දැන් තිරගත වන 'ස්කයිෆෝල්' පිළිබඳ කියවීමක්

මේ වෙනස සටහන් කරන එක් උදාහරණයක් මෙසේය. මීට පෙර බොහෝ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල සිටි බොන්ඩ්ලා තුළ අප දුටු විශේෂ ලක්ෂණයක් විය. එනම් ඔවුන් සතුරන් ලුහුබැඳ යන්නේ අප කවදාවත් ඇහැට දැක නැති තරමේ අලුත්ම තාක්ෂණයේ අවි ආයුධ ඇතුළු ඉන්ද්‍රජාලික මෙවලම් වලින් සන්නද්ධව වීමයි. බොහෝ විට ඔහු ගමන් කරන මෝටර් රිය පවා අප කිසිසේත් බලාපොරොත්තු නොවන ආකාරයේ වික්‍රමයන් පෑ හැකි, නයිට් රයිඩර් පන්නයේ මෝටර් රථයකි. වැඩි හරියක් ප්‍රේක්ෂකයන් බොන්ඩ් චිත්‍රපට නරඹන්නට ගියේ විශේෂයෙන්ම මෙම නව පන්නයේ ‘ගැජට්වලින්’ ජේම්ස් බොන්ඩ් මැජික් පෙන්වන අන්දම දැකබලා ගන්නට යයි පැවසුවද වරදක් නැතැයි සිතමි.
නමුත් ‘ස්කයිෆෝල්’ චිත්‍රපටයේ අපට හමුවන බොන්ඩ් (ඩැනියෙල් කේර්ග්) ඊට හාත්පසින්ම වෙනස් වූවෙකි. ඔහු සතුරා සමග සටන් කරන්නට යන්නේ ගල්කටස් පන්නයේ අවි ආයුධවලිනි. ඔහු ගමන් ගන්නේද පැරණි මෝස්තරයේ ‘ඇන්ටික්’ මෝටර් රථයකිනි. එක් අවස්ථාවක ඔහු අපේ කුස්සිවල තියෙන ආකාරයේ ගෑස් සිලින්ඩරයක් පවා ආයුධයක් ලෙස ප්‍රයෝජනයට ගනියි. මේ ජේම්ස් බොන්ඩ් 18 වෙනි, 19 වෙනි සියවස්වලට විනා 21 වෙනි සියවසට නම් කිසිසේත් ගැළපෙන බවක් නොපෙනෙන ‘බණ්ඩා’ කෙනෙකි.
‘ස්කයිෆෝල්’ හි ජේම්ස් බොන්ඩ්ට මෙසේ වූයේ ඇයි? එය මතුපිටින් පෙනෙනවාට වඩා කිසියම් බැරෑරුම් අරුතක් ඇති කාරණයක් කියා සිතෙයි. ‘ස්කයිෆෝල්’ මා දකින්නේ විශේෂයෙන් බටහිර සමාජයත්, අඩුවැඩි වශයෙන් සමස්ත ලෝකයත් මුහුණ දී සිටින ගැඹුරු අර්බුදයක්, ජේම්ස් බොන්ඩ් සිනමා රීතියේ සීමාවන් තුළ සිටිමින් නිරූපණය කරන්නට උත්සාහ ගන්නා, අවධානයට ලක්විය යුතු, ජනප්‍රිය සංස්කෘතියේ නිර්මාණයක් වශයෙනි.
ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලින් බොහෝ විට සාකච්ඡාවන්නේ ‘අරක්ෂාව‘ පිළිබඳ ගැටලුව බව අප කවුරුත් දන්නා කාරණයකි. ජේම්ස් බොන්ඩ් වූ කලී සුපිරි ගණයේ ආරක්ෂකයකු වශයෙන් ද සැලකිය හැක්කෙකි. බොන්ඩ් සේවය කරන්නේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන M16 නැමැති රහස් ඔත්තු අංශයේය. ‘ස්කයිෆෝල්’ චිත්‍රපටයේ මීළඟ විශේෂත්වය වන්නේ මෙහිදී සතුරු තර්ජනය එල්ල වන්නේ ආරක්ෂාව පිළිබඳ වගකිවයුතු මෙම කේන්ද්‍රස්ථානයටම වීමයි. එහි තේරුම නම් ආරක්ෂාවේ ‘කේන්ද්‍රයම’ මෙහිදී අනාරක්ෂිත වන බවයි. (මීට පෙර World is Not Enough චිත්‍රපටයේද M16 මූලස්ථානය තුළ බෝම්බයක් අටවනු ලැබුවත් එම ප්‍රහාරය මේ තරම් චිත්‍රපටයේ සමස්ත තේමාව සමග බැඳුනක් වූයේ නැත)
‘කේන්ද්‍රය’ අනාරක්ෂිත වීම එක් අතකින් මෙකල බටහිර දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික
ක්ෂේත්‍ර තුළ සංසරණය වන ප්‍රධාන කතිකාවන් හි නිතර මුණගැසෙන සංකල්පයකි. උදාහරණයක් කියතොත් පසුගිය දශක කිහිපය තුළ බටහිර ඉතා ජනප්‍රිය වූ පශ්චාත් නූතනවාදී යයි සැලකෙන කතිකාවන් තුළ මෙන්ම අලුතෙන් මතුවෙමින් ඇති පශ්වාත් - පශ්චාත් නූතනවාදී යනුවෙන් සැලකෙන කතිකාවන් තුළද නිතර හමුවන්නකි. මෙම චින්තකයන්ට අනුව දැන් කාලයක සිට බටහිර තුළ දක්නට ඇත්තේ ‘කේන්ද්‍රය’ යයි සිතා සිටි බලවේග අනාරක්ෂිත වූ හෝ බිඳවැටුණු සමාජයකි. ඒවා පිළිබඳ විශ්වාසය දියවී ගිය සමාජයකි. (මෙම කතිකාවන් තුළ ‘කේන්ද්‍රය’ යන්න වඩාත් දාර්ශනික සහ න්‍යායික තලයන්හි විග්‍රහ කෙරෙයි.)
‘කේන්ද්‍රය’ යන්න, සරළව ගත්විට, මුළු සමාජය එකට බැඳ තබන කිසියම් ‘බලවේගයක්’ හෝ ‘පරම සත්‍යයක්’ ලෙස හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස කලකට ඉහත, බටහිර නූතනවාදය තුළ විශ්වාස කෙරුණේ ලෝකයේ ප්‍රගතිය සහ විමුක්තිය රැඳී ඇත්තේ ‘විද්‍යාත්මක’ චින්තනය, තාක්ෂණය, භෞතික සංවර්ධනය ආදිය පදනම් කරගෙනය කියාය. ඔවුන් මේ සාධක දුටුවේ කවදා හෝ දවසක ලෝකයටම විමුක්තිය උදා කරදෙන ‘පරම සත්‍යයන්’ වශයෙනි. ශිෂ්ඨාවාරමය වශයෙන් නොදියුණු යයි ඔවුන් සැලකූ ජාතීන් යටත් කරගන්නටද ඔවුන් පදනම් කරගත්තේ තමන් ‘පරම සත්‍යයයේ’ නියෝජිතයන්ය යන න්‍යායයි. නමුත් අදවන විට දක්නට තිබෙන්නේ මෙම බටහිර ‘සිහිනය’ එසේ නැතහොත් ‘පරම සත්‍යය’ හෝ ‘කේන්ද්‍රය’ පිළිබඳ විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් ඇති තත්ත්වයකි. ඔවුන් අනුගමනය කළ ආර්ථික ක්‍රමවේදයන්, සංවර්ධන ක්‍රමවේදයන්, සමාජය හා මිනිසා පිළිබඳ සූත්‍රගත කිරීම් සියල්ල විශාල වශයෙන් ප්‍රශ්න කිරීමට ලක්ව ඇති තත්ත්වයකි. බටහිර ශිෂ්ඨාචාරයේ මෙම ගැටලුව අප ඉහත කී පශ්චාත් නූතනවාදී චින්තකයන්ගේ න්‍යායන් තුළ මතුකෙරුණේ (සරලව කියතොත්) ‘කේන්ද්‍රය’හෝ ‘මහා ආඛ්‍යාන’ බිඳ වැටුණු තත්ත්වයක් වශයෙනි.
