Photobucket

Saturday, December 1, 2012

එහෙට ෂෝක්‌ වාස්‌ මෙහෙට ජෝන් බාස්‌

පරාජයෙන් හෙම්බත්ව සිටි නවසීලන්තය අවසානයේදී එකට එක කළේය. ශ්‍රී ලංකාව අතේ තිබූ ශූරතාවට නවසීලන්තයත් හවුල්කරුවන් විය. ඒ ක්‍රිකට්‌ වල හැටිය. අතේ තිබෙන ජයග්‍රහණය සන්තක කර ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල හැටිද? ඉකුත් ලෝක කුසලාන අවසන් මහා තරග හතර ඒ සඳහා කදිම නිදසුන්ය.
වසර 14 කින් ශ්‍රී ලංකාවේදී ටෙස්‌ට්‌ ජයක්‌ නොලැබූ නවසීලන්තය එම පරාජිත ඉතිහාසයට තිත තැබූවේය. පිට පිටම ටෙස්‌ට්‌ තරග පහක පරාජිත ගමන නිමා කළේය. ශ්‍රී ලංකාවට වඩා ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ශ්‍රේණියේ පසු පසින් සිටි නවසීලන්තය සරා පිටියේදී 'වැඩ පෙන්වීය.' එබැවින් නවසීලන්තය ශ්‍රී ලංකාවට වඩා තරගාවලිය පිළිබඳව සතුටු වනු ඇත. ඒ බව නවසීලන්ත නායක රෝස්‌ ටේලර්ස්‌ පවසා සිටියේය.

"අපි ගාලු තරගයේදී අසාර්ථක වුණා. ශ්‍රී ලංකාව ප්‍රබල කණ්‌ඩායමක්‌ වුවත් දෙවැනි ටෙස්‌ට්‌ තරගය ජය ගන්න අපි ගොඩක්‌ මහන්සි වුණා. අපේ වේග පන්දු යවන්නෝ ඉතාමත් හොඳින් පන්දු යෑව්වා. විශේෂයෙන් චමින්ද වාස්‌ගෙන් අපේ වමත් වේග පන්දු යවන්නන්ට ලොකු සහයෝගයක්‌ ලැබුණා. අපි ගොඩක්‌ සතුටු වෙනවා තරගාවලිය සම කිරීමට හැකිවීම පිළිබඳව." යනුවෙනි.

ගාලු තරගයේදී ටෙස්‌ට්‌ වරම් ලැබූ දිමුත් කරුණාරත්න වෙනුවට තිලකරත්න ඩිල්ෂාන් පැමිණීම පමණක්‌ දෙවැනි ටෙස්‌ට්‌ තරගයේ ශ්‍රී ලංකා බල ඇණියේ සිදුවූ එකම වෙනස විය. ගාලු තරගයේ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 60 ක්‌ ලබාගත් දිමුත් කරුණාරත්න වෙනුවට ඩිල්ෂාන් වැනි පරිණත ක්‍රීඩකයකු කණ්‌ඩායමට පැමිණීම දුර්වල තීරණයක්‌ නොවනු ඇත. එහෙත් ලකුණු අතරට පිවිසි පසු ස්‌ථානය අහිමි වීම අදාළ ක්‍රීඩකයාට සිදුවන අසාධාරණයකි. කාර්ය බහුල ක්‍රිකට්‌ තරගාවලි කිහිපයකට සහභාගි වී සිටි ඩිල්ෂාන්ට දෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී විවේක ලබාදී දිමුත්ට අවස්‌ථාව ලබාදුන්නේ නම් එය සාධාරණය. ඩිල්ෂාන්ව කණ්‌ඩායමට අවශ්‍යම නම් තරංග පරණවිතානව ඉවත් කර ඩිලෂාන් සහ දිමුත් යුගල ආරම්භක පිතිකරු ලෙස යොදා ගත්තේ නම් එය නිවැරදි තීරණයක්‌ වනු ඇත.

