Photobucket

Friday, December 14, 2012

ඔස්ට්‍රේලියා භූමියේ ටෙස්ට් ජයක් පතා ශ්‍රී ලංකා පිල අද සටන අරඹයි

ඔස්ට්‍රේලියාවේ දී ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් ලබා ගැනීමේ ඉලක්කයේදී සිය “ස්වර්ණමය පරම්පරාවේ” අන්තිම පුරුක කෙරෙහි විශ්වාසය තබමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද හොබාට් තරග බිමට පිවිසෙයි.

1988 වසරේ ඔස්ට්‍රේලියාවේ දී සිය පළමු ටෙස්ට් තරගයේදී ලත් අන්ත පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව කැන්ගරු දේශයේ දී තවත් ටෙස්ට් තරග හතකින් පරාජය වී තරග දෙකක් ජය පැරදුමින් තොරව අවසන් කරගෙන ඇත. 

ශ්‍රී ලංකා පිතිකරණයේ ‘අරටු වන, වයස අවුරුදු තිස් ගණන්වල පසුවන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් හා තිලාන් සමරවීර කෙරෙහි කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු රැඳී තිබේ. 

අද තරගයේ දී තිලකරත්න ඩිල්ෂාන්ගේ සහායක ආරම්භක පිතිකරු ලෙස 24හැවිරිදි දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇත. 

ඔහු මේ සහභාගි වන්නේ ඔහුගේ දෙවැනි ටෙස්ට් තරගයටය. 

ශ්‍රී ලංකා පිලේ පරිණත දඟපන්දු යවන්නා වන රංගන හේරත් සමග නුවන් කුලසේකර, චානක වෙලගෙදර සහ ෂාමින්ද එරංග අද ශ්‍රී ලංකාවේ වේගපන්දු බලඈණිය ශක්තිමත් කරති.

පළපුරුදු පිතිකරු රිකී පොන්ටිං තරග බිමෙන් සමුගැනීමෙන් පසුව පළමු ටෙස්ට් තරගමාලාවට සහභාගි වන මයිකල් ක්ලාක් ගේ ලොව අංක 3 ටෙස්ට් කණ්ඩායම පෙරළා දැමීම සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය සිය පිතිකරුවන් විසින් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙයි.

රිකී පොන්ටිං 1995 වසරේ දී ඔහුගේ ටෙස්ට් ක්‍රීඩා දිවිය ආරම්භ කළේ ශ්‍රී ලංකාව ට එරෙහිව ය. අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය ට පෙර ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් තරගයෙන් (දකුණු අප්‍රිකාව ට එරෙහිව) පසුව පොන්ටිං තරග බිමෙන් ඉවත් වීම දෛවෝපගත සිදුවීමකි.

ඔස්ට්‍රේලියාව අද තරග බිමට පිවිසෙන්නේ ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම වන දකුණු අප්‍රිකාව වෙතින් ලත් ලකුණු 309 ක පරාජයෙන් පසුවය. පොන්ටිං ගේ සමුගැනීමෙන් පසුව නව මුහුණුවරක් ගත් ඔවුන්ගේ පිතිකරු පෙල ට ශිල්ප දැක්වීමට ලැබෙන ප්‍රථම අවස්ථාව හොබාට් තරග බිම වෙයි.

පිල් හියුස් යළි කණ්ඩායම ට එක්ව සිටී. ඉනිම ආරම්භ කරනවා වෙනුවට ඔහු අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ. තුන් ඉරිව්වෙන් ම කැපී පෙනෙන ක්‍රීඩක ෂේන් වොට්සන්, පොන්ටිංගෙන් පුරප්පාඩු වූ අංක 4 ස්ථානයේ පිතිකරණයේ නියැලෙනු ඇත. 

ඔස්ට්‍රේලියානු පිලේ පළපුරුදු වේගපන්දු යවන්නෙකු වන මිචෙල් ජොන්සන් අද තරගයට සහභාගි නොවේ. ඔහු කණ්ඩායමේ 12වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත. බෙන් ‍හිල්ෆෙන්හෝස්, පීටර් සිඩ්ල් සහ මිචෙල් ස්ටැක් ඔස්ට්‍රේලියානු වේගපන්දු යැවීමේ අංශයට ඇතුලත්ව සිටිති.

ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙන්නේ පසුගිය නොවැම්බරයේ නවසිලන්තය වෙතින් ලකුණු 167 ක පරාජයක් ලැබීමෙන් පසුව ය. වර්තමානයේ ශ්‍රී ලංකාව සිටින්නේ ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ ය. ඔවුන් අවසන් වතාව ට විදේශයක ටෙස්ට් තරගමාලා ජයග්‍රහණයක් වාර්තා කළේ 2008 වසරේ බංග්ලාදේශයේ දී ය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all