‘කේන්ද්‍රය’ අනාරක්ෂිත වීම සමාජය එකට බැඳ තබන ‘බලවේගයක්’ අහිමි වීමක් ලෙසද අර්ථදැක්විය හැක්කකි. ඒ අරුතින් එය සමාජය තුළ අරාජිකබවක් ඇති කරන්නකි. ඒ ආකාරයෙන් සිතන අයට අනුව මේ තත්ත්වය සමාජයක ආරක්ෂාවට එල්ල වන තර්ජනයකි. ‘ස්කයිෆෝල්’ සංකේතාත්මකව නිරූපණය කරන්නේ මතෛක් කලක් සමාජයේ ආරක්ෂාවට වගකියූයේ යයි සැලකුණු ‘කේන්ද්‍රය’ අනාරක්ෂිත වීමේ හෝ බිඳවැටීමේ මෙම ගැටලුවය යන්න මගේ හැඟීමයිි. මෙය එක් අතකින් බටහිර පශ්චාත් නූතන තත්ත්වය සෘන ආකල්පයකින් ගැනීමේ ගැටලුව නිරූපණය කරන්නක් ලෙසද සැලකිය හැක්කකි.
මෙහිදී ර්6 නමැති ආරක්ෂක කේන්ද්‍රස්ථානයේ ආරක්ෂාව බිඳ වැටීමට තුඩු දෙන සාධකද සැලකිල්ලට ගැනීම වැදගත් වෙයි. MI6 රහස් ඔත්තු සේවයේ ආරක්ෂාව බිඳ වැටෙන්නේ එහි තිබූ ඩිජිටල් දත්ත වාගයක් සතුරු පාර්ශ්වය අතට පත් වීම හේතුකොට ගෙනය. සතුරු පාර්ශ්වය විසින් සොරාගන්නා ලද ඩිජිටල් දත්තවල අඩංගු වන්නේ MI6 රහස් ඔත්තු සේවයට සම්බන්ධ ඔත්තුකරුවන්ගේ නම් ගම් ඇතුළු විස්තර වාගයකි. මෙම ඔත්තුකරුවන් වූ කලී නෙටෝ සංවිධානය විසින් ඔවුන්ගේ සතුරු ‘ත්‍රස්ත සංවිධාන’වල තොරතුරු රැස්කිරීම සඳහා එම සතුරු කණ්ඩායම් තුළ රහසේ ස්ථානගත කරනු ලැබ සිටින ඉත්තන් ය. මෙවැනි ඔත්තුකරුවන් පිළිබඳ තොරතුරු සැලකෙන්නේ රහස් ඔත්තු සේවයක ඉතාම රහසිගත තොරතුරු වශයෙනි. රහස් ඔත්තු සේවයේ පමණක් නොව රටේ පාලන තන්ත්‍රයේද, ඒ හා බැඳුණු අනෙක් පාර්ශ්වවලද ආධිපත්‍යය හා ආරක්ෂාව රැඳී ඇත්තේ මෙම තොරතුරුවල රහස්‍යභාවය මතමය. එම රහස් තවදුරටත් රහස් නොවන කල අදාළ සමස්ත පද්ධතියේම ආරක්ෂාව මෙන්ම ආධිපත්‍යයද අනතුරට ලක්වෙයි. මෙය වත්මන් ‘පශ්චාත් නූතන සමාජය’ පිළිබඳ කදිම පිළිබිඹුවක් ලෙසද ගත හැක්කකි.
