔබටත් හටගැනීමේ වැඩි අවදානමක් ඇත. එහෙයින් එම රෝගවලට බලපාන වළක්වා ගත හැකි සෙසු අවධානම් ලක්‍ෂණවලින් අත්මිදීමට වගබලාගත් විට එම රෝග ඇතිවීමේ හැකියාව අවම කරගත හැකි වේ.

පවුලේ ඥාතීනට ඉහත රෝග පවතින පුද්ගලයන් වයස අවුරුදු හතළිහෙන් පසු වසරකට වරක් වත් රුධිරයේ අඩංගු මේද ප්‍රමාණය, රුධිර පීඩනය, රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය පරීක්‍ෂා කරවා ගත යුතුය. මීට අමතරව ඇස් පරීක්‍ෂාවද මුඛ පරීක්‍ෂාවද කර ගැනීම වැදගත් වේ.

හෘද රෝගයක් ඇති විය හැකියයි සැක කළ හැකි අවස්ථා හඳුනා ගෙන සිටීම ද වැදගත් වේ. ඒ ලක්‍ෂණ නම්:
  •  සුළු වැඩක් පළක යෙදෙන විට වුවත් හතියක් ඇති වීම.
  •  කය මෙන් ම සිත වෙහෙසවන විට පපුව මැද ප්‍රදේශයේ ඇති වන වේදනාව. (වෙහෙස නිවන විට වේදනාවද නැතිව යාම සැලකිල්ලට ගන්න)
  •  කරන කාර්යයට අනුකූල නොවන තරම් වෙහෙසක් දැනීම.
  •  ආහාර වේලකින් පසුව පපුව හිර වීම හෝ හතිය හෝ ඇති වීම.
  •  කැස්ස (සෙම නොකැඩී යන වියළි කැස්ස)
  •  කකුල් ඉදිමීම
  •  බඩ පපුව දැවිල්ල
  •  ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමීම (අධික ලෙස වෙහෙස වූ විට)
  •  පපුවේ ගැස්ම
  •  හිසරදය - විශේෂයෙන් හිස මුදුනෙන් දැනෙන හා උදෑසන ඇතිවන හිසරදය සැලකිල්ලට ගත යුතුය.
හෘදයාබාධයකට තුඩු දෙන ජානමය ලක්ෂණ ඇතැම් විට පුද්ගලයාගේ බාහිර ලක්ෂණ මඟින් විද්‍යමාන වේ. එවැනි ලක්ෂණ අතරින් බහුලව දැකිය හැකි ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
  •  කන්පෙත්තෙහි ඇල ඉරක් තිබීම
  •  කන් පෙතිවල අධික රෝම තිබීම
  •  සම මතු පිට කොලෙස්ටරෝල් තැන්පතු කහ පැහැති පැතලි ගඩු ලෙස දිස්වීම. විශේෂයෙන් ඒවා ඇස් වටා දැකගත හැකිය.
  •  වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ගේ කළු ඉංගිරියාව වටා සුදු පැහැති අඩ සඳක් පැවැතීම.
එවැනි ලක්ෂණ සහිත, පවුලේ ඥාතීන් ඉහත රෝගාබාධවලින් පෙළෙන අය තමාටත් එම රෝග හටගැනීමේ හැකියාව ඇති බව වටහා ගත යුතුය. එවැනි පුද්ගලයන් අවදානම් සාධකවලින් වැළකී, පෝෂ්‍යදායී ආහාරපාන ගැනීම ප්‍රමාණවත් ව්‍යායාමවල යෙදීම සහ මානසික ආතතියෙන් තොර මනසක් පවත්වා ගැනීම මඟින් හදවත් රෝගවලින් වැළකී සිටීමට යෞවන වියේ පටන්ම සිතට ගැනීම වැදගත් වේ.

කොලෙස්ටරෝල් පිළිබඳ ඔබ දත යුතු දේ
රුධිරයේ අඩංගු කොලෙස්ටරෝල් “අඩු ඝනත්ව මේද ප්‍රෝටීන” (එල් ඩී එල්) අංශු ලෙස පැවතුණහොත් ඉන් ඇතිවිය හැකි හානිය වැඩිය.

එහෙත් එල් ඩී එල් අංශු පවා වැඩිපුර හානිකර වන්නේ ඔක්සිජන් හා සම්බන්ධ වූ විටය. එහි අර්ථය වන්නේ ඔක්සිකරණය නොවූ එල් ඩී එල් අංශුවලින් සිදුවන හානිය අඩු බවය.
එල් ඩී එල් අංශු ඔක්සිකරණය වීම වළක්වනුයේ කෙසේ ද?

ඒ සඳහා ප්‍රතිඔක්සිකරණ ද්‍රව්‍ය අවශ්‍යය. මිනිසාට ඉතා වැදගත් ප්‍රතිඔක්සිකරණ ද්‍රව්‍ය කිහිපයකි. ඒවා සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් සිරුරට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ලබාගත හැකිය.
  •  බීටා කැරටින් විටමිනය - මෙය කහ පැහැති එළවළු
සහ පලතුරුවල සුලභව ඇත. ඒවා සිරුර තුළ දී විටමින් ‘ඒ’ බවට පත් වේ.
  •  විටමින් ඊ - කජු, රටකජු, කොට්ටම්බා ආමන්ඩ් වැනි ඇට වර්ග.
  •  විටමින් සී - සියලුම ඇඹුල් රසැති පලතුරුවල තිබේ
  •  සෙලේනියම් - විරල ගණයේ මූල ද්‍රව්‍යයක් වන මෙය බත්වල තරමක් තිබේ.
ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර බහුලව ලබාගන්නා අයට හෘදයාබාධයක් හටගැනීමේ අවදානම අඩු බව වෛද්‍ය පර්යේෂණවලින් සනාථ වී තිබේ.

සාගරිකා දිසානායක ජයසිංහ  
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all