Photobucket

Saturday, December 8, 2012

ප්‍රකට පුද්ගලයන්ගේ විවාහ ජීවිත ගැන වැඩි දෙනෙක් නොදන්නා කතා

ප්‍රංශ ජාතික මහා අධිරාජයා වූ නැ‍පෝලියන් බොනපාට් ගැන අසා නැති කෙනකු නොමැති තරම්ය. ඉතා අභීත සෙන්පතියකු ලෙස විරුදාවලි ලැබූ ඔහුගේ එඩිතරකම ගැන මුළු ලොවේම පැසසුමට පත්විය. ඔහුට ඇති තරම්  ධනය, බලය මෙන්ම සමාජ කීර්තියද ලැබි තිබුණි. ඔහු ඉතා ශක්තිමත් පිරිපුන් දේහයකින් යුතු පුද්ගලයෙකු ද විය. 

එය එසේ වුවද නැ‍පෝලියන්ගේ බිරිය වූ ජොසෆින් ආර්යාව ඔහුට වදක භාර්යාවක් වූවාය. ඇය සැමවිටම ඔහු හා කලහ කළ බවද ඉක්මනින්  කිපෙන ඇය නිතරම හැසිරුණේ , කතා කළේ තම ස්වාමියා කුපිත කරවමින් බවද කියැවේ. මුළු අධිරාජ්‍යයක් පාලනය කළ නැ‍පෝලියන් යටත් කර ගැනීමට ඇය සමත් වූවාය. ඔහුගේ කාර්යාලය හා පුස්තකාලය හිතුමනාපේ පාවිච්චි කළ ඇය තැන නොතැන නොබලා ඔහුට පරිභව කළාය.  රාජකාරි කටයුතුවලටද බාධා කළ නිසා නැ‍පෝලියන්ට තම රජ මාලිගයද අපායක් බවට පත් වූ අතර බැරිම තැන සියල්ල අතහැර සිය බිරියගෙන් මිදීම සඳහා වෙස්වලාගෙන මහපාර දිගේ හිස හැරුණු අතේ යාමට ඔහුට සිදුවිය.
 
සොක්‍රටීස්

සොක්‍රටීස් පඩිතුමාට සිටියේද වදක බාරියකි. ලොව සුපතල දාර්ශනිකයකු වූ ඔහුට සිය පර්යේෂණ කටයුතුවලටද බිරිය විශාල බාධාවක් වී තිබිණි. ඇය නිතරම ඔහුගේ අඩුපාඩු සොයමින් පරිභව කළේ ඔහුගේ විද්වත් භාවයද උපහාසයට ලක් කරමිනි.

සොක්‍රටීස් බොහෝ විට බුද්ධිමතුන් පිරිවරාගෙන නොයෙක් දාර්ශනික කරුණු පිළිබඳ සාකච්ඡා කළේය. ඔහු පැය ගණන් මෙලෙස සාකච්ඡාවල නිරතවීම බිරියට රිස්සුවේම නැත. නිවසට බාහිර අය පැමිණිවිට ඔවුන් ඉදිරියේ සැමියාට අවමන් වනසේ කතා කළේ නිවසේ අඩුපාඩු ගැනද කියමිනි. ඇයට අවශ්‍ය වූයේ තම සැමියා සියල්ලෙන් මිදී නිරතුරුව තමා ළඟ රඳවා ගැනීමටය. එහෙත් එය ඉටු වූයේ නැත.

දිනක් ඔහු ප¾ඩිවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටියදී ඇය අවලාද නගමින් ඔවුන් ඉදිරියෙන් එහා මෙහා ගමන් කළාය. ඒ ගැන නොසලකමින් සාකච්ඡාව දිගටම කරගෙන යන තම සැමියාට පාඩමක් උගන්වන්නට සිතූ ඇය සැනෙකින් ඉඳුල් වතුර භාජනයක් රැගෙනවිත් ඔහුගේ හිසමත වත් කළාය. එහෙත් සොක්‍රටීස් ඇයට වචනයකින් වත් දොස් නොපැවරූ අතර සියතින් මුහුණ වසාගෙන තෙත්වූ ඇඳුම් ගැනද නොසලකා දිගටම සාකච්ඡා කර ගෙන ගියේය. ඒ තරමටම ඔහු සාකච්ඡාව සමග බද්ධ වී සිටියේය.