වත්මන් ඩිජිටල් සමාජය වූ කල ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා රහස් අතුරුදන් වන සමාජයකි. උදාහරණයක් ලෙස යම් රටක ආණ්ඩුවක් සිය බලය හා බැඳුණු රහස් රැක ගැනීම සඳහා වබේ අඩවි වැනි මාධ්‍යයක් තහනම් කරනවා යයි සිතමු. නමුත් මෙම උපක්‍රමය තවදුරටත් වලංගු නොවන්නේ ප්‍රොක්සි වබේ අඩවි ආදිය හරහා අර තහනම් කලාපයේ අගුලු විවර කරගෙන එම රහස් තුළට ඇතුළුවීම තවදුරටත් ගැටලුවක් නොවන නිසාය. ප්‍රභූන් හෝ කලාකරුවන් වැනි ‘මහා’ පුද්ගලයන් ගැන රහස් ගොසිප් වබේ අඩවි හරහා සමාජය පුරා සංසරණය වීම තවත් උදාහරණයකි. මේ නිසා වීරයන් බිහිවීමේ ඉඩකඩ පශ්චාත් නූතන සමාජය තුළ අභියෝගයට ලක්ව තිබේ. වීරයන් පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබේ. වීරයන් පිළිබඳව පමණක් නොව ‘සත්‍යයන්’ පිළිබඳව, ‘කේන්ද්‍රයන්’ පිළිබඳව සම්මත විශ්වාසයන්ද අභියෝගයට ලක් වී තිබේ.
මේ ආකාරයෙන් බලන කල ‘කේන්ද්‍රයේ’ බලය මතෛක් කල් රැකුණේ සමහර රහස්, රහස් හැටියට පැවතීම තුළ බව අපි දකිමු. නැවතත් උදාහරණයක් ගතහොත්, කිසියම් රටක ආණ්ඩුවක් ගැන හෝ කිසියම් ප්‍රසිද්ධ පුද්ගලයකු ගැන හෝ සමහර රහස් එළි වුවහොත් ඒ ආණ්ඩුවේ හෝ පුද්ගලයාගේ ප්‍රතිරූපය සහ බලය බිඳවැටෙන්නාක් මෙනි. මේ ආදී වශයෙන් වත්මන් සමාජයේ ‘කේන්ද්‍රයට’ එල්ල වී ඇති අනතුර ‘ස්කයිෆෝල්’ තුළ නිරූපණය වන්නේ රහස් තවදුරටත් රහස් ලෙස රැකගැනීමට නොහැකි වීමේ ‘ඩිජිටල් තත්ත්වය’ හරහාය. මෙය හරියට ජුලියන් අසාන්ජ්ගේ ‘විකිලීක්ස්’ හරහා රටරටවල ආරක්ෂක රහස් නිරුවත් වීම නිසා ඇති වූ ‘අවුල’ හා සමාන තත්ත්වයකි. (‘ස්කයිෆෝල්’ හි එන
‘දුෂ්ටයා’ හෙවත් රාවුල් සිල්වාද ඉදිරිපත් වන්නේ ඩිජිටල් සහ සයිබර් තාක්ෂණයේ කෙළ පැමිණියකු ලෙසින් වීම අවධානයට හසු විය යුත්තකි)
මේ මොන මොන ආකාරවලින් වේවා දැන් බටහිර සමාජය (මෙන්ම එක්තරා දුරකට මුලු ලෝකයම) මතෛක් කල් ‘පරම තත්ත්වයන්’ ලෙස සිතූ දේවල් හෙවත් ‘කේන්ද්‍රයන්’ පිළිබඳ විශ්වාසය බිඳවැටී ඇති ස්ථානයකි. එම ‘පරම තත්ත්වයන්’ යැයි සිතූ කාරණා මත පදනම්ව පවත්වාගෙන ගිය බලය සහ ආධිපත්‍යය බිඳ වැටෙමින් ඇති ස්ථානයකි. සියල්ල ආරක්ෂිතව එකට බැඳ තැබූ ‘කේන්ද්‍රය’ තර්ජනයට ලක්ව ඇත. වහා විසඳුමක් සොයාගත යුතුව තිබේ. ‘ස්කයිෆෝල්’ මතු කරන ප්‍රශ්නය එයයි.