දිනේෂ් චන්දිමාල්ද පිතිකරුවකු ලෙස බංකුවේ සිටින්නේ ලබාදුන් අවස්‌ථාවලදී උපරිමය කරමිනි. ප්‍රසන්න ජයවර්ධන පිතිකරුවකු ලෙස ඉනිම කිහිපයක්‌ අසාර්ථක වී සිටියදීත් ලකුණු අතර සිටි චන්දිමාල් බංකුවේ සිටීමෙන් චන්දිමාල් සහ ප්‍රසන්න දෙදෙනාම පීඩනයකට හසු වනු ඇත. සුදුස්‌සාට සුදුසු තැන නොදීම අදාළ පරාජයේ එක්‌ පැතිකඩකි.

2010 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුනු ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට රිකී පොන්ටින් ඇතුලත් විය. නමුත් එක්‌ ටෙස්‌ට්‌ තරගයකදී පෞද්ගලික හේතුවක්‌ නිසා ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි විය. පොන්ටින් වෙනුවෙන් එදා ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්‌ට්‌ වරම් ලැබූ ෂෝන් මාර්ෂ් මංගල තරගයේදීම ශතකයක්‌ ලැබීය. පොන්ටින් යළි පැමිණි පසු ෂෝන් සහ පොන්ටින් දෙදෙනාව සංචිතයේ තබා ගැනීමට ඔස්‌ටේ්‍රලියානු තේරීම් කමිටුව සහ නායකයා තීරණය කළේය. එවැනි සාධාරණ තීරණ අනුගමනය කරන ඔස්‌ටේ්‍රලියාව ජාත්‍යන්තර වර්ගීකරණයේදී සම මට්‌ටමේ රැදී සිටියි. ශ්‍රී ලංකා තේරීම්වල සිදුවන දුර්වල තීන්දු හේතුවෙන් මේ වන විට ටෙස්‌ට්‌ ශ්‍රේණිය ලකුණු සියයේ සීමාවෙනුත් පහළට වැටී තිබේ.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා සංයුතිය කදිමට ගැලපුණි. වාස්‌ සහ මුරලි සුසංයෝගය පන්දු යෑවීමේ බර කරට ගත්තේය. මාවන්, ජයසූරිය, ඩිල්ෂාන්, සංගක්‌කාර සහ මහේල පිතිකරු බල ඇණියේ වගකීම අකුරට ඉටු කළේය. අද මාවන් සහ ජයසූරියද ක්‍රිකට්‌ වලට සමුදී ඇත. මුරලි සහ වාස්‌ද සමුදී තිබේ. එබැවින් නවකයන් සොයා යන ගමනකදී සිදුවනු අඩුපාඩු ටෙස්‌ට්‌ පරාජයේ එක්‌ පැතිකඩක්‌ බව පැහැදිලිව පෙනෙන්ට තිබේ.

වත්මන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ පන්දු යෑවීමේ බර රංගන හේරත්ගේ කර මත පැටවී තිබේ. එය ඔහු සාර්ථකව ඉටු කරමින් තිබේ. ශ්‍රී ලංකාව සහභාගි වූ ඉකුත් ටෙස්‌ට්‌ තරග කිහිපයකම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ හේරත් මෙවර නවසීලන්තයට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියේදී වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

