Saturday, December 1, 2012

හල්දුම්මුල්ල සොහොන් බිමෙන් හෙළි වන හෙළ ඉතිහාසය

විජය පරපුර ලක්‌ දෙරණ ශිෂ්ටාචාරගත කළ බව අපි දේව භාෂිතයක්‌ ලෙස අදහමු. එහෙත් විජයාවතරණයට ද වසර සිය දහස්‌ ගණකටත් පෙර මේ දෙරණ ශිෂ්ටාචාරගතව පැවති බව අද අපට පිළිගන්නට සිදුව ඇත.

කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ දීර්ඝ කාලයක සිට ලාංකික ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස විජයාවතරණයට පෙර පැවති ශිෂ්ටාචාරය පිළිබඳ වඩා විශ්වාසනීය තොරතුරු අනාවරණය වී ඇත.
මේ පර්යේෂණ පරිශ්‍රමය අපේ ඉතිහාසයට අන කරන්නෙ විජයාවතරණය තවදුරටත් ලාංකික ජන සමාජයේ පදනම බවට වන නිල ඉතිහාසය බැහැර කරන ලෙසයි.

අඳුරින් වැසී තිබී ආලෝකවත් කළ එම ඉතිහාස සාධකයන් සොයා අප ගිය නිරීක්‍ෂණ චාරිකාවක සටහන් මේ ලිපිය පුරා දිග හැරෙන්නෙ මෙසේය....

රටක්‌ ශිෂ්ටාචාරගතවීම ආරම්භවනවා යනු දඩයම අතහැර කෘෂිකාර්මික දිවිපෙවතකට නැඹුරුවීමත් ගල් ආයුධ වෙනුවට ලෝහ ආයුධ භාවිතයට පිවිසීමත්ය. එසේනම් ලාංකික ශිෂ්ටාචාරය පිළිබඳ විධිමත් නිගමනයකට එළැඹීම සඳහා ආදි මානවයා දඩයම අතහැර කෘෂිකර්මාන්තයට පිළිපන් යුගයත් ගල් ආයුධ භාවිතය ලෝහ ආයුධ භාවිතයකට පරිවර්තනය කරගත් යුගයත් පිළිබඳ නිවැරැදි අදහසකට පැමිණිය යුතුයි. ඊළඟ තර්කය වන්නේ දඩයක්‌ කාරයන් ගොවියන් බවට පත්වීමටත් ගල් ආයුධ ලෝහ ආයුධ බවට විතැන් කරගැනීමටත් බලපෑ සාධක කවරේද යන්නයි. ඊට බලපෑවේ පාරිසරික හේතූන් ද? සමාජීය හේතුන්ද? යන්න සොයා බැලිය යුතුයි.