‘ස්කයිෆෝල්’ චිත්‍රපටයේ ජේම්ස් බොන්ඩ් (ඩැනියෙල් කේර්ග්) ට පැවරෙන රාජකාරිය වන්නේ තර්ජනයට ලක්ව ඇති ‘කේන්ද්‍රයේ’ ආරකෂාවට අභියෝග කළ සතුරා ලුහුබැඳ ගොස් විනාශ කිරීමයි. ඒ තුළින් නැවත ‘කේන්ද්‍රයේ’ ආරක්ෂාව තහවුරු කිරීමයි. මෙය එක්තරා අතකින් ඇතැම් චින්තකයන් පශ්චාත් නූතන තත්ත්වය ලෙස හඳුන්වන ‘සතුරාට’ එරෙහිව සටන් කිරීමේ රාජකාරියක් ලෙසද අර්ථ දැක්විය නොහැක්කක් නොවේ.
මා කලින් කී ලෙසම ‘ස්කයිෆෝල්’ හි බොන්ඩ් මින් පෙර සිටි බොන්ඩ්ලාට වඩා වෙනස් මගක යමින් ගල්කටස් වර්ගයේ සටන් ක්‍රමයක් තෝරා ගැනීම තේරුම්ගත හැක්කේ මේ පසුබිම තුළය. මතෛක් කාලයක් අප දැක පුරුදු බොන්ඩ් මෙම චිත්‍රපටයේ මුල් හරියේදීම සංකේතාත්මක ආකාරයකින් මරණයට පත්වීමද කතාන්දරයේ වැදගත් අවස්ථාවකි. නරඹන්නන් ත්‍රාසයෙන් මුසපත් කරන ලුහුබැඳීමේ ජවනිකාවකින්් පසු (මා දුටු උද්වේගකරම ලුහුබැඳීමේ ජවනිකාවකි) චිත්‍රපටයේ නාමාවලිය තිරයෙහි සටහන් වෙද්දී, ඇඩෙල් විසින් ගයනු ලබන මනමෝහනීය තේමාගීතය පසුබිමේ අප දකින්නේ බොන්ඩ්ගේ මෙම සංකේතාත්මක මරණය පිළිබඳ රූපාවලියකි. ඉන්පසු යළිත් චිත්‍රපටය ඇරඹෙද්දී අප හමුවට එන්නේ නැවත ජීවය ලද අලුත් බොන්ඩ් කෙනෙකි. මේ මැරී උපන් බොන්ඩ් පෙර සිටි බොන්ඩ්ලාට වඩා බොහෝ සෙයින් වෙනස්ය.
කලින් සිටි බොන්ඩ්ලා හැඳින්විය හැක්කේ ‘අනාගතගාමී’ බොන්ඩ්ලා පිරිසක් ලෙසිනි. ඔවුන් සිය සතුරන් හා සටන් කරන්නට යන්නේ එතෙක් කිසිවකු පාවිච්චි කරනවා තබා ඇහැටවත් දැක නොතිබුණු විදියේ අලුත්ම තාක්ෂණික අවි ආයුධ සහ මෙවලම් තොගයක්ද අරගෙනය. කලින් චිත්‍රපටවල බොන්ඩ්ගේ චරිතය සහ මෙකී ‘ගැජට්ස්’ අතර තිබුණේ අවියෝජනීය සම්බන්ධයකි. එකල බොන්ඩ්ලා මොන තරම් මෙවැනි මෙවලම් මත යැපුනාද කියතොත් රොජර් මුවර් බොන්ඩ් චරිතය නිරූපණය කළ කාලයේ ඒ ගැන ප්‍රේක්ෂකයන්ගේ විරෝධය පවා එල්ල වූ බව පැවසේ. ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ මෙම ‘ගැජට්වලට’ වුවමනා ආකාරයට, එනම් ඒවා ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා නිර්මාණය වන ආකාරයට කතන්දරය කෘත්‍රිම ලෙස සකස් කරන බවටය.
