Photobucket

Sunday, December 2, 2012

ප්‍රභාකරන්ට දරුවෙක්‌ වූ ලංකාවේ උසම මිනිසා...

රිටක්‌ මෙන් උසැති තරුණයෙක්‌ අප දෙසට ගමන් කරමින් සිටියි. මේ නම් අරුම රුවකි. බොරු කකුල්කාරයෙක්‌වත්ද? නැත දෙපයින් ගමන් කරන මිනිස්‌ රුවක්‌මය. මේ සා උසැති මිනිසෙක්‌ මීට පෙර කවමදාකවත් දැක ඇති බවට මට නම් මතකයක්‌ නැත. සැබෑය... ලංකාවේ උසම මිනිසා ඔහුය. එහෙත් මේ විරල මිනිසා ගැන අප සමාජය නොදැනුවත්ව සිටීම අරුමයක්‌ නොවේ. මන්ද ඔහු වට්‌ටුවාහි ප්‍රදේශයෙන් හමුදාවට භාර වන තෙක්‌ ඔහු සිටියේ සමාජයෙන් සැඟවුණු ත්‍රස්‌තවාදියෙක්‌ ලෙසය. මෙතරම් උසැති මිනිසෙක්‌ අපේ රටේ සිටිනවාද කියා අප සමාජය දැන ගත්තේ ඔහු හමුදාවට භාරවීමත් සමගය. එල්.ටී.ටී.ඊ.ය විනාශ නොවුනා නම් මේ උස්‌ මිනිසාට උරුම වීමට තිබුණේ පටු ජීවිතයකි. නැතහොත් 'කෙටි' ජීවිතයකි.

ඔහු මාලන්ය. එල්.ටී.ටී.ඊ. කාඩරයෙකි. දැන් ඔහු වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටියි. අපට ඔහුව මුණගැසුනේද අප වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයට ගිය ගමනේදීය.

කළු, හීන්දෑරි, දෙඅත් දඬු දිගු මේ තරුණයා දැන් සරොමකින් සහ ටීෂර්ටයකින් හැඩ වී අප ඉදිරියේ රිටක්‌ මෙන් සිටගෙන සිටී. ඔහුගේ හිසේ සිට දෙපා දක්‌වා කිහිපවරක්‌ම අපගේ දෙනෙත් ඉහළ පහළට දිව ගියේය. ඔහු මිත්‍රශීලී සිනාවකින් මුව පුරවාගෙන අප අසුන් ගෙන සිටි ස්‌ථානයේම අපට ඉදිරියෙන් තවත් අසුනකට බර තැබුවේය.

අපි ඔහුව කතාවට සම්බන්ධ කර ගනිමින් ප්‍රථමයෙන් සුවදුක්‌ විමසුවෙමු.

"කියන්න වරදක්‌ නැහැ හොඳින් ඉන්නවා..."

ඔබ අඩි කියක්‌ උසද...?

අඩි හතයි අඟල් තුනක්‌ උස තියෙනවා.

අප කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයට යන විටත් එම පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වන තරුණයන් පිරිසක්‌ කඳවුරු පරිශ්‍රය ක්‍රීඩා පිටියේ ක්‍රිකට්‌, වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටිනවා අපි දුටුවෙමු. තවත් පිරිසක්‌ නරඹන්නන් වී සිටිනවාද අපි දුටුවෙමු. එහෙත් මේ අසාමාන්‍ය රුව එම ස්‌ථානයේදී දැකගන්නට නොලැබිණි. ඒ සා උසැති ඔහුට අපගේ දෑස්‌වලින් සැඟවී සිටීමට ද නොහැකිය. ඔහු ක්‍රීඩා පිටියේ නොසිටියේ ඇයි..? අපගේ සිතේ කුකුසක්‌ මතු වි තිබිණි. ඔහු දැන් අප ළඟය. තවත් සිතේ ප්‍රශ්න තද කරගෙන සිටීමට අවශ්‍ය නැත. සිතට නැඟුණු ගැටලුව විසඳා ගැනීමේ අදහසින් අප ඔහුට මෙසේ පැනයක්‌ යොමු කළෙමු.

තරුණයෝ ක්‍රීඩා පිටියේ ක්‍රිකට්‌, වොලිබෝල් සෙල්ලම් කරනවා අපි දැක්‌කා. ඇයි ඔබ ඒ ක්‍රීඩාවලට කැමති නැද්ද...?

