Photobucket

Tuesday, December 11, 2012

හෙද නිලධාරී උපාධි සිහිනය සැබෑ වෙයි

හෙද නිලධාරීන්ගේ වසර ගණනාවක් තිස්සේ පැවැති උපාධි සිහිනය මල්ඵල ගන්වමින් ප්‍රථමවරට හෙද සේවාව සඳහා උපාධි පිරිනැමීමට රජය තීරණය කැර ඇතැයි සෞඛ්‍ය ඇමැති‍ මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ‍

මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා (6) පැවැත්විණි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය මත කොළඹ පශ්චාත් හෙද අභ්‍යාස විද්‍යාලය හෙද උපාධිය පිරිනමන විශ්ව විද්‍යාල මණ්ඩපයක් ලෙස සංවර්ධනය කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

මේ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය වන පරිදි ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කැර තිබේ. 

ප්‍රථමයෙන් මේ සඳහා වන විෂය නිර්දේශය සකස් කිරිමටත්, දැනට තිබෙන අඩුපාඩු හඳුනා‍ගෙන ඒවා සම්පූර්ණ කිරීමටත්, හෙද උපාධි අධ්‍යයන මණ්ඩපය සඳහා සිසුන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවාගැනිමේ ක්‍රමවේදය අනුගමනය කිරීමටත් තීරණයවී ඇත.

එසේම මේ කටයුතු කඩිනමින් අවසන් කර අවම වශයෙන් ලබන වසරේ සිට හෙද හෙදියන්ට වසර හතරක උපාධි පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කළ යුතු බවට සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ. 

සෞඛ්‍ය ඇමැතිවරයාට අමතරව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක, වැඩබලන සෞඛ්‍ය ලේකම් වෛද්‍ය ඩබ්ලිව්.එම්.ආර්.බී. දිසානායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ‍යේ ලේකම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහත්වරුන්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මෙකී සාකච්ඡාවට සහභාගීවී තිබේ. 

හෙද නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ හෙද සේවාවට උපාධිධාරී හෙද හෙදියන් බඳවා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත්, ඒ සඳහා විශ්ව විද්‍යාල අධ්‍යයන පීඨයක් ආරම්භ කරන ලෙසත් ඉල්ලීම් කැර තිබිණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම යටතේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දී තිබිණි. 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all