මේ සියලු ලක්ෂණ හරහා පරණ බොන්ඩ්ලා තුළින් පළවූයේ ඔවුන් ‘අනාගතගාමී’ එනම් කාලයට ඉදිරියෙන් සිටින බොන්ඩ්ලා පිරිසක් බවයි. නමුත් සෑම් මෙන්ඩෙස් ‘ස්කයිෆෝල්’ හි මුල් ජවනිකා කිහිපය තුළදීම, අප ඉහත කී ආකාරයෙන් මෙම ‘අනාගතගාමී’ බොන්ඩ්ගේ ප්‍රතිරූපය මරා දමයි. ඒ වෙනුවට දැන් අපට හමුවන්නේ රැවුල කපන්නට පවා පරණ තාලයේ දැලි පිහියක් පාවිච්චි කරන බොන්ඩ් කෙනෙකි එනම් අනාගතයට නොව අතීතයට ආදරය කරන බොන්ඩ් කෙනෙකි. අනාගතය දෙසට යනවා වෙනුවට අතීතය දෙසට යන්නට කැමති බොන්ඩ් කෙනෙකි.
ර්6 ආයතනයේ ප්‍රධානියා වන ‘ර්’ (ඇය කාන්තාවකි) ගේ ජීවිතයට සතුරන්ගෙන් මරණ තර්ජනය දැඩිව එල්ලවන්නට වූ විට බොන්ඩ් ඇය රැගෙන පලායන්නේ හද්දා පිටිසරක පිහිටි, කඳුවැටි ඇතුළත් සොබා දහමින් වටවූ ඔහුගේ උපන් ගමටය. ඔවුන් ගමන් කරන්නේද පැරණි මෝස්තරයේ ‘ඇන්ටික්’ මෝටර් රථයකිනි. මේවා මින් පෙර අප දැක පුරුදු අනාගතගාමී, තාක්ෂණකාමී බොන්ඩ්ලාගෙන් පළ වූ ලක්ෂණ නොවේ. ඉන්පසු බොන්ඩ් ඔහුගේ ස්වාමි දියණිය වන ‘ර්’ සඟවා තබන්නේද පෞරාණික බලකොටුවක ස්වරූපය ගත් (අතීතය පිළිබඳ සංකේතයක් ලෙසද ගත හැකි) ඔහුගේ උපන් නිවස තුළය. අවසානයේ බොන්ඩ් සහ ඔහුගේ ප්‍රතිවාදියා වන රාවුල් සිල්වා මුහුණට මුහුණ හමුවන්නේ ද නිවස ආසන්නයේ පිහිටි, (ආගමික සංකේතයක් ලෙස ගත හැකි) පැරණි පල්ලියක් තුළදීය. මේ වෙලාවේ බොන්ඩ්ගේ උදව්කාරයා හෙවත් ‘සපෝටර්’ වන්නේද ඔහු කුඩා කාලයේ පටන් නිවසේ සේවකයකුව සිටි, මානුෂික හැඟීම් උතුරා යන හදවතක් ඇති, දැන් වයස අවුරුදු අසූවක් විතර වන මහල්ලෙකි. සටන් කරන්නට ඔවුන් ලෑස්ති කරගන්නේද බෙහෙත් කොටන තුවක්කු ආකාරයේ ආයුධය. කලින් කී ලෙසම එක් අවස්ථාවක කුස්සියේ ඇති ගෑස් සිලින්ඩරයද ආයුධයක් ලෙස යොදාගන්නා තත්ත්වයට පත් වෙයි. මේ බොන්ඩ් කලින් බොන්ඩ්ලා සමග සසඳන විට ඒ තරම්ම ‘ප්‍රාථමික’ මට්ටමේ බොන්ඩ් කෙනෙකි. ‘ගමේ බණ්ඩා’ කෙනෙකි.