දඩයක්‌කාරයන් ගොවියන් බවට පරිවර්තනය වීමට සානුබලය සැපයිය හැකි ප්‍රධානම සාධකය වන්නේ දේශගුණික සාධකයයි. ලෝක පරිමාණ අධ්‍යයනයන් පරිශීලනය කිරීමේදීත් ඒ බව තහවුරු වේ. එසේ නම් නැවත පැණ නැගෙන තර්කය වන්නේ, එම දේශගුණික ස්‌වභාවය කෙබඳු එකක්‌ විය යුතුද යන්නයි. අවුරුද්ද මුලුල්ලේම එක්‌ දේශගුණයක්‌ ව්‍යාප්තව පවතී නම් මේ සඳහා පෙළඹුමක්‌ ඇති නොකරයි. එනම් අවුරුද්ද පුරාම වියළි දේශගුණයක්‌ පවතින ප්‍රදේශවල ද, අවුරුද්ද මුලුල්ලේම වර්ෂාව හොඳින් ලැබෙන ප්‍රදේශවල ද ජීවත් වන මානවයා මේ ආකාරයට දඩයම අතහැර කෘෂිකර්මයට විතැන් නොවේ. එසේ නම් වියළි හා තෙත් දේශගුණයක්‌ සම සමව අවුරුද්දේ ඒ ඒ කාර්තුවල පවතින ප්‍රදේශවල ජීවත්වන මානවයා සිය ජීවන මාර්ගයද වෙනස්‌ කර ගන්නට ඇත. ලංකාවේ එවන් දේශගුණයක්‌ පවතින ප්‍රදේශ කිහිපයකි. වලව, එහි වළවේ ගඟින් එගොඩ ප්‍රදේශය එනම් අම්බලන්තොට වියළි දේශගුණයක්‌ පවතින අතර වළවේ ගඟින් මෙගොඩ රත්නපුරය, ගොඩකවෙල තෙත් දේශගුණයක්‌ සහිත ප්‍රදේශ ලෙස හඳුනාගත හැක. නාඋල ප්‍රදේශයේ ද මේ දේශගුණික තත්ත්වයන් දෙකම හඳුනාගත හැකිය. නුවරඑළියේ සිට බලකඩුව දුර්ගය බැස යන විට සීත තෙත් දේශගුණයක්‌a පවතින අතර නාඋල පසු වී දඹුල්ල ඇඹුල්අඹේ උෂ්ණ දේශගුණයක්‌ පවතී.

මෙසේ උඩවළවේ සහ නාඋල යන ප්‍රදේශයන් අතුරින් පූර්ව සාධකද සැලකිල්ලට ගෙන උඩවලව ප්‍රදේශය පර්යේෂණ වැඩබිම ලෙස තෝරාගෙන මූලික කැණිම් ප්‍රදේශ ලෙස පල්ලේබැද්ද ගල්පාය ප්‍රදේශයේ වැඩ ආරම්භ කර තිබේ. අවාසනාවකට ගල්පාය ප්‍රදේශය මීට පෙර නිදන් හොරුන් විසින් විනාශකර තිබිණි. නිදන් හොරුන් විනාශ කළ පුරා වස්‌තු පරීක්‍ෂා කිරීමේදී පර්යේෂණ කණ්‌ඩායමට සුවිශේෂ සාධක රැසක්‌ ලැබිණි. එහි දඩයක්‌ කාරයන්ට අදාළ පුරාවස්‌තු සේම යකඩ භාවිත කළ කෘෂිකාර්මික යුගයට අයත් මානව අවශේෂයන්ද හඳුනාගැනීමට හැකි විය. තමන්ගේ පූර්ව නිගමනය නිවැරැදි බවත් එහෙත් ගල්පාය ප්‍රදේශයේ නිදන් හොරුන් විසින් සිදුකර ඇති විනාශය නිසා තවදුරටත් කැනීම් සිදුකිරීම අර්ථ විරහිත බවත් අවබෝධකරගත් පර්යේෂණ නඩය සිය අරමුණු අත් නොහරිමින් ගල්පාය ප්‍රදේශයට සමානකම් ඇති වෙනත් ප්‍රදේශ කරා සිය පර්යේෂණ ඇස යොමුකරන ලදී.

ගල්පාය තියුණු උපායශීලී ස්‌ථානයකි. උතුරින් බළංගොඩ හපුතලේ කඳු වලල්ලත් මධ්‍ය කඳුකරයේ හෝර්ටන් තැන්නත් පිහිටා ඇත. එම කඳු වළල්ල පසුකර යන විට කල්තොට, මොහොර ප්‍රදේශය, බෙල්ලන්බැඳි පැලැස්‌ස, උඩවලව පසු කරන විට වියළි කලාපය දක්‌වා දිවෙන තැනිතලාව භූවිෂමතා ලක්‌ෂණ ලෙස හඳුනා ගත හැකියි. ඔවුන්ගේ උපකල්පනය වූයේ මධ්‍ය කඳුකරයේ තෙත් දේශගුණයක්‌ සහිත හෝර්ටන් තැන්නේ සිට ආදි මානවයා පහළ ප්‍රදේශ කරා, පසුබසින්නට ඇති බවයි. එම උපකල්පනය තහවුරුවන කැණීමක්‌ 2006 වසරේ සිදු කිරීමට හැකිවීම ඔවුන් ලැබූ ජයග්‍රහණයකි.

