Photobucket

Friday, December 14, 2012

ප්‍රියංකා බොක්සිං වළල්ලට

රියංකා චොප්රා සහ මේරි කොම් භාරත දේශයේ රන් දියණිවරුන්ය. ප්‍රියංකා රුවින් ද, මේරි කොම් ක්‍රීඩාවෙන් ද සිය දේශය රනින් සැරසූහ. මේ අපූරු රන් දියණිවරුන් දැන් සූදානම් වන්නේ රිදී තිරයට ස්වර්ණමය මතක සටහන් එක් කිරීමටයි. ඒ සංජේ ලීලා බන්සාලිගේ නවතම සිනමාපටයෙනි.

පසුගිය ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනූ මේරි කොම් දිරිය දියණියගේ ජීවිත කතාව බන්සාලි තිරයේ ගෙන එන්නේය. තිරයේදී මේරි කොම් වීමට වරම් ලබා ඇත්තේ ප්‍රියංකා චොප්රායි. ප්‍රියංකා තමන් වීම ගැන මේරි සිටින්නේ ඉහවහා ගිය සතුටිනි. ප්‍රියංකා දක්ෂතා පිරි නිළියක් වීම ඊට හේතුවයි. තමන් ක්‍රීඩාවට සමත්කම් පෑවත් කැමරාව ඉදිරියේ ලජ්ජාකාරියක් බව මේරි කියා සිටින්නීය.

 ප්‍රියංකා දැන් මේරිගෙන් බොක්සිං ක්‍රීඩාව පුහුණු වන්නීය. එපමණක් නොව නිවුන් පුතුන් දෙදෙනකුගේ මවක් ලෙසින් මේරි ජීවිතය ජය ගන්නා හැටි ද ඇයට තිරයේදී නිරූපණය කිරීමට සිදුවේ. ප්‍රියංකා, මේරි ජීවත්වන මනිපූර් පළාතට ගොස් මේරිගේත්, ඇයගේ පවුලේ අයගේත් ජීවිත ගැන හදාරන්නීය.

සිනමාපටයේ විශේෂ දර්ශනයකට මේරි ද පෙනී සිටින්නීය. මීට පෙර මේ දිරිය දියණියගේ චරිතයට තෝරා ගන්නේ ප්‍රියංකා චොප්රා ද දීපිකා පදුකෝන් ද කියා අධ්‍යක්ෂ බන්සාලිට ගැටලුවක් මතු වී තිබුණි. එහෙත් එම තෝරා ගැනීමේ බොක්සිං තරගයෙන් ජය ලැබුවේ ප්‍රියංකා චොප්රාය.

සාමාන්‍යයෙන් ක්‍රීඩාව මාතෘකා කරගත් සිනමාපටවලට ප්‍රේක්ෂක මනාපය එතරම් හොඳින් නොලැබෙයි. එහෙත් 2002 දී ඔස්කාර් සම්මාන උළෙල ද නියෝජනය කළ ‘ලගන්’ ඒ නියමය කණපිට පෙරුළුවේය. ‘චක් දේ ඉන්දියා’ ද වාණිජ වශයෙන් සාර්ථක වූ ක්‍රීඩාව අළලා සැකසූ සිනමාපටයකි.

ප්‍රියංකා චොප්රාට මේරි කොම් ලෙසින් ඊට වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත හැකි වේවි ද?

මේ අතර ප්‍රියංකාගේ සැබෑ ජීවිතයට තවත් සුපිරි ඛාන් චරිතයක් වඩාත් ළෙන්ගතු වෙමින් සිටින බවට රාවයක් පැතිර යමින් පවතී. ඔහු සල්මන් ඛාන්ය. දෙදෙනා අතර දලුලමින් වැඩෙන මිත්‍රත්වය ආදරය යන අකුරු හතරෙන් වර්ණවත් වනු ඇත්දැයි කියා කොයි කවුරුත් බලා සිටිති. එහෙත් දැනට නම් ප්‍රියංකා මේ කටකතාව ප්‍රතික්ෂේප කරන්නීය. ආසියාවේ සරාගීම නිළිය ලෙසින් මෑතකදී නම් ලද ප්‍රියංකාගේ හද දිනා ගැනීමට සල්මන් ඛාන් වුව ද අකැමැති නොවනු ඇත. ඒසියන් වීක්ලි ඊස්ටන් අයි සඟරාව මඟින් කළ අන්තර් ජාල සමීක්ෂණයකින් සරාගීම නිළිය ලෙසින් ජනතා මනාපය දිනා ඇත්තේ ප්‍රියංකාය. දෙවැනි තැන කරීනා කපූර්ට ද, තෙවැනි තැන කත්‍රිනා කායිෆ්ට ද හිමි වී තිබේ. මේ අතර පි‍්‍රයංකාගේ නම 2013 ජාත්‍යන්තර සංගීත සම්මාන සඳහාද අංශ තුනකටම නිර්දේශ වී ඇත.

රසික ජනතාව අන්තර් ජාලයෙන් වැඩිපුරම සොයා බලන තාරකාවන් වී සිටින්නේ ද කත්‍රිනා කායිෆ් සහ ප්‍රියංකාය.

2012 වසර ගෙවී යන්නේ ප්‍රියංකාගේ ජීවිතයට සොදුරු මතක රාශියක් එක් කරමිනි. ඇය රැඟූ අග්නීපාත්, බර්ෆි අති සාර්ථක ලෙස තිරගත විය. ඇය පොප් ගායිකාවක් ලෙසින් දොරට වැඩියේ ද මේ වසරේදීයි.
* ඩිම්බ කෝෂ පිළිකාවකින් පීඩා විඳීන මනීෂා කොයිරාල දෙසැම්බර් 10 වැනිදා නිව්යෝර්ක් රෝහලකදී සැත්කමකට ලක් වූවාය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all