ක්‍රීඩා කරන්න කැමතියි. මම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වෝලිබෝල් කණ්‌ඩායමෙත් සාමාජිකයෙක්‌ වෙලා හිටියා. මම කැමතිම ක්‍රීඩාව බැඩ්මින්ටන්. ඒත් දැන් මට කිසිම ක්‍රීඩාවක්‌ කරන්න බැහැ. මට මහන්සි වෙන්න හොඳ නැහැ. මහන්සි වෙන දෙයක්‌ කළොත් පපුව හිරවෙලා උස්‌ම ගන්න අපහසු වෙනවා. මගේ හාට්‌ එකේ පොඩි ලෙඩක්‌ තියෙනවා කියලා වෛද්‍යවරුත් කිව්වා. මට වැඩිය මහන්සි වෙන්න එපා කියලත් කිව්වා.

හදවතේ ලෙඩක්‌ ඇති බව ඔබ දැනගෙන දැන් කොච්චර කාලයක්‌ වෙනවද?

හමුදාවට භාර වුණාට පස්‌සෙ තමයි හාට්‌ එකේ ලෙඩක්‌ තියෙනවා කියලා දැනගත්තේ.

එතකොට ඔබ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටිය කාලේ ඔබේ හදවතේ ලෙඩක්‌ තියෙනවා කියලා දැනගෙන හිටියේ නැද්ද?

නැහැ...

ඔබ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉන්නකොට මහන්සි වෙන වැඩ කළේ නැද්ද?

හොඳට මහන්සි වුණා. එහෙම වේලාවට ඇඟට පොඩි පොඩි අපහසුතා දැනුණා. ඒත් ඒවා ගණන් ගත්තේ නැහැ.

තමන්ගේ ඇඟේ තියෙන ලෙඩ ගැනවත් හිතන්නේa නැතුව ද ඊළම දිනාගැනීමට සටන් වැදුනේ...?

ඇත්ත කතා කරන්න ඕනා. අපි අරමුණක්‌ ඇතිව තමයි යුද්ධ කළේ...

අපි හැමෝම මිනිස්‌සු. ඔබේ ඇඟෙත්, මගේ ඇඟෙත් තියෙන්නෙ රතු ලේ. ඇයි ඔබ එකම රට බෙදා වෙන් කරන්න යුද වදින්න එල්.ටී.ටී.ඊ යට බැඳුනේ...

මම ගියේ අප්පා ගිය පාරේ. මගේ සහෝදරයෝ ගිය පාරේ..

කවුද අප්පා....

"ප්‍රභාකරන්"

ප්‍රභාකරන් කොහොමද ඔබට අප්පා වෙන්නෙ...?

"එක දිග කතාවක්‌..."

ඒ දිග කතාව ඔබ කියන්න කැමති නම්, අපිත් අහගෙන ඉන්න කැමතියි.

"අපි පදිංචි වෙලා හිටියේ පුදුකුඩුඉරුප්පුවල. මම පුංචි කාලෙම මගේ අප්පා මැලේරියා උණ හැදිලා නැති වුණා. ඊට මාස කිහිපයකට පස්‌සෙ අම්මා වෙනත් කසාදයක්‌ කරගෙන මටත් හොරෙන්ම යන්න ගියා. මාව බලාගත්තේ ආච්චි අම්මා. ආච්චි අම්මට ගොඩක්‌ වයසයි. ඒත් ආච්චි අම්මා මාව හොඳින් බලා ගත්තා. කොහොමහරි මගේ බඩ පිරෙව්වා. ලෙඩක්‌ දුකක්‌ හැදුනහම බෙහෙත් ගේන්න උස්‌සගෙන ගියා"

