Photobucket

Saturday, December 8, 2012

අගවිනිසුරුවරිය ගත් තීරණය ගැන සතුටුයි

- නීතිඥයෝ කීපදෙනෙක්‌ කියති

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවැත්වෙන විභාගයට සහභාගි නොවීමට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ගත් තීරණය ගැන සතුට පළ කරමින් නීතිඥවරු කීපදෙනෙක්‌ ඊයේ පෙරවරුවේ අදහස්‌ පළ කළහ.

අලුත්කඩේ උපරිමාධිකරණ ගොඩනැගිලි ඉදිරිපිටදී මුලින්ම මාධ්‍යවේදීන් ඇමතූ ඡේ. සී. වැලිඅමුණ මහතා පැවැසුවේ අගවිනිසුරුවරිය ගෙන ඇත්තේ කවුරුත් අගය කළ යුතු නිර්භීත තීරණයක්‌ බවයි.

එම පරීක්‍ෂණය පැවැත්වෙන ආකාරය අනුව තමන්ට සාධාරණයක්‌ ඉටුවේ යෑයි බලාපොරොත්තුවක්‌ තැබිය නොහැකි නම් ඉන් ඉවත් වීම හැර වෙන විකල්පයක්‌ ඇයට නැතැයි ද ඔහු කීය. (6 දා) ඇය විශේෂ කාරක සභාව හමුවට ගිය අවස්‌ථාවේදී ලියවිලි රාශියක්‌ දී ඒවා කියවා බලා ඒ පිළිබඳව පැය 48 ක්‌ ඇතුළත ප්‍රතිචාර දක්‌වන්නැයි ඇයට දන්වා ඇති බවත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක්‌ නොදීම බලවත් අසාධාරණයක්‌ බවත් වැලිඅමුණ මහතා කීය.

පාර්ලිමේන්තුවට ගරු කොට විශේෂ කාරක සභාව හමුවට ගිය අගවිනිසුරුවරියට අවමන් වන ආකාරයට කාරක සභාවේ සාමාජිකයකු කතා කර ඇති බව වෙබ් අඩවියක පළවී තිබූ බවත් සඳහන් කළ ඔහු එවැන්නක්‌ සිදුව ඇත්නම් එම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවද කීවේය.

ජනතා විමුක්‌ති පෙරමුණ සම්බන්ධ නීතිඥයකු වන සුනිල් වටගල මහතා මීළඟට සඳහන් කළේ අගවිනිසුරුවරියට එරෙහි පරීක්‍ෂණය දෙසැම්බර් 8 වන විට අවසන් කර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට ලහි ලහිහේ සූදානම් වන බව පෙනී යන බවයි.

ඊට පසුව ලබන වර්ෂයේ ජනවාරි 08 දා එම වාර්තාව කථානායකවරයාට භාරදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇය තනතුරෙන් ඉවත් කරනු ඇති බවත් පැවැසූ නීතිඥ වටගල මහතා එතෙක්‌ ඇයට එම ධුරයේ රැඳී සිටිය හැකි බවත් එම කාලය තුළ ඊට එරෙහිව රටපුරා මහජන මතයක්‌ ගොඩනැගීමට තමන් කටයුතු කරන බවත් කීය.

ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, අධිනීතිඥවරුන් වන චන්ද්‍රපාල කුමාරගේ, ලාල් විඡේනායක, ආනන්ද හෙට්‌ටිආරච්චි යන මහත්වරු ද අදහස්‌ දැක්‌වූහ.

මෙම අවස්‌ථාවට නීතිඥවරු 15 දෙනෙක්‌ පමණ සහභාගි වූහ.

සරත් ධර්මසේන
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all