පල්ලේබැද්දට තදාසන්නව ඇති කොළඹගේආර ප්‍රදේශයේ රංචාමඩම පාසලේ ඉදිකිරීමකදී මතු වූ පුරාවස්‌තු මෙම පර්යේෂණ නඩයට වැදගත් හෝඩුවාවක්‌ විය. රංචාමඩම ප්‍රදේශයේ කළ කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියක්‌ මතු කරගැනීමට පර්යේෂණ කණ්‌ඩායමට හැකි විය. එම සොහොන්බිම ප්‍රාග් ඓතිහාසික සොහොන් බිම් අතර සුවිශේෂ එකකි. මෙම සුසාන තුළ සිදු කළ සූක්‌ෂම කැණීම් මගින් මිනී ඇට තැන්පත් කළ මැටි භාජන හඳුනාගැනීමට හැකි වී තිබේ. ඒ තුළ ගල් ආයුධ ද තැන්පත් කර තිබූ බව හඳුනාගෙන ඇත. මේ ද්‍රව්‍ය හමුවීම පුරාවිද්‍යාඥයන් ඉතා උනන්දු සහගත පෙළඹවීමකට යොමු කර ඇත.

වළං ගොවියන්ට අයත් පාරිහාරික භාණ්‌ඩයකි. එසේම වළං තුළ තිබූ ආයුධ දඩයම්කරුවන්ට අයත් ආයුධයි. මෙම සොයාගැනීම ඔස්‌සේ ලාංකික ආදී මානවයා පිළිබඳ වැදගත් නිගමනයකට එළැඹීමට හැකි විය. එනම් ගල් ආයුධ භාවිත කළ දඩයම්කරුවන් සහ මැටි වළං භාවිත කළ කෘෂිකාර්මික මානවයා අතර කිසියම් සංස්‌කෘතික සම්මිශ්‍රණයන් සිදුවී ඇති ආකාරයයි. එයින් මෙතෙක්‌ අපේ රටේ පූර්ව ඉතිහාසය පිළිබඳ එල්බගෙන සිටි වැරැදි නිගමනයක්‌ බිඳ දමන්නට හැකිවිය. එසේ බිඳ වැටුනු නිගමනය වූයේ දඩයමින් ජීවිතය ගෙනගිය මානවයන්, උතුරු ඉන්දියාවෙන් පැමිණි යකඩ සහ මැටි භාණ්‌ඩ භාවිතයට නැඹුරුවූ ආර්ය සංක්‍රමිකයන් පැමිණීමත් සමඟ පසු බැස්‌ස බවයි. රංචාමඩම ප්‍රාග් ඓතිහාසික සුසානභූමි කැණීමත් සමඟ මෙම මානවයන් දෙකොටස අතර සංස්‌කෘතික සංස්‌පර්ෂයක්‌ පැවැති බව තහවුරු වෙයි.

මෙම සුසාන භූමියෙන් හමු වූ අඟුරු ඉන්දියාවේ පර්යේෂණාගාර වෙත යවා කළ කාල නිර්ණයන්ට අනුව මෙම සුසාන භූමි භාවිත කර ඇත්තේ අදින් වසර 3250 කට පෙර බව තහවුරු වී ඇත. මෙම සුසාන භූමි මැටිගල් (මෝඩ ගල්) යොදාගෙන ලඹ කර බැඳීමෙන් සාදා ඇත. මිනී අළු තැන්පත් කර ඇති මැටි මුට්‌ටි සකපෝරුවේ සියුම්ව සකසාගත් ඒවා ය. මෙමගින් පැහැදිළි වන්නේ මූලික ඉදිකිරීමේ තාක්‌ෂණය, ආදාහන චාරිත්‍ර සහ මූලික ආගමික ක්‍රමයක්‌ පැවති බවයි.