නවසීලන්තයට එරෙහිව ඉනිම හතරකදී කඩුලු 20 ක්‌ බිඳ දැමූ හේරත් එහිදී කඩුල්ලක්‌ ලබා ගැනීමේ සාමාන්‍ය 13.90 ක්‌ ලෙස සටහන් කර ගත්තේය. හේරත් තනිවම කඩුලු 20 ක්‌ දවා ගනිද්දී සෙසු පන්දු යවන්නෝ බිඳ දමා ඇත්තේ කඩුලු 18 ක්‌ පමණි. එහිදී කුලසේකර කඩුලු 7 ක්‌, ෂමින්ද එරංගන කඩුලු 5 ක්‌, රංගන හේරත් කඩුලු 5 ක්‌ සහ ඩිල්ෂාන් එක්‌ කඩුල්ලක්‌ වශයෙනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් තනි රංගනයක යෙදෙද්දී නවසීලන්ත පන්දු යවන්නෝ සමසේ කඩුලු බෙදා ගත්හ. එහිදී ටිම් සවුති කඩුලු 12 ක්‌, ටිම් බෝල්ට්‌ කඩුලු 9 ක්‌, පටෙල් කඩුලු 4 ක්‌ වශයෙන් ප්‍රධාන පන්දු යවන්නෝ සිය කණ්‌ඩායමට දායකත්වය සැපයූහ. ශ්‍රී ලංකා වේග පන්දුවට වඩා නවසීලන්ත වේග පන්දු ගවු ගණනක්‌ ඉදිරියෙන් සිටියහ. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමස්‌ත තරගාවලියේදී කඩුලු 12 ක්‌ ලබා ගන්නා අතරවාරයේදී නවසීලන්ත වේග පන්දු යවන්නෝ කඩුලු 24 ක්‌ දවා ගත්හ. නවසීලන්ත දඟ පන්දු යවන්නන් දවා ගත්තේ කඩුලු පහක්‌ පමණි. නවසීලන්ත වේග පන්දු යවන්නන් ගැන ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසා සිටියේ,

"අපේ පරාජයට එක්‌ හේතුවක්‌ තමයි නවසීලන්ත වේග පන්දු යවන්නෝ හොඳින් පන්දුව දෝලනය කරමින් පන්දු යෑවීම." යනුවෙනි. නවසීලන්ත වේග පන්දුවට ජවය ලබාදුන් වාස්‌ පිළිබඳව මහේල පවසා සිටියේ, "වාස්‌ පුහුණුකරුවකු ලෙස පැමිණීම පිළිබඳව අපි දැන ගත්තේ ඔහු නවසීලන්තයට එකතු වුණාට පස්‌සෙ. වාස්‌ කියන්නේ අපේ රටේ සිටි විශිෂ්ඨ පන්දු යන්නෙක්‌. මම හිතන්නෙ ඔහුගෙන් අපේ රටේ නවකයන්ට බොහෝ දේ ලබාගත හැකියි. පසුගිය අයි.පී.එල්. තරගාවලියේදීත් වාස්‌ හිටියේ මගේ කණ්‌ඩායමේ. ඔහු මෑතක්‌ වෙනකල් එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලි ක්‍රීඩා කළා. ඇත්තටම ඔහු පුහුණුකරුවකු ලෙස පැමිණීම ශ්‍රී ලංකාවේ නවකයන්ට ඉදිරියේදී වැදගත් වේවි."

මේ වන විට සුපිරි වේග පන්දු යවන්නන් අහේනියකට ලක්‌ව සිටින ශ්‍රී ලංකාවට වාස්‌ වැන්නන්ගෙන් ප්‍රයෝජනයක්‌ ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන්ගේ වගකීමකි. ශ්‍රී ලංකාවට පෙර නවසීලන්තය ඔහුගෙන් සේවය ලබා ගැනීම ඉක්‌මන් විය. එහිදී වාස්‌ගේ උපදෙස්‌ අනුව පන්දුව හොඳින් දෝලනය කිරීමට හැකි වූ බවද නවසීලන්ත නායකයා පවසයි.

