Photobucket

Monday, November 19, 2012

උපත් පාලන ක්‍රමය

පවුල් සැලැසුම් සඳහා භාවිත වන උපත් පාලන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවර්ගයක්‌ ඇත. එනම් ස්‌වභාවික ක්‍රම සහ කෘත්‍රිම ක්‍රම යන්නයි. මෙයින් ස්‌වභාවික යන වචනයට බොහෝ අය විශාල ඇල්මක්‌ දක්‌වති. කෘත්‍රිම දෙයට වඩා ස්‌වභාවික දෙය ප්‍රියවීම සාමාන්‍ය දෙයකි. නමුත් ස්‌වභාවික උපත් පාලන ක්‍රම කෘත්‍රිම ඒවා තරම් විශ්වාසදායී නැත. නූතන කෘත්‍රිම උපත් පාලනවල සාර්ථකත්වය ඉතා ඉහළ යන අතර, ඒවා භාවිත කිරීම ද කාන්තාවට පහසු වන අන්දමින් ඒවා නිපදවා ඇත. එබැවින් ඒවා භාවිත කිරීමේදී ගැබ් ගැනීම සිදුවිය හැකි ඉඩකඩ අඩුය.
mother and chidren

ස්‌වභාවික ක්‍රම අතුරින් කොටසකදී සිදුවන්නේ කාන්තාවගේ ඩිම්බය පිටවන දින ගණන් බලා එම දින කීපය තුළ සංසර්ගයේ යෙදීම මඟහැරීමයි.

කාන්තාවකගේ ඩිම්බ පිටවන දින ගණන් බැලීමේ ක්‍රම කීපයක්‌ ඇත. දළ වශයෙන් දින 28-30 අතර ඔසප් චක්‍රයක්‌ ඇත.. කාන්තාවකගේ ඩිම්බ පිටවීම ඔසප් වීම සිදු වී දින 14-16 අතර දිනකදී සිදු වේ. මෙම චක්‍රයේ ඩිම්බ පිටවන දින සිට ඊළඟ ඔසප්වීම දක්‌වා කාලයේ නියත වශයෙන්ම දින 14 වන අතර, ඔසප් වීමේ සිට ඩිම්බය පිටවීම දක්‌වා කාලය වෙනස්‌ විය හැක. මෙලෙස වෙනස්‌ වීමෙන් ඔසප් චක්‍රයේ දින ගණන වෙනස්‌ විය හැක. ඒ අනුව ඔසප් වීම සිදුවන දින සිට ඩිම්බ පිටවීම සිදුවන දිනය ගණන් බැලීම අපහසු ය. මෙය දළ වශයෙන් ගණන් බලන නමුත්, එහි නිරවද්‍යතාවය අඩුය. එබැවින් මෙම ක්‍රමය භාවිත වීමෙන් ගැබ් ගැනීම් සිදුවීමේ අවස්‌ථා දැකිය හැකිය. තව ද ඩිම්බයක්‌ කාන්තා ප්‍රජනන පද්ධතිය තුළ ජීවී තත්ත්වයෙන් පැය 24 ක්‌ තිබෙන අතර, ශුක්‍රාණුවකට ඒ තුළ දින 3 ක්‌ ජීවී තත්ත්වයෙන් සිටිය හැක. මේ අනුව දින 26 ක්‌ 32 ක්‌ අතර ඔසප් චක්‍රයක්‌ ඇති කාන්තාවන් තමාගේ ඔසප් වීම සිදුවී දින 8 සිට 19 දක්‌වා කාලය ප්‍රවේශම් විය යුතුයි. ඩිම්බ පිටවන කාලය තුළ ස්‌ත්‍රියකගේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්‌කම්වලට අනුව ඇයට ලිංගික සංසර්ගය සඳහා වැඩි කැමැත්තක්‌ ඇති වේ. නමුත් මෙම ක්‍රමය අනුව ගැබ් ගැනීමේ බිය නිසා ඇයට ස්‌වාමියා සමඟ එක්‌වීමක්‌ සිදුකළ නොහැක.