පුරාවිද්‍යාඥයන් නිරන්තරයෙන් අභියෝගවලට මුහුණ දෙයි. එම අභියෝග ජයගැනීම ඔස්‌සේ ශිෂ්ටාචාරයේ අලුත් ඉම් ගවේෂණය කළ හැකි බව නොරහසකි. පර්යේෂණ කණ්‌ඩායම මුහුණ දුන්නේ තවත් අභියෝගයකටය. ඒ රංචාමඩම ප්‍රදේශයෙන් හමු වූ සුසාන භූමි භාවිත කළ මානවයන් ජීවත් වූයේ කොහේද? ඒ කෙසේද? යන්න සොයා ගැනීමයි.

2009 වසරේ උඩ රංචාමඩම ප්‍රදේශයේ සිදුකළ කැණීමකදී පුරාණ නිවාසක්‌ සොයාගැනීමට හැකි විය. එයින් එම ගැටලුවටද සාර්ථක පිළිතුරක්‌ ලැබිණි. වරිච්චි ගැසූ මෙහි මුලුතැන් ගෙයින් ආහාර පිසීමට භාවිත කළ ලිපක්‌ සොයාගැනීමට හැකිවිය. මැටි මූර්තියක්‌, කාන්තාවන් ඇස වර්ණ ගැල්වීමට භාවිත කරන අඳුන් කූරක්‌ සහ අවසාන භෝජනයට ගත් සතුන්ගේ ඇටකටු ද සොයා ගත හැකි විය. මේවා අදින් වසර 3150 ඉපැරණි භාණ්‌ඩ බව තහවුරු කරගැනීමට හැකි වී ඇත.

මෙම නිවසෙන් සොයාගත් ආයුධ අතර ගල්ආයුධ අටක්‌ ද යකඩ ආයුධ දෙකක්‌ ද තිබිණි. ඒ අනුව මේ අවධිය වනවිට යකඩ භාවිතය එතරම් ප්‍රචලිත වී නොතිබි බව නිගමනය කළ හැක.

යකඩ භාවිතය ඉතාම සුවිශේෂ කාරණයක්‌ වන අතර යකඩ සොයා ගන්නේ කුමණ ස්‌ථානයෙන්ද යන්න ඊටත් වඩා සුවිශේෂ කාරණය වේ. යකඩ වැනි ඛනිජ සොයාගත හැක්‌කේ කඳුවලිනි. උඩ රංචාමඩම ප්‍රදේශයට ආසන්න කඳු පංති වන්නේ හල්දුම්මුල්ල, හපුතලේ, බලංගොඩ, ඕපනායක යන කඳු පංතිය බවට පූර්ව සාධකද සැලකිල්ලට ගෙන උපකල්පනය කළ ගවේෂණ කණ්‌ඩායමට, මෙම කඳු ගවේෂණය කිරීමේදී ලෝහ නිධි පිහිටි ස්‌ථාන හඳුනාගැනීමට හැකි විය. මෙයින් එළැඹිය හැකි නිගමනය වන්නේ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ ජීවත්වූ දඩයක්‌කාරයන් කිසියම් පාරිසරික හේතුවක්‌ නිසා පල්ලම් බැස බෙල්ලන්බැඳි පැලැස්‌සට පැමිණ රංචාමඩම ප්‍රදේශයට තල්ලු වී ඔව්හු දඩයම අතහැර පූර්ණ ගොවියෝa බවට පත් වූහ. එසේ පැමිණියේ නම් ඔවුන් හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිට පහළට ගමන් කළ මාර්ගයේද ඔවුන්ගේ සළකුණු සහ ජනාවාස තිබිය යුතුය. එය තවත් අභියෝගයකි. එම අභියෝගය භාරගත් පර්යේෂණ කණ්‌ඩායම පහළ සිට ඉහළ හෝර්ටන් තැන්න දක්‌වා මානව අවශේෂ සහ සලකුණු සොයමින් දීර්ඝ ගවේෂණ චාරිකාවක නිරත විනි. එහිදී ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාස 50 පමණ සොයාගැනීමට ඔවුන්ට හැකිවිය. ඒ ඉදල්ගස්‌හින්න, හල්දුම්මුල්ල, බණ්‌ඩාරවෙල, පඹහින්න සහ මරන්ගහවෙල ආදී ප්‍රදේශවලිනි. විධිමත් ගවේෂණයක්‌ සිදු කළහොත් තවත් ජනාවාස 400 පමණ සොයාගත හැකිවනු ඇත. එම දුෂ්කර ගවේෂණය ද මේ වසරේදී ආරම්භ කිරීමට නියමිතය.

