Friday, November 23, 2012

ආසනික් සහ අසරණ ගොවියෝ

මඩ සෝදා ගත් කල ගොවියා රජකමට වුව සුදුසුයැයි අපේ ජනවහාරේ කියමනක් ඇත. එහෙත් එම කියමන ගැළපෙන්නේ ඊනියා හරිත විප්ලවයට පෙර එනම් 60 දශකයට එපිට සිටි ගොවියාට පමණි. ඉන් පසුව උදාවූයේ ගොවියා රජෙකු වෙනුවට හිඟන්නෙකු කිරීමේ යුගයයි.

 එහෙයින් ඉහත ජන කියමන මඩ ගෑවුණු එසේත් නැත්නම් මඩ සෝදාගත් කල ගොවියා මළ කඳක්  යැයි දැන් අපට සකස් කරගත හැකිය.

සැබවින්ම අද ගොවියා ඇවිදින මළ කඳකි. එහෙට මෙහෙට සැරිසරන මළ මිනියකි. අපට බත සරිකිරීමේ පිනට ඔහුට අද මළ කඳක් වීමට සිදු වී තිබේ.
අප කුඩා කාලයේ ගොවිතැන් බත් කළ අපේ ආතා මුත්තලා හොඳ සවි ශක්තිය ඇත්තෝ වූහ. ආදියේ ඔවුන් ගොවිතැන් කළේ වසර දහස් ගණනක් තිස්සේ  අත්හදා බලා භාවිත කර හොඳ ප්‍රතිඵල ලැබූ ගොවිතැන් ක්‍රමවලිනි. එහෙයින් බත වුව එකම දිව ඔසුවක්ම විය. එහෙත් අද ගොවියා ඇවිදින මළ කඳක් වී තිබෙන අයුරකින්ම බත ද වසක් වී තිබේ.

පෙර සඳහන් කළ හරිත විප්ලවයේ ප්‍රධාන ප්‍රතිඵලය ලෙස ආසනික් නමැති විෂ රසායනිකය ගොවියාට පමණක් නොව සමස්ත රටටම පාරා වළල්ලක් වී ඇත. හරිත විප්ලවයේ අවසාන ප්‍රතිඵලය හැටියට ආසනික්  බිහි වී ඇත. දැන් සුද්දන්ගේ හරිත විප්ලවය.  ආසනික් විප්ලවයක් වී ඇත. එම ආසනික් විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස අද මෙරට මානව අර්බුදයක් නිර්මාණය වී තිබේ. එලෙස කොටි ත්‍රස්තවාදයට වඩා ප්‍රබල ත්‍රස්තවාදයක් උද්ගත වී තිබෙන මුත් ඒ ගැන අපට රටක් හැටියට අවධානයක් නොමැතිවීමෙන් පැහැදිලි වන්නේ මේ සමාජය කෙතරම් නිදිගත් එකක්ද යන්නය.

රටට බත දෙන ගොවියෝ ඇවිදින මළ කඳන් වීමට ප්‍රබල ප්‍රශ්නයක් සේ වන වාට වඩා සට කපට දේශපාලකයන්ගේ දිව කුණු වෙච්ච කටවල්වලින් පිටවෙන කුණුහරුප කතා  ලොකු ප්‍රශ්න සේ කතා කරන තැනට රට පත්වීම කෙතරම් නම් කනගාටුවක් ද ?

රජ රට ගොවියන්ගේ වකුගඩු අක්‍රිය කරන හේතු කාරකය ආසනික්ද ? නො එසේනම් වෙනත් සාධකයක්ද යන විවාදය ප්‍රබල අයුරින් පසුගිය සමයේ ඉස්මතු විය. රජරට ගොවියන්ගේ වකුගඩු අක්‍රිය වීමට ප්‍රධාන හේතුව කෘෂි රසායනිකවල  ආසනික් නමැති විෂ අන්තර්ගත වීම බව මුල් වටයේ වාද විවාදවලින් සහ මෙරට පැවැත් වූ පර්යේෂණවලින් සනාථ වී තිබුණි. හැමවිටම අපට දක්නට ලැබුණේ කෘෂි රසායනිකවල ආසනික් අන්තර්ගත බවට තර්ක කළ පාර්ශ්වයේ කරුණුවල තිබෙන ප්‍රබලතාව සහ පර්යේෂණානුකූල බවයි.

ආසනික්  නැතැයි කියූ අයගේ තර්ක විතර්ක බිඳ හෙළීමට එකී කණ්ඩායම සමත් වූහ. එසේ තිබියදී යළි ආසනික් තිබේද නැද්ද පිළිබඳව විවාදයක් ඇරඹීම බහුජාතික සමාගම්වල ව්‍යාපෘතියක් යැයි අවධාරණය කළයුතුය.

ලොකු කතා කියන සමහර කොලුගැටයෝ කෘෂිරසායනිකවල ආසනික් තිබිම විද්‍යාත්මකව ඔප්පු වී නැතැයි කියමින් බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනී සිටිති.