ඩිම්බයක්‌ පිටවන දිනය ගණන් බලන තවත් ක්‍රමයක්‌ වන්නේ ඩිම්බ පිටවන දින කීපය තුළ යෝනි මාර්ගයෙන් පිටවන ස්‍රාවයන්ගේ සිදුවන වෙනස්‌කමයි. ස්‍රාවය ඝනකමින් වැඩිවන අතර, ඇදෙන සුළු ගතියක්‌ ඇති වේ. මෙය කාන්තාවකට පහසුවෙන් හඳුනා ගත හැක. නමුත් මෙයද විශ්වාසවන්ත ක්‍රමයක්‌ නොවේ. ඩිම්බය පිටවීමත් සමඟ කාන්තාවගේ ශරීර උෂ්ණත්වය ඉතා සුළු වශයෙන් ඉහළ යැමක්‌ සිදු වේ. මෙම ශරීර උෂ්ණත්වයේ වෙනස ගණන් බැලීමෙන්ද ඩිම්බ පිටවන දිනය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගත හැක. නමුත් මෙය පහසු දෙයක්‌ නොවේ. දිනපතාම උදෑසන ඇඳෙන් නැඟිටීමට පෙර ශරීර උෂ්ණත්වය මැන බලා ලියා ගත යුතුය. ස්‌වභාවික ක්‍රම අතුරින් වඩා විශ්වාසවන්ත සහ පහසු ක්‍රමයක්‌ වන්නේ මවුකිරි දෙන මවුවරුන්ටය. මවුකිරි පමණක්‌ දරුවාට ලබා දෙන මවකගේ ඔසප්වීමේ ඇරඹී නැත්නම් පළමු මාස 06 ඇතුළත ඇයට ගැබ් ගැනීමක්‌ සිදුවීමේ ඉඩකඩ ඉතාමත් ම අඩු ය.

ඉහත ක්‍රමවලට අමතරව පුරුෂයා විසින් පාලනය වන ස්‌වභාවික ක්‍රම ඇත. එනම්, ලිංගික සංසර්ගයේදී පුරුෂයා විසින් ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගැනීමයි. මෙය මනා පාලනයකින් යුක්‌තව කළ යුත්තකි. මෙහි ගැටලූව වන්නේ ශුක්‍ර මෝචනය සිදුවීමට පෙර පිටවන ශ්‍රාවයන් තුළ ශුක්‍රාණු තිබීමයි.

ඉහත කරුණුවලට අනුව ස්‌වභාවික උපත් පාලන ක්‍රමවල විශ්වාසවන්ත බව ඉතා අඩු බව අපට පැහැදිලි ය. මෙම ක්‍රම පළමු දරුවා පමා කිරීමට උත්සාහ කරන තරුණ යුවළකට සුදුසු විය හැක. එසේ වන්නේ එවැනි කාන්තාවන් තුළ මෙම ක්‍රම නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමෙන් ගැබ් ගැනීමක්‌ සිදු වුව ද, කමක්‌ නැති බැවිනි. නමුත් පවුල සම්පූර්ණ කරන ලද හෝ වෙනයම් සෞඛ්‍යමය හෝ වෙනත් හේතූන් නිසා උපත් පාලනය කරන යුවළකට මෙම ක්‍රමය කිසිසේත් ගැළපෙන්නේ නැත. මෙම ක්‍රමවල ඇති එකම වාසිය වන්නේ කිසිම හෝමෝන භාවිතයක්‌ හෝ වෙනත් උපක්‍රම සිදු කිරීම අවශ්‍ය නොවීමයි. නමුත් මෙවැනි ක්‍රම භාවිත කර අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වූ විට ගබ්සාවකට යොමුවීම ඉතාම භයානක තත්ත්වයක්‌ බව දැන ගත යුතුය. කෙසේ වෙතත්, කනගාටුදායක තත්ත්වය වන්නේ මෙවැනි ක්‍රම භාවිතය බොහෝවිට සිදුවන්නේ දරුවන් දෙදෙනෙක්‌ පමණ සිටින සාමාන්‍ය වත්කමක්‌ ඇති වැඩිමහල් යුවළවල් අතර වීමයි.

gurugedara

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all