Photobucket

Tuesday, December 11, 2012

වැඩ වර්ජනය දිනයේත් දුම්රියට ලක්‍ෂ 45ක ලාභයක්

දුම්රිය වැඩ වර්ජනය දිනයේ දුම්රිය ධාවනය අඩාල වුවත් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්‍ෂ හතළිස් පහක ලාභයක් ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එසේ ලාභ උපයාගත හැකිවී ඇත්තේ දුම්රිය ධාවනය සඳහා දිනකට වැයවන රුපියල් ලක්‍ෂ අනූවක ඉන්ධන ඉතිරියත්, රියදුරු නියාමක ඇතුළු සේවකයින්ගේ අතිකාල හා යැපුම් ගාස්තු සඳහා වැයවන රුපියල් ලක්‍ෂ විසිපහක වන මුදලින් බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

වැඩවර්ජනය දිනයේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්‍ෂ හැත්තෑවක ප්‍රවේශපත්‍ර හා බඩු ප්‍රවාහනය වෙනුවෙන් ආදායමක් අහිමිව තිබිණ. එසේ ආදායම් අහිමි වූයේ දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමත්, දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය නොවීමත් නිසාය.

දුම්රිය වැඩ වර්ජනය දෙසැම්බර් මස 7 දින පැවැත්විණ. දිනකට මගීන් ලක්‍ෂ තුනක් පමණ ප්‍රවේශපත්‍ර ලබාගෙන දුම්රියේ ගමන් කිරීමට පුරුදුවී සිටිති. වාර ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන්ද ලක්‍ෂ තුනක් පමණ සිටිනු ඇතැයි වාර්තාවෙයි.

දුම්රිය ධාවනය කෙරෙනුයේ රටේ පොදු ජනතාවට හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහායි. එහෙත් ලක්‍ෂ ගණන් දුම්රියේ ගමන් කිරීමට පුරුදුවී සිටිනුයේ ඉක්මනින් ගමන් යාම සඳහායි. දුම්රිය වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනය අඩාල වූයෙන් මගීන් දැඩි අපහසුතාවන්ට පත්වූහ. නමුත් එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභයක් ලැබිණි.

නිමල් රාජපක්‍ෂ
දිනමිණ ඇසුරින් පාකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all