Photobucket

Monday, November 19, 2012

රුසියන් “උඩවැඩියා සෙර” වන නිලධාරියාගේ අත සපා කයි

දුර්ලභ ගණයේ දේශීය උඩවැඩියා වර්ග හොරෙන් ගලවා එක් රැස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කලවානේ, වැද්දාගල දී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතික යුවල සතුව, උඩවැඩියා පැල 345 ක් තිබුණු බව පේරාදෙණිය ජාතිකඋද්භිද උද්‍යානයේ දී කළ විශේෂ පරික්ෂණයකදී හෙළිවිණැයි වන සංරක්ෂණ දෙපාර්තුමෙන්තුවේ උසස් නිලධාරියෙකි. අද (18) උදේ ‘ ලක්බිම Online ’ පැවසීය. මේ බව හෙළිවී ඇත්තේ වන නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූ පැලෑටි තොගය පිළිබඳව විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ධනංජනී ආරියරත්න මෙනවිය දුන් නියෝගයක් අනුව, පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කළ පරික්ෂණයකදීය. 
උඩවැඩියා
 කලවානේ, සිංහරාජ වනාන්තරයේ සංචාරයක යෙදී සිටින අතරතුර ඉකුත් 15 වැනිදා මෆින් ස්පැනිස් ලොව් ( Marfin Spanislav ) සහ සිම්හෝවා ඉර්නා ( Smirnova Irina ) නැමැති රුසියානු ජාතික යුවල වන සංරක්ෂණ දෙපාර්තුමෙන්තුවේ, සිංහරාජ වානාන්තරයේ වන පාලක චන්දන අබේසේන සහ අඩවි වන නිලධාරි විජයන්ත උපුල් ඇතුළු නිලධාරින් පිරිසක් විසින් වැද්දාගල කූඩුව දී අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ, ඔවුන් සිංහරාජ වනයෙන් යම් යම් පැලෑටි වර්ග හොරෙන් ගලවා එකතුකර ගත් බවට ලැබුණු තොරතුරකට අනුව ය. මේ සඳහා සරත් කුමාර, අමිත් මංජුල ගුණසේකර සහ කපිල කුමාර යන නිලධාරින්ද සහභාගිවී ඇත. එහිදී ඔවුන්ගේ ගමන් මල්ලේ තිබී උඩවැඩියා පැල තොගයක් හමුවී තිබේ. රුසියානු ජාතික යුවල එහි දී සිය ගමන් මළු පරික්ෂා කරනවාට එරෙහි වී ඇති අතර පරික්ෂණ අතරතුරදී යුවළේ කාන්තාව එක් වන නිලධාරියෙකුගේ අත සපා කමින් පරික්ෂාව නතර කරන්නට උත්සාහ කර තිබේ. 

පසුව මේ දෙදෙනා කලවාන අඩවි වනනිලධාරි එච්. කේ ජයසිංහ මහතා වෙත භාරදීමට සිංහරාජය භාර වන නිලධාරින් කටයුතු කර ඇත. පසුව රත්නපුර දිසා වන නිලධාරි එස්. සී. පාලමකුඹුර මහතාගේ උපදෙස් පරිදි කලවාන අතිරේක අඩවි වන නිලධාරි එච්. එම්. බී. හේරත් මහතාගේ මුලිකත්වයෙන් වැඩි දුර පරික්ෂණ ඇරඹිණි. ඒ අනුව 15 දින රාත්‍රියේම රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් විශේස සොදිසි වරෙන්තුවක් මත රුසියානු යුවළ නැවතී සිටි වැද්දාගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වන නිලධාරින්ගේ පරික්ෂාවට ලක් විය.
උඩවැඩියා
 
එහිදී ද රුසියානු ජාතික කාන්තාව පරික්ෂණ කටයුතුවලට බාධාවන ලෙස හැසිරීම නිසා කලවාන පොලිසියේ සහය ලබා ගැනීමට ද සිදුවිය. පසුව යුවළ සතු විශේෂ ගමන් මල්ලක සුරක්ෂිතව තැන්පත් කර තිබූ උඩවැඩියා පැල විශාල තොගයක් සොයා ගැණුනි. ඒවා, හෝටන් තැන්න, රිටිගල, උඩවත්තකැලේ සහ සිංහරාජ යන වනාන්තරවලින් හොරෙන් ගලවා ගත් පැලෑටි බව පරික්ෂණවලදී හෙළිවණි. අතිරේක අඩවි වන නිලධාරි එච්. එම්. ඒ. බී. හේරත් මහතා ද සමඟ බීට්ටු වන නිලධාරි ජී. ඩී. අනුර, කලවාන පොලිසියේ පොලිස් කොස්තාපල් නාලිනී යන නිලධාරින් ද පරික්ෂාවට එක්වූහ. එහි දී රුසියානු ජාතික කාන්තාවගේ ගමන් මළු සහ ඇය සතු ලිපි ලේඛණ පරික්ෂා කිරීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය. ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කළ පරික්ෂණවල දී හෙළිවී ඇත්තේ, හොරෙන් ගලවා ගත් උඩවැඩියා පැල 345 දේශීය උඩවැඩියා විශේෂ 32 කට අයත් බවයි. ඉන් විශේස 11 ක්ම ලංකාවට ආවේණික දුර්ලභ උඩවැඩියා වර්ග බවත්, ඒ අතර වඳවී යාමේ තර්ජනයට ලක්වූ උඩවැඩියා විශේෂ 12 ක් ද ඇති බවත් හෙළිවී ඇත. අත්අඩංගුවට පත්වූ උඩවැඩියා විශේෂ, කඳුකර කළාපයේ වනාන්තර, වර්ෂා වනාන්තර සහ වියළි කළාපීය වනාන්තර යනුවෙන් ආකාර තුනකට වර්ග කළ හැකි බව වන නිලධාරිහු කියති. රුසියානු යුවළ ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 10 වැනි දාය

එහි පිරිමි පුද්ගලයා 2011 වසරේදී ද ලංකාවේ සංචාරයකට පැමිණ ඇත. 15 දින රාත්‍රියේම රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ධනන්ජනී ආරියරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කෙරුණු රුසියානු ජාතික යුවල ඇප මත මුදා හැරුණු අතර ඔවුන් සතු විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගෙන ඇත. වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 21 දිනට කල් තබා තිබේ. රුසියානු කාන්තාව විසින් අත සපා කෑමේ හිරිහැරයට ලක්වූ වන නිලධාරියාට ජල භීතිකා මර්දන එන්නත ද ලබාදී ඇති අතර ඔහු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර හා පර්යේෂණ සඳහා යොමුකර අත. 
 
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර / ඩබ්ලිව් . ඒ. සේනාරත්න - කලවාන 
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
gurugedara

 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all