Photobucket

Wednesday, December 5, 2012

දෝෂාභියෝගයට බාධා එපා !

ගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ විවිධ විවේචන, විමර්ශන, මතවාද හා ප්‍රවාද අසන්නට දකින්නට ලැබේ. ඒ ජනමාධ්‍ය ඔස්සේ ය. ජනතාව මේ ගැන විශාල උනන්දුවක් දක්වන්නේ ද යනු ප්‍රශ්නයකි. අග්‍රවිනිශ්චයකාර පදවිය වැනි තානාන්තර ගැන පොදු ජනයාගේ හැඟීමක් නැත. එහෙත් සිදු වන්නේ කුමක්දැ’යි බලා සිටින්නට ජනතාව පෙළ ගැසී සිටිති. වැරැදිකාරයනට දඬුවම් ලැබෙනු බලා ජනතාව සතුටු වෙති. 

 ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පුරවැසියා ජනාධිපතිවරයා ය. අග්‍රවිනිශ්චයකාරයා යනු ඊට පහළින් සිටින තැනැත්තෙකැ’යි යන්න මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවබෝධ කරගත් ඕනෑම පුද්ගලයකු වටහා ගනු ඇත. තානාන්තරය කුමක් වුව වරදක් සිදු වී ඇත්නම්; ඊට දඬුවමක් ලැබිය යුතුය. එහිදී අග්‍රවිනිශ්චයකාරයා ද? ජනාධිපති ද? අගමැති ද? කියා ප්‍රශ්නයක් නැත.  එලෙසම චූදිතයකුට තමන් නිර්දෝෂී නම් ඒ බව සනාථකොට නිදහස් හා නිවැරැදි පුද්ගලයකු ලෙස සමාජය ඉදිරියේ කෙළින් සිටගන්නට පුළුවන. 

අප කව්රුත් දන්නා ලෙස අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහි ව චෝදනා පත්‍රයක් ඉදිරිපත් වී තිබේ. එම තත්ත්වය විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ද පත්කර තිබේ. දැන් සිදුවිය යුත්තේ එම තේරීම්කාරක සභාව ඉදිරියේ තම නිර්දෝෂීභාවය සනාථ කිරීම ය. දැන් සිදු වන්නේ එය දැයි ප්‍රශ්නයක් අපට තිබේ. දෝෂාභියෝගය එක අතකින් දේශපාලන ප්‍රශ්නයක් බවට පත් ව තිබේ. තව අතකින් එය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. තවත් අතකින් ශ්‍රී ලංකාවේ බමුණු කුලය හා පොදු ජනයාගේ ආකල්ප අතර ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. 

කුමක් වුව වැරැදිකාරයකු වෙතොත්; ඔහුට හෝ ඇයට හෝ දඬුවම් දිය යුතු ය. රටේ නීතිය එය යි. සාධාරණත්වය හා යුක්තිසහගතභාවය අපේක්ෂා කරන ජනතාවගේ ප්‍රාර්ථනයත් එය යි. එහෙත් කල්පනාවට ගත යුතු වැදගත් ම කාරණය වන්නේ සැබෑ වැරැදිකාරයා නිහඬව සිටින්නේ නැති බව ය. ඔහු හෝ ඇය හෝ වැරැද්ද වසා ගැනීමට නොයෙක් උපාය මාර්ග භාවිත කරයි. අග්‍රවිනිශ්චයකාරතුමිය නිවැරැදි නම්; ඒ බව තේරීම් කාරක සභාව ඉදිරියේ සනාථ කළ යුතු ය. එය මඟ හරින්නේ නම් ; වරදෙකි. එය මඟ හැරීම සඳහා විවිධ උපායමාර්ග භාවිත කරත් නම්; එය ඊටත් වඩා විශාල වරදෙකි. 

කාගේත් දැන ගැනීම සඳහා කිව යුත්තේ මේ ගැටලුව උග්‍ර තත්ත්වයකට පත් නොකරනු යන්න ය. එකිනෙක පාර්ශ්වයන් නියෝජනය කරමින් පොල් ගැසීමට යෑමත්; සත්‍යග්‍රහ කිරීමත්, පිකට් කිරීමත් ගැටලුව උග්‍ර කරන වැඩ ය. අනෙක් අතින් අනවශ්‍ය පැටලැවිලි ඇති කරන වැඩ ය. මේවා කුමන සංවිධාන යටතේ කවරාකාරයකින් සිදු වන්නේදැ’යි තේරුම් ගත නො හැකි ය. එක අතකින් යුක්තියට සවන් දෙනු යැයි ත්‍රිරෝදරථකරුවෝ පෙළපාළි යති. තව අතෙකින් නීතිඥයෝ එම පෙළපාළියට පහර දෙති. ඉතා සාධාරණ ලෙස මේ ගැටලුව දෙස බැලුවහොත් අග්‍රවිනිශ්චයකාරතුමියට තම නිර්දෝෂීභාවය සනාථ කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දිය යුතුය. 