"අම්මා මාව දාලා යනකොට මට අවුරුදු හතරක්‌ විතර ඇති කියලා මම ටිකක්‌ ලොකු වුණහම ආච්චි අම්මා කියලා තියෙනවා. ආච්චි අම්මා මාව ඉස්‌කොලේ යෑව්වා. මම ඉස්‌කෝලෙ ගියේ යාපනේ තලගලප්ප මහා විද්‍යාලයට. "මට පුළුවන් විදිහට බොට උගන්වනවා කියලා ආච්චි අම්මා හැමදාම උදේට මාව ලෑස්‌ති කරගෙන ඉස්‌කෝලෙට අරගෙන ගියා. ඒ දවස්‌වල ආච්චි අම්මා මමයි ජීවත් වුණේ රට හිටපු මාමා එවන සල්ලිවලින්. ආච්චි අම්මා මට කිසිම අඩුවක්‌ කළේ නැහැ. ඒත් මට ලොකු අඩුවක්‌ දැනුණා. ඒ අම්මා නැති අඩුව. මමත් ඉස්‌කෝලෙ ගිහින් ආශාවෙන් ඉගෙන ගත්තා. ඒත් මම හරිම අවාසනාවන්තයි. මම ඉස්‌කෝලෙ තුන වසරට පාස්‌ වුණා විතරයි ආච්චි අම්මා මාව දලා ගියා" ඔහු දිගු සුසුමක්‌ හෙළුවේය. මම ඔහුගේ දෙනෙත් දෙස බැලුවෙමි. ගිනි බෝල දෙකක්‌ වැනිය. තවත් නිමේෂයකින් කඳුළු කැටයක්‌ නොව කඳුළු පොකුරක්‌ එළියට පනි වී යෑයි මට සිතිණි. එහෙත් ඔහුගේ කඳුළු ම්ලේච්ඡ ප්‍රභාකරන් විසින් ගල් කර තිබිණි. මොහොතකින් ඔහු සිතට නැඟුණු වේදනාව සිනා රැල්ලකින් පිට කළ හැරියේය.

ඊට පස්‌සෙ මොකද වුණේ....

"මම කාත්කවුරුවත් නැති අනාථයෙක්‌ වුණා. පාර දිගේ ඇවිද්දා. කඩේකින් දෙන දෙයක්‌ කාලා ඒ කඩපිල්වලම නිදාගත්තා. මිනිස්‌සුන්ගෙන් බැණුම් ඇහුවා. ඒත් ජීවත් වුණා"

"මම එකම කලිසම් කොටේකුයි ටීෂර්ට්‌ කෑල්ලකුයි තමයි ඒ දවස්‌වල ඇන්දෙ. දවසක්‌ ඒ කිලිටු ඇඳුනුත් ඇඳගෙන පාර අයිනක ඉන්නකොට වාහන පේළියක්‌ වේගයෙන් යනවා මම දැක්‌කා. ඒ වාහන ගිය වේගයට බය වෙලා මම පාරෙන් කාණුවට බැස්‌සා මට තාම මතකයි. මම ඒ හරියෙම ඇවිද ඇවිද හිටියා. පැයකට විතර පස්‌සෙ වෑන් එකක්‌ ඇවිත් සර්ස්‌... ගාලා මා ළඟ නතර කළා. අංකල්ලා දෙන්නෙක්‌ වාහනෙන් බැහැලා මගෙන් එක එක දෙවල් ඇහුවා. ගෙවල් කොහේද? ඇයි මේ කිලිටු ඇඳුම් ඇඳගෙන පාරෙ ඇවිදින්නෙ. අම්මා තාත්තා නැද්ද? ඒ අහන හැම දේකටම මම උත්තර දුන්නා. ඊට පස්‌සෙ එතන හිටපු එක අංකල් කෙනෙක්‌ මට කිව්වා වෑන් එකට නගින්න කියලා. එදා මගේ පුංචි සිතට කිසිම බයක්‌ දැනුණේa නැහැ. කියපු සුනංගුවෙන් මම වෑන් එකට නැග්ගා. වීදුරු වහපු වෑන් එක වේගයෙන් ඉදිරියට යනවා මට දැනුණා. ටික වේලාවකට පස්‌සෙ තරමක්‌ විශාල ගෙයක්‌ ගාව වෑන් එක නතර කරලා මට බැහැල ඇතුළට යන්න කිව්වා"

"ඒ වෙනකොට ඇඳිරි වැටිලා තිබුණෙ. මට බයක්‌ හිතුනෙ නැහැ. මම ඒ ගේ ඇතුළට ගියා. තවත් ළමයි කිහිපදෙනෙක්‌ ඉන්නවා මම දැක්‌කා. එතකොට නම් මට පුදුම සතුටක්‌ ඇති වුණේ. එතැන හිටපු අයිය කෙනෙක්‌ මට නාන්න කියලා වතුර ටැංකියක්‌ පෙන්නුවා. නාලා ආවට පස්‌සෙ අලුත් ඇඳුමක්‌ දුන්නා. හොඳට කන්න දුන්නා. එදා මම ගොඩක්‌ සතුටු වුණා"