මේ සියල්ල තුළින් සෑම් මෙන්ඩෙස්ගේ ‘ස්කයිෆෝල්’ කියාපාන්නට උත්සාහ ගන්නේ ආරක්ෂාව සඳහා අප නැවත ‘අතීතයට’ යා යුතුව ඇති බවද යන්න අසාධාරණ ප්‍රශ්නයක් යයි මට නොසිතේ. අනාගතය වැටී ඇත්තේ අප කලින් සාකච්ඡා කළ පරිදි ‘කේන්ද්‍රය’ අනාරක්ෂත වූ ‘පශ්චාත් නූතනත්වය’ හරහාය. පශ්චාත් නූතන තත්ත්වයද ඉක්මවා දැන් එළඹ ඇත්තේ පශ්චාත්- පශ්චාත් නූතන තත්ත්වයක් යයි පවසන චින්තකයෝද බටහිර සිටිති. මේ අතරින් ඇලන් කර්බි වැනි නවපරපුරේ චින්තකයන් කියන්නේ ඩිජිටල් තාක්ෂණය හරහා එළඹී ඇති යුගය පශ්චාත් නූතන තත්ත්වයද ඉක්මවා ගිය එකක් බවයි. ඔහු එය හඳුන්වන්නේ ඩිජි නූතනත්වය නැතහොත් ව්‍යාජ නූතනත්වය වශයෙනි. මෙය පශ්චාත් නූතන තත්ත්වයටත් වඩා අරාජික තත්ත්වයක්ය යන්න මෙම ධාරාවේ ඇතැම් චින්තකයන්ගේ අදහසයි. බටහිර මෙකල සංසරණය වන මෙම දාර්ශනික, න්‍යායික ස්ථාවරයන්හි බලපෑම ‘ස්කයිෆෝල්’ වැනි ජනප්‍රිය සංස්කෘතියේ නිර්මාණ තුළද දක්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම නිර්මාණවල අරුත් විමසීමේදී ඉහත කී කතිකාවන්හි සන්දර්භයන් තුළ පිහිටුවා විමසා බැලීම අසාධාරණ යයිද නොසිතමි.
පශ්චාත් නූතන තත්ත්වය සතුරකු ලෙස දකින බොහෝ චින්තකයන්ගේ අදහස වන්නේ ඉහත අප සාකච්ඡා කළ ආකාරයෙන්, බිඳ දමා විසිරුවා දමන ලද ‘කේන්ද්‍රය’ නැවත ඒකරාශී කර ගොඩ නැගිය යුතුව ඇති බවයි. ‘ස්කයිෆෝල්’ හි අපට හමුවන ජේම්ස් බොන්ඩ් වෙත පැවරෙන සැබෑ රාජකාරියද එයම ලෙස ගත නොහැකිද? ඔහු ඒ සඳහා අත්හදා බලන්නේ අතීතය නැවත වර්තමානය තුළ පිහිටුවන්නට වෑයම් කිරීමයි. ‘ස්කයිෆෝල්’ හි සමහර ප්‍රචාරක සටහන්වල සඳහන් වන එක් වැකියක් මෙහිදී සිහිපත් කරනු කැමැත්තෙමි. එහි සටහන් වන්නේ චඵබ ඪද බඩඥ පඥඵඥදබ (අතීතය වර්තමානය තුළ) යනුවෙනි. වර්තමාන සමාජය අත්විඳින ‘විඛණ්ඩනය’ ජයගැනීම සඳහා අතීතයේ පැවති- ආගමික විශ්වාස, ආදරය, සොබා දහම සමග බැඳි සරල ජීවිත රටාව වැනි සාධක විසින් එකට බැඳ තිබූ- සමාජය නැවත ගොඩනැගිය යුතුය යන්න අද බටහිරද