එසේ ඉඩ ප්‍රස්ථා ලබා දිය හැක්කේ මේ ක්‍රියාවලියට නිදහස්ව හා සාධාරණව ගලා යෑමට ඉඩ දීමෙන් ය. පිකට් කිරීම වැරැදි ය. සත්‍යග්‍රහ කිරීම වැරැදිය. පොල් ගැසීම වැරැදි ය. මහජනයා මේ සඳහා පොලඹවාලීම ද වැරැදි ය. ඒ අතර දිසා විනිසුරුවන් කොළඹට කැඳවා රැස්වීම් පැවැත්වීම ද අප දන්නා නීතියට අනුව වැරැදි ය. වරද නිවැරැදි කිරීම සඳහා සංවිධාන කුමට ද? රැස්වීම් කුමට ද? බෝධි සත්වයන් වැරැදි නිවැරැදි කළේ මෛත්‍රිය පතුරවමින් ය. ක්‍රිස්තුස් වහන්සේ වරැදි නිවැරැදි කළේ සාමය හා සමාදානය පතුරවමින් ය. ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන රාජ්‍යයෙකි. 

එය ලෝකය පිළිගන්නට පටන් ගත්තේ ත්‍රස්තවාදය පරාජය කොට රටට අලුත් සංවර්ධන උපාය මාර්ග හඳුන්වා දීමත් සමඟ ය. අපට දුර ගමනක් තිබේ. එහි කෙළවර ආසියාවේ ආශ්චර්යය ලෙස සටහන් වනු ඇත. සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය පරදවා අපට ඉදිරියට යා හැකි බව සනාථ වී තිබේ. එබඳු පසුබිමක් තථ්‍ය ලෙස වටහා ගත් පසු බටහිරින් අපට එල්ල වන බලපෑම් වැඩි වී ඇත. එහි කෙළවරක් නැත. කෙක්කෙන් බැරි නම්; කොක්කෙන් කියන්නා සේ සියලු බලවේග අපට එරෙහි ව ක්‍රියාත්මක වේ. ඒවා පරාජය කළ යුතුය. එසේ නොවුණහොත් අපට ගමනක් නැත. 

ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ දී ජාතිවාදයකින් තොරව පන්ති භේදයකින් තොරව නිදහස වෙනුවෙන් සටන් කළ අත්දැකීම් අපට තිබේ. අප එම අත්දැකීම් වෙත නැවත යා යුතුය. සියලු පන්ති, සියලු වර්ග එකට සිට බාහිර බලවේගවලට එරෙහිව සටන් කළ යුතු ය. අප ඉදිරියෙහි විශාල බාධකයක් ඇති බව තේරුම් ගත යුතු ය. අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ඇති ගැටලුව එහි එක් ප්‍රකාශනයකි. එම ගැටුම උග්‍ර තත්ත්වයකට පත්කොට පාකිස්ථානයේ වැනි තත්ත්වයක් ඇති කිරීමේ වුවමනාව බටහිර බලවේගවලට තිබේ. එය පරාජය නොකළහොත් ශ්‍රී ලංකාවට අනාගතයක් නැත. ජනාධිපතිවරයා කිසිදු ගැටලුවක් ඉදිරියේ කලබල වන්නේ නැත. 

මේ බව ‍ෙහාඳීන් තේරුම්ගත් බුද්ධිමතකු වන ඉන්දියාවේ එන්.රාම් මහතාගේ ප්‍රකාශයක් දිනමිණෙහි ඊයේ පළ විය. ඔහුගේ අදහසට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව තරම් ශක්තිමත් ආණ්ඩුවක් නිදහසින් පසු බිහි වී නැත. අනාගතයේ එවැන්නක් ඇතිවේ යැයි උපකල්පනය කරන්නටද පුළුවන්කමක් නැත. ඒ අනුව අපගේ මූලික ප්‍රශ්න විසඳාගත යුතු හොඳම අවස්ථාව පැමිණ තිබේ. එයින් ප්‍රයෝජන ගැනීම දේශපාලකයන්ගේ, බුද්ධිමතුන්ගේ පමණක් නොව ජනතාවගේ ද යුතුකම වනු ඇත. මේ සියල්ල විමර්ශනය කරන කළ පැහැදිලි වන්නේ දෝෂාභියෝග ක්‍රියාවලියට සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වීමට ඉඩදිය යුතු බව ය. ඊට කිසිවකු කිසිදු බලපෑමක් නොකළ යුතු බව ය. 


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all