"ටික දවසක්‌ ගියාට පස්‌සෙ තමයි මම දැනගත්තේ ඒ ළමා නිවාසය එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ කියලා. එදා අර වේගයෙන් ගිය වාහන පේළියේ ප්‍රභාකරනුත් ගිහින් තියෙනවා. එයා මාව දැකලා මා ගැන හොයල බලන්න කියලා එතන හිටපු අනිත් අයට කියපු නිසා තමයි මාව ඒ ළමා නිවාසයට අරගෙන ගිහින් තියෙන්නෙ"

"මාසෙකට සැරයක්‌ ප්‍රභාකරන් අපි හිටපු ළමා නිවාසයට ඇවිත් අපේ දුක සැප සොයලා බැලුවා. එයා එනකොට ටොපි-චොකලට්‌, ඇඳුම්-පැළඳුම් ගෙනත් දුන්නා. මොන හේතුවක්‌ නිසාද දන්නේ නැහැ ප්‍රභාකරන් අපිව බලන්න ආවහම මම ගැන විශේෂයෙන් සොයා බැලුවා. මමත් එක්‌ක කතා කළා. ළමා නිවාසයේ භාරකාරයන්ට මාව හොඳින් බලාගන්න කියනවා මට අනන්තවත් ඇහිලා තියෙනවා"

"ඒ ළමා නිවාසයේ ළමයි ඉස්‌කෝලවලට ගියේ නැහැ. ඒත් ළමා නිවාසයටම ගුරුවරු ඇවිත් අපිට ඉගැන්නුවා"

මාලන්ගේ අපල කාලයක්‌ ගෙවී ගියේය. මාලන්ට අලුත් ජීවිතයක්‌ ලැබිණි. අලුත් ඥතීන් මුණගැසිණි. ඔහු ලෝකය දුටුවේය. ඒ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ලෝකයයි. ඒ ලෝකයේ රජා කෲරතර ප්‍රභාකරන්ය. ඔහු මිනිසුන් තේරුම් ගත්තේය. ඒ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. කාඩරයන්වය. ඊට එහාට ඔහුට ලෝකයක්‌ නොතිබිණි. ඒ බිහිසුණු මිනිසුන් සමග ඔහු වැඩිවියට පත් විය.

ළමා නිවාසේ සිටි පිරිපුන් සුන්දරම ළමයා ද මාලන් විය. ඒ නිසාම ළමා නිවසේ ළමයින් අතරින් ළමා නිවාසයේ භාරකරුවන්ගේ මෙන්ම එල්.ටී.ටී.ඊ. ප්‍රභාකරන්ගේද සිත් දිනාගෙන සිටියේ මාලන්ය.

මසට හදන බොයිලර් කුකුළන් මෙන්ම මොවුන්ව ද එල්.ටී.ටී.ඊ. සංවිධානය උස්‌ මහත් කරන්නේ යුද්ධයට දැමීමට බව ඔවුන් කුඩා කාලේ දැන සිට නැත. මාලන්ට යන්තමට අවුරුදු දහතුන සම්පූර්ණ වූවා පමණි. ගිනි අවියක්‌ දරාගැනීමට තරම් මාලන්ගේ අත්දඬු ශක්‌තිමත් බව ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ කාඩරයන් දැනගත්හ. මාලන්ගේ සෙල්ලම් කාලය අවසන් විය. ඔහුගේ පුංචි දෑතට ප්‍රභාකරන් විශාල ගිනි අවියක්‌ දුන්නේය. බෙල්ලට සයනයිඩ් කරලක්‌ එල්ලුවේය. අනතුරුව ඔහුව එල්.ටී.ටී.ඊ.යේ තවත් ළමා බිල්ලක්‌ ලෙස යුද පෙරමුණට යෑව්වේය. එසේ නම් ඒ ළමා නිවාසයේ උස්‌ මහත් වී ඇත්තේ බොයිලර් කුකුළන් නොවන්නේද?

මාලන්ගේ කඩවසම් බව මෙන්ම අසාමාන්‍ය රූප සොබාව හෙයින් ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ සුවිශේෂී චරිතයක්‌ විය. එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් ඔහුට විශේෂ වරදානද ලබාදී තිබිණි. ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌ බළකායේ ආයුධ භාරකරු ලෙස කටයුතු කරමින් සිටි නිලධාරියෙකි.

එතකොට ඔබ යුද මෙහෙයුම්වලට සහභාගි වුණේ නැද්ද...?

මුලදි නම් මෙහෙයුම්වලට සම්බන්ධ වුණේ නැහැ. ඒත් යුද්දෙ අවසාන කාලෙදි ඉදිරියට එන හමුදාවට මුහුණ දෙන්න අපිටත් ආයුධ අතට ගන්න වුණා.