සොක්‍රටීස්ට විවිධ අවස්ථාවල බාහිරව මුහුණ දෙන්නට වූ බාධකවලට වඩා ස්වකීය බිරියගෙන් ලැබුණු හිංසා, පීඩා, අවමන් බොහෝ විය. එහෙත් මේ මහා පුරුෂයා ඒවා ගැන මායිම් නොකර තම කටයුතු දිගටම කළේය.

ඒබ්‍රහම් ලින්කන්

ඇමෙරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් ගැන අසා නැති කෙනකු නොමැති තරම්ය. ඇමෙරිකාව ගොඩනැගීම සඳහා ඔහුගෙන් සිදුවූ මෙහෙය අදටත් ඇමෙරිකානුවෝ අගය කරති.

එසේ වුවද ඔහුගේ භාර්යාව ගැන දන්නෝ විරල වෙති. නිතර කෝපයෙන් රතු වූ මුහුණෙන් යුතුව ජීවත් වූ ඇය  ධවල මන්දිරයේ සේවක, සේවිකාවන්ගේද පිළිකුලට පාත්‍ර වී සිටියාය. කිසිවෙක් ඇයට රුචි කළේ නැත. මානසික උන්මාදයකින් පෙළුණු ඇය තම සැමියාට වඩා තමා උසස් ලෙස සලකා හැසිරුණු බව කියනු ලැබේ.

ලින්කන් විවාහ වීමෙන් පසු අවුරුදු 25ක පමණ කාලයක් ඇයගේ තාඩන පීඩනවලට ගොදුරුව ජීවත් වූයේය. ඔහුගේ රාජකාරි කටයුතුවලට  ඇයගෙන් එල්ල වූයේ විශාල බාධාවකි. ඇය එළිපිටම ඔහුට එරෙහිව ක්‍රියා කළේය. දිනක් අමුත්තන් රැසක් සමග ජනාධිපතිවරයා පිළිසඳරක යෙදී සිටින විට සුළු සිද්ධියකින් කෝපයට පත් ඇය තමා පානය කරමින් සිටි උණු කෝපි කෝප්පයෙන් ලින්කන්ගේ මුහුණට දමා ගැසුවාය. කෝපි පහරවල් ඔහු ළඟ සිටි අයටද වැදුණු අතර හේ ඒ අයගෙන් සමාව ඇයද සිටියේය. සිදු වූ දේ ගැන       කනගාටු වනු වෙනුවට ඇය දුරින් සිට ඔවුන් දෙස බලා සිනහසෙමින් සිටිනු ලින්කන් දුටුවේය.

ලියෝ තෝල්ස්තෝයි

මහා සාහිත්‍යකරුවකු වන ලියෝ තෝල්ස්තෝයිටද සිය බිරිය නිසා අත් විඳින්නට සිදුවූ හිරිහැර නිමක් නැත. ඔහු නිතර කාමරයට වැදී ලියමින් සිටීම ගැන බිරිය සතුටට පත් වූයේ නැත. ඇය කළේ ශබ්ද නගා ඒ මේ අත ඇවිදීමය. ඔහුගේ කාමරයට වැදුණු ඇය එහි ‍පොත්පත් ආදිය අවුල් කර දැමුවාය. ඔහු අඩක් ලියූ සමහර දේ කෙසේ වත් සොයාගත නොහැකි වන සේ අතුරුදන් කළාය.

ඔහු සමහර දිනවල මහ රෑ වෙනතුරු කාමරයට වැදී සාහිත්‍ය කටයුතුවල නිරත වී සිටි අතර මධ්‍යම රාත්‍රියේ බිරිය දොරට තඩි බෑමට පටන් ගත්තාය. ඔහු කරන දේ කිසිදු වැදගැම්මකට නොමැති බවට ඇය අසල්වාසීන් සමග ප්‍රකාශ කර සියල්ල අවඥාවට පාත්‍ර කළාය.

ලියෝ තෝල්ස්තෝයිට සිය බිරිය කළ නොපනත්කම් නොවුණ නම් මෙයට වඩා බොහෝ රසවත් වටිනා නිර්මාණ ඔහු කෙරෙන් බිහි වෙන්නට ඉඩ තිබුණු බව ඇතැමෙක් පවසති. බිරිය මෙලෙස කටයුතු කළේ තමා හීනමානයෙන් යුතු නිසාද, නොඑසේ නම් තම සැමියාගේ නිර්මාණකරණය ගැන වැටහීමක් නොමැති නිසාද යන්න කිසිවෙකුටත් නිර්ණය කළ නොහැකි වූ බව කියනු ලැබේ.

යසවර්ධන රුද්රිගු
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all