වසර ගණනාවක්‌ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස සිටින චම්පක රාමනායකට සුපිරි වේග පන්දු යවන්නන් නිර්මාණය කිරීමට හැකියාවක්‌ ලැබී නොමැති බව මෙවර තරගාවලියේදීත් පැහැදිලි විය. ඔහු ලසිත් මාලිංගව ජාත්‍යන්තර කරළියට ගෙන ඒමෙන් පසු කිසිදු පන්දු යවන්නෙක්‌ සාර්ථකත්වයට පත් කර නොමැත. පාසල් ක්‍රිකට්‌ පිටියට හෝ දේශීය ප්‍රධාන ක්‍රිකට්‌ පිටියට ගොස්‌ වේග පන්දු යවන්නෝ සොයා යැමක්‌ චම්පක රාමනායක කරන්නේද යන්න අපි නොදනිමු. ශ්‍රී ලංකා වේග පන්දු ඇඩකඩමියද ඒ සඳහා වගකිව යුතුය. වාස්‌ වේග පන්දු යවන්නෙකු ලෙස සේවයට පැමිණීමත් සමග චම්පකද වෙනදාට වඩා උද්යෝගයකින් පුහුණු කිරීම්වල නිරත වනු නවසීලන්ත තරගාවලියේදී දක්‌නට ලැබිණි. ක්‍රීඩකයන් අතර මෙන්ම පුහුණුකරුවන් අතරද තරගයක්‌ තිබීම ජයග්‍රහණයට විශාල පිටිවහලකි. මේ සියලු දේ නිසියාකාරව කළමණාකරණය නොකිරීම පරාජයට අතවැනීමකි. ශ්‍රී ලංකාවෙන් සිදුවන්නේද එයම බව පැහැදිලිව පෙනේ.

ශ්‍රී ලංකාවේ සිටින වත්මන් වේග පන්දු යවන්නන් අතර ෂමින්ද එරංගන තරග තුනකදී කඩුලු 10 ක්‌, නුවන් කුලසේකර තරග 17 කදී කඩුලු 41 ක්‌, ධම්මික ප්‍රසාද් තරග 10 කදී කඩුලු 19 ක්‌ සහ චානක වෙලගෙදර තරග 18 කදී කඩුලු 48 ක්‌ ලබා තිබේ. මෙම සෑම පන්දු යවන්නෙක්‌ම කඩුල්ලක්‌ දවා ගැනීම සඳහා ලකුණු 30 කට අධික සංඛ්‍යාවක්‌ ලබා දී ඇති බව ඔවුන්ගේ දළ ලකුණු වේගය නිරීක්‍ෂණය කිරීමේදී පැහැදිලි වේ.

ලොව අංක එකේ ටෙස්‌ට්‌ පිතිකරුවා බවට පත්ව සිටින කුමාර් සංගක්‌කාරට මෙවර තරගාවලියේදී ලබාගත හැකිවූයේ ඉනිමක තුනකදී ලකුණු 21 ක්‌ පමණි. ආරම්භක කඩුලු සබඳතාව විගසින් දැවී යාම හේතුවෙන් සංගක්‌කාරට අදාළ දක්‍ෂතාව පවත්වා ගැනීමට බාධාවක්‌ වුවාදැයි අපි නොදනිමු.

තරගාවලියට පුරාවටම මැද පෙළ ශක්‌තිමත් කළ ඇන්ජලෝ මැතිව්ස්‌ ඉනිම තුනකදී ලකුණු 210 ක්‌ ලබා ගත්තේය. ඔහු තරගාවලියේ පිතිකරුවන් අතර දෙවැනි වන්නේ රෝස්‌ ටේලර්ට පමණි. ටේලර් ලකුණු 243 ක්‌ ලබා තිබේ.

නවසීලන්තයට එරෙහිව ලැබීමට තිබූ ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණයට අපි නොදත් එහෙත් ශ්‍රී ලංකා තේරීම්වල තීරණ බලපෑවේද යන්න අපි නොදනිමු. එය දැන් අතීතයට එකතුවී හමාරය. යළි වර්තමානයේ නැගී සිටින්නට වැරැදි නිවරැදි කර ගත යුතුය. 
 
අසේල විතාන
දිවයින ඇසුරින් පල කරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all