Photobucket

Thursday, December 6, 2012

ගස්වලින් ගලන්නේ රුධිරය යි!

කොස් ගහකට කැත්තෙන් කෙටූ කල කිරි වැගිරෙන්නට පටන් ගනී. ඒ නිකම් ම කිරි නො ව ගසේ රුධිරය යැයි පැරැන්නෝ කල්පනා කළ හ. වනාන්තර කපා කුට්ටිකොට විශාල ලොරිවලට පටවා හොර පාරෙන් ප්‍රවාහනය කරන අයට ගසක රුධිරය ගැන හැඟීමක් නැත. ඔවුනට පෙනෙනුයේ මුදල් නෝට්ටු පමණි. කාර්මික විප්ලවයත් සමඟ ශීඝ්‍ර වශයෙන් වනය හෙළිවන්නට විය. එය ලෝකය පුරා පැවැති එක්තරා මෝස්තරයෙකි. වනය කපා කම්හල් හැදූ අතර එම කම්හල් ආශ්‍රයෙන් කාර්මික ජනපද බිහි විය. අධිවේගී මාර්ග බිහි විය. මිනිසා වේගවත් සංවර්ධනයක් අත්පත් කරගත් අතර පරිසරය කෙමෙන් විනාශ විය.

අද හිටිහැටියේ ගංවතුර කඩා පාත් වෙයි. නියඟ පැතිර යයි. වගා විනාශ වෙයි. සුනාමි කඩා වදී. භූමි කම්පා ඇති වෙයි. එදා මිනිසාට සෙවණ දුන් පරිසරය ම අද ඔහුට වද දෙන්නට පටන් ගෙන තිබේ. සංවර්ධනය කෙතරම් ඉහළ මට්ටමක පැවැතිය ද පරිසරය විනාශ වුවහොත් මිනිස් සංහතියට පැවැත්මක් තිබිය නො හැකි ය. 

මායාවරුන්ගේ කැලැන්ඩරයට අනුුව මේ මාසයේ දී ලෝකය විනාශ වීමට නියමිත ය. ලෝක විනාශය සත්‍යයක් වු ව; අසත්‍යයක් වු, මේ වන විටත් බරපතළ පරිසර විනාශයක් නම් සිදු වී තිබේ. එහි හානිය කෙතරම් ද යත්; සත්ත්ව කොට්ඨාස සිය ගණනක් මිහිතලයෙන් අතුගෑවී ගොසිනි. වෘක්ෂලතා සිය ගණනක් ද මිහිතලයෙන් අතු ගෑවී ගොසිනි.

වේගවත් සංවර්ධනයක් අත්පත් කර ගන්නා අතර ම පරිසරය ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න ලෝකය මුහුණ දෙන බලවත්ම අභියෝගය යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී. ඒ මහතා මේ බව කියා සිටියේ හරිත ගම්මාන සම්මාන උලෙළට සහභාගී වෙමින් ය. මුළු මහත් ලෝකය ම නිල්ල පිරුණු පරිසරයක් අපේක්ෂා කරයි. 

නිල්දිය පොකුණක් ආශ්‍රයෙහි නිවසක් ඉදිකරන්නට කව්රුත් කැමැති වෙති. දිය ඇල්ලක් අසල නිවාඩු නිකේතනයක රැයක් ගත කරන්නට කව්රුත් කැමැති වෙති. සාරව වැඩුණ තණතිල්ලක ක්‍රිකට් ක්‍රීඩා කරන්නට කව්රුත් කැමැති වෙති. එහෙත් හැම තැන ම මෙබඳු වාසනාවන්ත ස්ථාන නැත. නූතන ලෝකයේ බොහෝ ප්‍රදේශ ගින්නෙන් තැවි - තැවී පවතී.

ඉතියෝපියාවේ සාගතය මේ කපේදී නිමා වන්නේ නැත. ගවයන්ගේ හා කොටළුවන්ගේ මුත්‍ර බොන ළමයි එහි වසති. සදාකාලික බඩගින්න ඉතියෝපියාව පුරා පැතිර පවතී. මේ රට විනාශ වූයේ නියඟය නිසා ය. නියඟය ඇති වූයේ පරිසර විනාශය නිසා ය. ඕස්ට්‍රේලියාවේ මරේ ඩාලිං ගංගාව, ආසියාවේ රටවල් කිහිපයක් ඔස්සේ ගලා යන මීකොං ගංගාව පරිසර දූෂණය නිසා මුළුමනින් ම වැනසී යන්නට පටන්ගෙන තිබේ. ගංගා දෙපස මිටියාවත් අසාර වෙමින් පවතී. 

මේ ගංගාවල් දෙපස ජීවත්වන දස ලක්ෂ ගණන් ජනයාගේ ජීවිත අවදානමට ලක් වී ඇත. අමෙරිකාව වේගවත් සංවර්ධනයක් සහිත රාජ්‍යයක් වුව පරිසරය ගැන තුට්ටුවකට සලකා නැත. එහි විපාක අමෙරිකානුවෝ දැන් අත්විඳිති.

ශ්‍රී ලංකාව දෙසට හැරුණොත් පරිසර දූෂණය අතින් අඩු ධාරිතාවක් ඇති රාජ්‍යයෙකි. තවම අපගේ වනාන්තර යම් පමණකින් ආරක්ෂා වී තිබේ. වායු දූෂණය බරපතළ වී නැත. ජලය දූෂණය ද අඩු ය. එහෙත් ශ්‍රී ලංකාව තුළ පාරිසරික ගැටලු ආරම්භ වී තිබේ. 

හොඳම නිදසුන රජරට ආසනික් ප්‍රශ්නය යි. මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය නිසා ආසනික් ජලයට හා පසට එකතු වී ඇති බව ය. මීට විසැඳුමක් ලෙස කාබනික පොහොර භාවිතයට ජනතාව හුරු කිරීමට මෙවර අයවැයෙන් පියවර ගෙන තිබේ. ඊට අදාළ සහන ලබා දෙමින් කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

නූතන අමෙරිකානුවා බලවත් පාරිසරික ප්‍රශ්නවලට මුහුණ දී ඇත්තේ ඔහු පරිසරය ගැන නොතකා සංවර්ධනය ගැන පමණක් කල්පනා කළ නිසා ය. එහෙත් අමෙරිකාවේ මුල් පදිංචිකාරයන් වූ රතු ඉන්දියානුවෝ ඉතා හෘදයාංගම ලෙස පරිසරයට ආදරය කළහ. ඔවුනට ගහකොළ ගැන සේම සතා සීපාවා ගැන ද හැඟීමක් තිබිණි. නිදසුනක් කිවහොත් වෘක්ෂලතාවලට පණ ඇති බව ද, සතා සීපාවාට ආත්මයක් ඇති බව ද ඔව්හු විශ්වාස කළහ. පරිසරය ආරක්ෂා කිරීමේ ශක්තිමත් පදනම එම විශ්වාසය යි.

එක්දහස් අටසිය ගණන්වල අපගේ මුළු භූමියෙන් 44%ක් පමණ ගණ වනාන්තර විය. එම වනාන්තර අපගේ වායු ගෝලයේ සුපිරිසුදුභාවයට, ජල චක්‍රයේ පැවැත්මට හා මිනිසාගේ ජීවන ක්‍රියාවලියට ද අත්‍යවශ්‍ය විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් වනය හීන විය. 

අද වන විට අපගේ වන වැස්ම මුළු භූමියෙන් 23%ක් පමණ වේ. වසරකට එළි - පෙහෙළි වන වනාන්තර ප්‍රමාණය විශාල ය. මිනිසාගේ අවශ්‍යතා සඳහා වනය එළි කළහොත්; ඒ සඳහා සාපේක්ෂ වන වගාවක් තිබිය යුතුය. එය පසුගිය කාලය තුළ අමතක කර දමා තිබිණි. මෙවර අයවැය මගින් යෝජනා කරනුයේ එම වන වැස්ම 35% දක්වා ඉහළ නංවන වැඩසටහනකි. එය දීර්ඝකාලීන ලෙස ක්‍රියාත්මක වේ.

සංවර්ධනය යන්න විග්‍රහ කරන විශේෂඥයෝ එහි මානව සංවර්ධනයටත් , පාරිසරික සංවර්ධනයටත් ඉඩක් ලබා දෙති. සැබෑ සංවර්ධනය යනු පරිසරයත් රැකගෙන යන ඉදිරි ගමනක් ලෙස සැලකේ. යුරෝපයේ සිදුවූ වේගවත් සංවර්ධනය භෞතික සංවර්ධනයක් මිස මානව සංවර්ධනයක් නොවන බව කියති. 

අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ සංවර්ධන ක්‍රියාදාමයේ දී පරිසරය සැලකිල්ලට ගෙන නැති බව ද කියති. එහි ප්‍රතිවිපාක එම කලාපවල ජනතාවට විඳින්නට සිදු වී තිබේ. අප්‍රිකානු රටවල ද ඉන්දියාවේද, දූවිල්ල නිසා ශ්වසන රෝග බහුල වී තිබේ. දූවිල්ල පවතින තාක් ශ්වසන රෝගවලින් වැළැකීම දුෂ්කර ය. දූවිල්ල යනු පාරිසරික විනාශයේ එක් ප්‍රතිඵලයකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන ලෙස මේ අභියෝගයට මුහුණ දෙමින් අපට අවශ්‍ය සාර්ථක ප්‍රතිඵල නෙළා ගත යුතු ය. සංවර්ධනය අත්හළ නො හැකිය. අවශ්‍ය කම්හල්, අවශ්‍ය පාරවල්, අවශ්‍ය වරායවල් ඉදිකළ යුතු ය. බලාගාර පිහිටුවිය යුතුය. 

ඒවා ඉදිකිරීමේ දී පාරිසරික ගැටලු අව ම කරන ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තියක් අපට තිබිය යුතුය. එළිකරන වනාන්තර සඳහා නැවත වන වගා කිරීමේ සිට වායු දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම දක්වා වැඩසටහන් අප සතුවිය යුතු ය. එම වැඩසටහන්වලට අවශ්‍ය පසුබිම මහින්ද චින්තනයේ සඳහන් ය.

ජනාධිපතිවරයා ඉහත කී උත්සවයේ දී පෙන්වා දුන්නේ ගහකොළට, මහපොළොවට, ගංගාවට පණ ඇති බව දරුවනට කියා දිය යුතු බව ය. එය සත්‍යයෙකි. පළමුව ඉදිරි පරම්පරාව පරිසරයට ගරු කරන පුද්ගලයන් බවට පත් කළ යුතුය. ඔවුන් පරිසරය සුරකිනු ඇත. ගසකට පණ ඇතැ’යි සිතා ගස රකින මිනිසා එම ගසට පොරෝ පහරක් නොදෙනු ඇත. එබඳු මිනිසුන් ලක්ෂ ගණනක් බිහි කළ හැකි නම්; පරිසරය ඉබේ ම රැකෙනු ඇත. 

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all