හල්දුම්මුල්ලේ සොහොන් බිමේ කළ කැණීම්වලින් ලාංකික ශිෂ්ටාචාරයේ සුවිශේෂී කතාන්දරයක්‌ හෙළිවේ. රංචාමඩම සොහොන් බිමේ මැටි මුට්‌ටි තුළ තිබූ ආකාරයේ ගල් ආයුධ ද ඊට අමතරව සුවිශේෂ පාෂාණ වර්ගයක්‌ ද ඒ තුළ තිබිණි. වැඩිදුර පරීක්‍ෂණවලදී මෙම ගල් ලෝහ වර්ගයක්‌ බව අනාවරණය විය. මෙසේ ගල් ආයුධ සහ යකඩ තැන්පත් කිරීමට නම් ඔවුන් යකඩ සමග කිසියම් සබඳතාවක්‌ තිබිය යුතු යෑයි පූර්ව නිගමනයකට එළැඹි පර්යේෂණ නඩය මෙම ලෝහ කොටස්‌ කාල නිර්ණය සඳහා යොමු කරන ලදී. එහිදී ඒවා මීට අවුරුදු 3750 - 4000 ඉපැරැණි බව සොයාගැනිණි. මෙම කාල නීර්ණයන් සමගම ලෝකයේ ඉපැරණිම යකඩ භාවිත ශිෂ්ටාචාරය බවට ලංකාව පත් වේ.

එය හුදු හිතළුවක්‌ නොවන බව කැණීමේ ප්‍රතිඵල විශ්ලේශනය කළ අප රටේ සිටින විශිෂ්ටතම පුරාවිද්‍යාඥයෙක්‌ වන මහාචාර්ය ශිරාන් දැරණියගල මහතාද සනාථ කර සිටියේය.

ලෝකයේ ප්‍රබලතම තාක්‍ෂණික මාධ්‍ය ලෝහයි. වර්තමාන ලෝක දියුණුවේ පදනම වන්නේ එයයි. එහෙත් ලොව සියල්ලන්ටම කලියෙන් යකඩ හඳුනාගනිමින් ඒවා උණු කර ඊට අවශ්‍ය තාක්‌ෂණය හඳුනාගනිමින් තම අවශ්‍යතා සපුරාගැනීමට භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමට දැන සිටියේ අපේ ආදී මුතුන් මිත්තන් බව තවමත් අපි නොදනිමු.

මහාචාර්ය රාඡ් සෝමදේවයන් වැනි අතලොස්‌සක්‌වූ විශිෂ්ටයන් ඒ උරුමය හාරා පාදා මතුකර ගනු ඇත. එය අද නොව මීට වඩා ලෝකය යහපත්වූ අනාගතේ දවසක මේ පෘථිවි තලය තුළ ලාංකික සැබෑ සභ්‍යත්වයේ මහිමය හඬගා කියාපානු ඇත.

විචිත්‍ර සම්පත් වනිගනෙත්ති
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all