Photobucket

Monday, December 10, 2012

මොහාන් පීරිස් අගවිනිසුරු පදවියට 'සුදුසු නෑ'

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කළ හොත් ඒ වෙනුවට හිටපු නීතිපති මොහාන් පීරිස් එම පදවියට පත් කිරීම සුදුසු නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

දෝෂාභියෝග විමර්ශනයේදී අගවිනිසුරුවරිය වැරදිකරු බව තීන්දු වී ඇති බව තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ කණ්ඩායම සෙනසුරාදා නිවේදනය කළේය.
කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අනුමත වුවහොත් අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරේ.

මොහාන් පීරිස් නීතිපති පදවියේ කටයුතු කළ සමයේ ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් තමන්ට ලැබී ඇති බවයි, ජාතික භාෂා සහ ජාතික ඒකාග්‍රතාවය පිලිබඳ අමාත්‍යවරයා පවසන්නේ.

'පොදු රාජ්‍ය මණ්ඩලයට බලයක් නෑ'

"ඒ තොරතුරු මම ජනාධිපතිතුමාට දැනුම් දීල තියෙන්නේ. ඒ නිසා ඔහු සුදුසු පුද්ගලයෙක් නෙවෙයි කියල මගේ මතයක් තියෙනව," අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය සාධාරණව පැවැත්වුණු බව අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ මතයයි.

අගවිනිසුරුවරියට සාක්ෂි ලැයිස්තුවක් හෝ ලේඛණ ලැයිස්තුවක් හෝ ලබා දී නොතිබුන බවට ඇයගේ නීතිවේදී සාලිය පීරිස් කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ, දිනෙකට පසුව චෝදනා ප්‍රමාණයකට පිළිතුරු දී තවදුරටත් කාලය ඉල්ලා සිටීමට අගවිනිසුරුවරියට හැකියාව තිබූ බවයි.

ආණ්ඩුවේ 'පළිගැනීමේ ක්‍රියාදාමය' පිළිබඳව විමර්ෂණයක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල ක්‍රියාකාරී කමිටුව කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරන අමාත්‍යවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට පොදු රාජ්‍ය මණ්ඩලයට බලයක් නැති බවයි.

මේ අතර ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහකොට පත්කෙරෙන නව අගවිනිසුරුවරයාට සහාය නොදීමේ යෝජනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඉදිරිපත් වී තිබේ.

නීතිඥ සංගමය එම යෝජනාව පිළිබඳව ලබන 14 වැනිදා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all