Photobucket

Saturday, December 8, 2012

ඉල්ලීම් ලබා දීමට රජය එකඟයි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියයි

හෙද ඉල්ලීම් ලබාදීමට රජයේ එකඟතාව පළ කර ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි. ඒ අනුව හෙද ඉල්ලීම් ලබාදීම සඳහා වූ චක්‍රලේඛය ඉදිරි සති දෙක ඇතුළතදී නිකුත් කරන බව සඳහන් කරමින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා සෞඛ්‍ය ඇමැතිවරයාට හා රාජ්‍ය‍ සේවා එක්සත් හෙද සංගමයට ලිඛිතව දැනුම් දී තිබේ. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (02) මේ බව ප්‍රකාශ කළහ. 

හෙද ව්‍යවස්ථාවට අන්තර්කාලීන සංශෝධන සිදු කිරීම, හෙද හෙදියන්ට ලබාදෙන අනතුරු දීමනා ඒකක ප්‍රමාණය 09 සිට 14 දක්වා වැඩි කිරීම, අතිකාල දීමනා සඳහා රේට් ක්‍රමය ක්‍රියාත්මක කිරීම, පළමු වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් සඳහා භාණ්ඩ භාරකාර දීමනා වැඩි කිරීම හා කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස ආයතනය හෙද උපාධිය ලබාදෙන විශ්ව විද්‍යාල මණ්ඩපයක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් පහක් ලබාදීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබේ. 

කිසිම සටනකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් පමණක් මේ ඉල්ලීම් ජයග්‍රහණය කිරීම රාජ්‍ය‍ සේවා එක්සත් හෙද සංගමයේ තවත් ජයග්‍රහණයක් බව ආනන්ද හිමියෝ පැවැසූහ. දයාව, කරුණාව, මෛත්‍රිය මුල් කර ගනිමින් රෝගී සත්කාරක සේවාවන් සිදු කරන ලෙස හෙද නිලධාරින්ගෙන් ඉල්ලීමක් කරන බවත් හෙද නිලධාරින්ගේ ඉල්ලීම් ලබාදීමේ වගකීම සංගමය බාර ගන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. 

ජනතා ප්‍රසාදය දිනා ගනිමින් මේ ඉල්ලීම් ජයග්‍රහණය කිරීමට හැකිවීමෙන් විනයගරුක, ගුණාත්මක හෙද නිලධාරින් පිරිසක් බිහි කළ හැකි යැයි ද උන්වහන්සේ පැවැසූහ. රෝගීන් අපහසුතාවට පත් නොකරමින් සටන් කිරීමකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් හෙද ඉල්ලීම් සියයට සියයක්ම ජයග්‍රහණය කළත් ඇතැම් වෘත්තීය සමිතිවල සටන් පාඨ නොනවතින බවත් විශේ‍ෂයෙන්ම එම වෘත්තීය සමිති රාජ්‍ය නොවන සංවිධානවල දේශපාලන උවමනාවන් සාක්ෂාත් කරදීමට කටයුතු කරන බවත් ආනන්ද හිමියෝ පැවැසූහ. මේ අවස්ථාවට රාජ‍්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප සභාපති සී. බොරලැස්ස, ලේකම් ආර්.කේ. බටුවිට, විධායක සභික අශෝකා අබේනායක මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

සන්ධ්‍යා කරුණාරත්න
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all