Photobucket

Tuesday, December 11, 2012

යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 'වැලිකන්දේ රඳවලා'

පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා ගැනීමත් සමගම යාපනය පුරා භියජනක වාතාවරණයක් මතුවෙමින් තිබෙන බව යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

මේ තත්ත්වය යටතේ බොහෝ සිසුන්විශ්ව විද්‍යාලය හැර යාමට සහ ඇතැම් විට රට අත්හැර යාමට පවා පෙලැඹී සිටින බවයි, ආචාර්ය සංගමයේ සභාපති පරමේශ්වරන් තමෝදරන් පවසන්නේ.

ශිෂ්‍ය නායකයන් ඇතුළු යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 10 දෙනකු පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද අතර ඒ අතරින් ශිෂ්‍යයන් හය දෙනකු සඳුදා නිදහස් කොට තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගන්නා ලද ශිෂ්‍යයන් පිරිස කොළඹට ගෙන ගොස් ඉන්පසුව ඔවුන් වවුනියාවේ රඳවා සිටි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පසුගිය සතියේ සංදේශයට පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත

ඉතිරි ශිෂ්‍යයන් සිවු දෙනා වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා සිටින බව බලධාරීන් විසින් දෙමාපියන්ට දැනුම් දෙනු ලැබ තිබේ.

පවතින වාතාවරණ පිළිබඳව ශිෂ්‍යයන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් පවා තැති ගැනී සිටින බව බීබීසී සංදේශයට පැවසූ ආචාර්ය සංගම් සභාපතිවරයා, සියලුම ශිෂ්‍යයන් වහාම නිදහස් කරන මෙන් තම සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු බලධාරීන්ගෙන් මේ වනවිටත් කිහිප වතාවක්ම ඉල්ලා තිබෙන බව ද සඳහන් කළේය.

බලධාරීන් සිය ඉල්ලීමට කන් නොදෙනු පමණක් නොව ආරක්ෂක නිලධාරීන් තවමත් නම් ලැයිස්තු රැගෙන ශිෂ්‍යයන්ගේ නිවෙස්වලට පැමිණ ඔවුන් පිළිබඳව සෝදිසි කරමින් සිටීම නිසා යාපනයම තැති ගෙන සිටින බවයි, ආචාර්ය සංගමයේ සභාපති පරමේශ්වරන් තමෝදරන් මාධ්‍යවේදී දිනසේන රතුගමගේට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන මාස 18 ක් දක්වා කාලයක්, චෝදනා ගොනු නොකොට, රඳවාගත හැකිය.

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම පිණිස පෙළපාලියක ගමන් කරමින් සිටි සරසවි ශිෂ්‍යයන්ට පොලීසිය විසින් පහර දීමෙන් දින තුනකට පසුවයි, මෙම ශිෂ්‍යයන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all