ඒ කියන්නේ ඔබ හමුදාව සමග මුහුණට මුහුණලා යුද වැදුනද?

සමහර ස්‌ථානවලදී එහෙම කළා.

අනතුරකට මුහුණ දෙන්න වුණේ නැද්ද?

පෙර පිනකට එහෙම වුණේ නැහැ...

ඉතිං ඇයි ඔබ ආයුධ බිම තිබ්බේ...?

"මම විතරක්‌ නෙමෙයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සියලුම දෙනා ආයුධ බිම දැම්මා"

ඒ කියන්නෙ ප්‍රභාකරනුත්...

"අන්තිම කාලේ එයා ගැන මම දන්නෙ නැහැ...."

ප්‍රභාකරන් නැති වුණු එක ගැන ඔබට මොකද හිතෙන්නෙ...?

දුකයි... දරුවකුට පියෙක්‌ නැතිවීමේ වේදනාව මට තියෙනවා. අප්පෙක්‌ නැති මට අප්පෙක්‌ වුණෙ ප්‍රභාකරන්. මාව මිනිහෙක්‌ කළේ ප්‍රභාකරන්. එදා මාව ළමා නිවාසයට නොගෙනෙන්න අද මම ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්. ඇත්තම කියනවා නම් එයා මට එයාගේම දරුවෙකුට වගේ සැලකුවා. ඒ නිසා ප්‍රභාකරන් ගැන මට දුකයි.

ඔබ පාරෙ ඉන්නකොට ප්‍රභාකරන් ඔබව ගෙනත් ළමා නිවාසයකට දාලා කන්න අඳින්න දුන්නා. ඊට එහාට ඔබට ප්‍රභාකරන් මොනවද කළේ...?

"ප්‍රභාකරන් මාව යුද්දෙට යෑව්වේ නැහැ. එයා මාව එල්.ටී.ටී.ඊ. ය තුළ විශේෂ චරිතයක්‌ කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුට කසාද බඳින්න අවසර ලැබුණේ අවුරුදු තිහ සම්පූර්ණ වුණහම. ඒත් මාව ප්‍රභාකරන් අවුරුදු විසි හතේදී කසාද බැන්දුවා. මට අලුත් ගෙයක්‌ දුන්නා. යන්න එන්න මෝටර් බයිසිකලයක්‌ දුන්නා"

ඔබ කියන විදිහට ප්‍රභාකරන් කියන්නේ හිතුමතේ ප්‍රතිපත්ති වෙනස්‌ කරන නායකයෙක්‌නේ...?

"එයාගෙන් එහෙම දෙයක්‌ මට පෙනුනෙ නැහැ... එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු සහ සාමාජිකාවක්‌ කසාද බැන්දහම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඔවුන්ට ජීවත් වෙන්න ගෙයක්‌ දුන්නා. ඉතිං මමත් කසාද බැන්දේ එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක්‌. මටත් ගෙයක්‌ දුන්නා. ඊට අමතරව අවුරුදු තිහ සම්පූර්ණ වෙන්න ඉස්‌සරවෙලා මාව කසාද බැන්දුවා. වෙන වරප්‍රසාදයක්‌ මට ලැබුණෙ නැහැ"

හරි... ඔබව එසේ කසාද බන්දලා තියෙන්නේ ප්‍රභාකරන් ප්‍රතිපත්ති වෙනස්‌ කරලා නේ...?

"එහෙම දෙයක්‌ මට හිතෙන්නෙ නැහැ..."

සැබෑය. ප්‍රභාකරන්ව ඔහු පියා සේ සිතූ නිසා ප්‍රභාකරන් කොතරම් අප රටට කුරිරුකම් කළද, කොතරම් ප්‍රතිපත්ති වෙනස්‌ කළද, ඔහුට ප්‍රභාකරන් ගැන අබමල් රේණුවක්‌ තරම්වත් අහිතක්‌ සිතෙන එකක්‌ නැත. ඒ ඔහු ප්‍රභාකරන්ව දේවත්වයෙන් සලකන හෙයිනි. එහෙත් ප්‍රභාකරන් ඔහුට පියකු වූයේ එල්.ටී.ටී.ඊ. යට තවත් සෙබළකු හැදීමට මිස අනාගතය උදෙසා දරුවකු හැදීමට නොවන බව මාලන්ට තවමත් නොතේරෙන අයුරකි.