කතාබහට ලක්වන කාරණා බවට පත්ව තිබේ. එය නැවත වරක් සියල්ල එක්කාසු කරන ‘කේන්ද්‍රය’ සොයා යාමකි. ‘ස්කයිෆෝල්’ හි ජේම්ස් බොන්ඩ් අවසානයේ ‘කේන්ද්‍රයේ’ ආරක්ෂාව රැකගැනීම උදෙසා ගමන් කරන්නේ මේ සියලු ලක්ෂණ සංකේතවත් කරන ඔහුගේ උපන්ගම නැමැති අතීතය වෙතය. මෙය අවශ්‍ය නම් කෙනෙකුට අපරදිග සංස්කෘතියේ සිට පෙරදිග සංස්කෘතිය වෙත ගමන් කිරීමක් ලෙසද අර්ථදැක්විය නොහැක්කක් නොවේ. (මේ වනවිට අර්බුදයට ලක්ව ඇති යුරෝපයේ රටවල බැංකුකරුවන් පිරිසක් දලයි ලාමා ගෙන් උපදෙස් ගන්නට පැවැත්වූ හමුවක් ගැන වාර්තාවක් පසුගියදා ‘නිව්ස්වීක්’ සඟරාවක තිබි කියවූයෙමි)’
බොන්ඩ්ගේ මෙම ‘අතීතය වෙත යාමේ’ උපක්‍රමය කිසියම් දුරකට සාර්ථක වුවද එය සියයට සියයක් හරි යන ව්‍යාපෘතියක් නොවන බවද ‘ස්කයිෆෝල්’ අපට දනවයි. අතීත ගම්මානයේදී සතුරා සමග එක්තරා දුරකට හොඳ සටනක් දෙන්නට හැකි වුවද තම ස්වාමී දියණිය වන ‘M’ මරණයට පත්වීම වළක්වන්නට බොන්ඩ්ට හැකි නොවේ. වර්තමානය පිළිබඳ තර්ජනයට අතීතය සම්පූර්ණ පිළිතුරක්ද යන්න ‘ස්කයිෆෝල්’ අවසන් වශයෙන් විසඳන්නේ නැත. ‘කේන්ද්‍රය රැක ගැනීම’ පිළිබඳ විශ්වාසය තවදුරටත් ග්‍රහණයෙන් ගිලිහී යන්නක් බව පෙනේ.
කෙසේ හෝ වේවා චිත්‍රපටය අවසන් වන්නේ ‘M’ ගේ මරණයෙන් පසු ගැරත් මැලොරි නම් නිලධාරියා ‘M’ ගේ තනතුරට පත්වීමෙනි. කාන්තාවකගේ මරණයෙන් පසු පිරිමියකු එම තනතුරට පත් වෙයි. මින් ඉදිරියට ‘කේන්ද්‍රයේ ආරක්ෂාව’ රැක ගැනීමේ වගකීම ඔහු වෙත පැවරෙන්නේ කාන්තාවට එය කළ නොහැකි වූ නිසාද? මෙයද අවශ්‍ය නම් අපට අතීතය නැවත ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව නිරූපණය කරන අවස්ථාවක් ලෙසද සැලකිය හැකි වෙයි. එදා පුරුෂයාගේ උසස්බව සහ ආධිපත්‍යය සැලකුණේ සොබා දහම විසින් තීරණය කරන ලද ‘පරම සත්‍යයක්’ ලෙසිනි. ‘ස්කයිෆෝල්’ අවසන් වන්නේ එම පැරණි ‘සත්‍යයට’ ද කිසියම් අනුමැතියක් ලබා දෙමින්ද?
නිහාල් පීරිස්
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment