Photobucket

Tuesday, December 11, 2012

ඉදිරි පැය 48 ඇතුළත හිමාෂගේ දඬුවම තීරණය කරනවා

  • කෙටිදුර ධාවන ශූරයාගේ තහනම් උත්තේජක පරීක්ෂණය
  • මලල ක්‍රීඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර කියයි
තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා ලැබ සිටින කෙටිදුර ධාවන ශූර හිමාෂ එෂාන්ට දඬුවම් පැමිණවීම ඉදිරි පැය 48 තුළදී සිදු කිරීමට තීරණයකට එළැඹුණු බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර මහතා අනාවරණය කළේය. පසුගිය 90 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වූ හිමාෂ එෂාන්ගේ මුත්‍රා “ඒ” සාම්පලයේ තහනම් උත්තේජක අඩංගු වී ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ මැ‍ලේසියාවේ රසායනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි විසින් ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානීන් වෙත දන්වා තිබුණි. 

තහනම් උත්තේජක චෝදනා පිළිබඳව කටයුතු කරන විශේෂ කවුන්සලය ඊයේ (10දා) පස්වරුවේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී රැස් වූ අතර, අදාළ චෝදනාවට ලක්වී සිටින හිමාෂ එෂාන් සහ ඔහුගේ පුහුණුකරුවාද එම කවුන්සලය හමුවට කැඳවා තිබුණි. වෛද්‍ය මයියා ගුණසේකර ප්‍රධානව ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා, වෛද්‍ය රෝහිණී ප්‍රනාන්දුපුල්‍ලේ, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ මලල ක්‍රීඩා සංගමයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර යන මහත්ම මහත්මීන් මෙම පරීක්ෂණ කවුන්සලයට ඇතුළත් වී සිටියහ. 

ඊයේ පස්වරුවේ ඔවුන් හමුවේ පෙනී සිටි මලල ක්‍රීඩක හිමාෂ එෂාන් තහනම් උත්තේජක ඔහුගේ මුත්‍රා සාම්පලයේ අන්තර් ගත වී ඇති බව පිළිගෙන තිබේ. හිමාෂ සහ ඔහුගේ පුහුණුකරු වූ චමින්ද පෙරේරා යන දෙදෙනාම එම තහනම් උත්තේජක ඇතුළත් ශක්ති ජනක පානය ලබාගත් ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක්ද පරීක්ෂණ කවුන්සලය හමුවේ ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව කරුණු සලකා බැලූ එම පරීක්ෂණ කවුන්සලය “බි” සාම්පලයක් පරීක්ෂා කිරීම පවා ප්‍රතික්‍ෂේප කරමින් දන්වා සිටි කරුණු අනුව තහනම් උත්තේජක අදාළ ක්‍රීඩකයා විසින් කුමන ආකාරයකින් හෝ ලබා ඇති බවට කරුණු සනාථ වී ඇති බව සඳහන් කර සිටී. 

මේ පිළිබඳ තමන්ට ඊළඟට පැවරී ඇති කාර්යය වන්නේ ක්‍රීඩකයාගේ එම වරද පිළිබඳව දඬුවමක් පැමිණවීම බවද, එම පනවන දඬුවම කිනම් ආකාරයකින් කළ යුතුදැයි සාකච්ඡා කර තීරණයට එළැඹිය යුතු බවද එම කවුන්සලයේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් හිමාෂ එෂාන් වෙත පවසා තිබේ. කෙසේ වුවද කවුන්සලය ගනු ලබන තීරණය ඉදිරි පැය 48ක් ඇතුළත ප්‍රකාශ කරන බව එම කවුන්සලයේ සාමාජිකයෙක් වූ සුනිල් ජයවීර මහතා සඳහන් කර සිටියේය.

සුනිල් අභයවර්ධන
ලක්බිම ඇසුරින් පලකරන ලදී 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all