ඔබේ බිරිඳගේ නම මොකක්‌ද?

"සෙල්වරාණි..."

ඔබගේ බිරිඳත් එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක්‌ කිව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ඇයගේ කාර්යභාරය කෙබඳුද...?

"එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයට සම්බන්ධව වැඩ කළා"

ඔබ දෙපළ හමුදාවට භාර වෙන තෙක්‌ම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සේවය කළාද?

"ඔව්.... අන්තිම කාලෙ වෙනකම් අපි එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එක්‌ක හිටියා..."

ඇයි ඔබ හමුදාවට භාර වෙන්න තීරණය කළේ...?

"නිකම් මැරෙන්න බැරි නිසා... අනිත් එක මට පුංචි පුතෙක්‌ ඉන්නවා. එයාට තාම වයස අවුරුදු හතරයි. ඉතින් ඇයි ඒ කිරිසප්පයාව නිකරුණේ මරා දාන්නෙ..."


ඔබ දෙපළම එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ. ඔබට හමුදාවට භාර වෙන්න බයක්‌ දැනුණේ නැද්ද...?

"නැහැ... අපි හිතුවා අපිට හමුදාව කරදරයක්‌ කරන එකක්‌ නැහැ කියලා. ඇත්තටම එහෙම වුණා. අපිට හොඳ ආරක්‍ෂාවක්‌ ලැබුණා"

එතකොට ඔබේ බිරිඳව පුනරුත්ථාපනය කළේ නැද්ද?

"දරුවා තවම පුංචි නිසා එයාව නිදහස්‌ කරලා තිබුණා"

බිරිඳයි දරුවයි දැන් කොහේද පදිංචි වෙලා ඉන්නෙ...?

"පුදුකුඩුඉරිප්පුවල නැවත පදිංචි කරලා තියෙනවා"

ඔබ මෙතැනින් නිදහස්‌ වෙලා නැවත ගම්බිම්වලට ගිහින් මොකද කරන්න බලාපොරොත්තු වෙන්නෙ...?

"දැන් මම වඩු කාර්මික පාඨමාලාවක්‌ හදාරනවා. ගමට ගිහින් වඩු කාර්මිකයෙක්‌ ලෙස රැකියාව කරනවා"

එල්.ටී.ටී.ඊ. ය නැවත සංවිධානගත වුණොත් ඔබ මොකද කරන්නේ....?

"එල්.ටී.ටී.ඊ. සංවිධානයක්‌ නැවත ඇති වෙන එකක්‌ නැහැ"

මම ඇහුවේ එල්.ටී.ටී.ඊ. ය නැවත සංවිධානගත වුණොත් ඔබ මොකද කරන්නේ කියලයි...?

"දැන් මට ගොඩක්‌ දේවල් තේරෙනවා. මට යුද්ධයක්‌ අවශ්‍ය නැහැ. අපි හැමෝටම මේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මට බිරිඳක්‌ ඉන්නවා. දරුවෙක්‌ ඉන්නවා. දැන් ඒ අයත් එක්‌ක සන්තෝෂයෙන් ජීවත් වෙන්නයි මට ඕනා. ඉක්‌මනට දරුවා ළඟට යන්න දෙනවා නම් ඒක ලොකු දෙයක්‌"

ඔහුට ඉක්‌මනට තම දරුවා ළඟට යන්නට ලැබෙන්නැයි කියා අපිදු පැතුවෙමු. ඔහු හිඳගෙන සිටි තැනින් නැඟිට අපට සමුදී ඉදිරියට ගමන් කළේය. එහෙත් අපට නම් එතැනින් නැඟිට යැමට සිත් නොදේ. එවැනිම පුනරුත්ථාපනය වන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බොහෝ පිරිසක්‌ අප වටා එක්‌ රොක්‌ වී සිටිති. ඔවුහු අප සමග කතා බහ කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔවුන්ගේ මුහුණුවලින් පෙනෙන්නට වුහ. ඔවුන්ට අපට පැවසීමට ද බොහෝ දේ තිබෙන්නට ඇති. අපි වෙහෙස මහන්සිය නොතකා ඔවුන්ගේ හඬට සවන්දීමට අදහස්‌ කළෙමු.

මාලන් අසුන්ගෙන සිටි අසුනටම තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බර තැබුවේය....

තරංග රත්නවීර
දිවයින ඇසුරින් පලකරන ලදී. 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all