“ විද්‍යාත්මක” යනු බටහිර විද්‍යා අධිකාරියට එකඟව දැනුම ගොඩ නැගීම විනා වෙන කුමක්ද ? දැනුම පිළිබඳ  නිරපේක්ෂක යාන්ත්‍රණ නොමැත. ඒ ඒ සංස්කෘති අනුව  දැනුම යන්න නිර්මාණය වේ. අනෙක අපට සිහිනුවණින් පෙනෙන දැනෙන දෙයක් පිළිගැනීමට තවත් “ විද්‍යාත්මක” ශිල්පයක් කුමටද ? එපමණක් ද නොව බටහිරයන්ගේ විද්‍යාත්මක ක්‍රමය යන්න දේශපාලන බලයත් සමග ලොව දැනුම යන්න නිර්ණය කරන එකම ක්‍රමවේදය  ආධිපත්‍යයට බව අප අමතක නොකළ යුතුය.

පිළිවෙළකට සාධක පිරික්සා බලා කරුණු තේරුම් ගැනීම  සාධකවල තර්කානුකූලව භාවය සැලකිල්ලට ගැනීම නොකළයුතු යැයි අපි නොකියමු. එහෙත් එකී ක්‍රමයට හසුවන දෑ පිළිගැනීමේත් හසුනොවන සියල්ල බැහැර කිරීමේත් අන්තවාදයට අප එකඟ නැත.

අනෙක විද්‍යාත්මක ක්‍රමවේද අනුව යැයි එළැඹෙන නිගමනවලට විද්‍යාඥයන්ගේ  පර්යේෂකයන්ගේ පෞද්ගලික මති මතාන්තර අදහස් උදහස් රුචි  - අරුචිකම්වල බල නොපාන්නේ යැයි යමෙක් හිතන්නේ නම් එතරම් මුලාවක් තවත් තිබිය හැකිද ? දැන්   සමහර බටහිර බුද්ධිමතුන් අවධාරණය කරන අදහසක් වන්නේ  නිරීක්ෂකයාගෙන් වියුක්ත නිරීක්ෂණයක්ද පර්යේෂකයාගෙන් තොර පරීක්ෂණයක්ද නොමැති බවය. එහෙව් එකේ මෙහේ පුංචි ගැටයෝ ඔළුව ලොකු ලොකු පප්පලා විද්‍යාත්මක ක්‍රමය යන්න නිරපේක්ෂව අවධාරණය කරති. අවිද්‍යාවක තරම බුද්ධි දුගියන්ගේ කඩා වැටිල්ලක හැටි අපි යළි ආසනික් කතාවට අවධානය යොමු කරමු. අපි මුලින්ද කියූ හැටියට කෘෂි රසායනිකවල ආසනික් තිබෙනවා යන අදහස තහවුරු කරන  ප්‍රබල සාක්කි දැනටමත් ඉදිරිපත් වී තිබේ. එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ ගොවියා මතු නොව අප සියල්ලන්ම නිහඬව මරණ   කෘෂි රසායන යෙදවුම් වහාම තහනම් කර අනුක්‍රමයෙන්  හෝ අපේ පරිසර හිතවාදී ගොවිතැනට යළි යොමුවීමය. එම තීන්දුව නොගන්නේ නම් ආණ්ඩුව ගොවීන් පමණක් නොව රටම නිහඬව මිය යාම සම්බන්ධයෙන් වග කිවයුතුය. මෙවර ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැයෙන් කෘෂිරසායනික ගොවිතැන වෙනුවට පරිසර හිතවාදී ගොවිතැන දිරිමත් කරන යෝජනාවක් අන්තර්ගත වීම හොඳ එළැඹුමක් වුවද එය කිසිසේත්ම ප්‍රමාණවත් පියවරක් නොවේ. රජය  විශේෂ කෘෂිකර්ම කොමිසමක් පත්කර කෘෂිරසායනික ගොවිතැනෙන් වස විෂ නැති ගොවිතැනට රට ගෙන යාම සඳහා කෙටිකාලීන - මැදකාලීන  දිගු කාලීන වැඩපිළිවෙළක් හඳුනා ගෙන ක්‍රම ක්‍රමයෙන්  විශාල ප්‍රමාණයකට සරිලන අයුරින් සහල් නිෂ්පාදනය කිරීමට කාබනික කෘෂිකර්මයෙන් හෝ ස්වාභාවික ගොවිතැනෙන් හැකියාව නොලැබෙන බවට සමහරු දුර්මත පතුරති. එහෙත් න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව එම දුර්මතය ඛණ්ඩනය කර  ඉවරය.  ඉතාම සරු වැඩි අස්වැන්නක් ස්වාභාවික ගොවිතැනින් සහ කාබනික ගොවිතැන් ක්‍රමයෙන් ලබාගත හැකි බව තහවුරු කර තිබේ.

ඒ විතරක් නොව අපේ රට පෙර දිග ධාන්‍යාගාරය වූයේ ඔය හරිත විප්ලව කාරයින්ගේ නූල් සූත්තර අත්හදා බැලීමට වසර දහස් ගණනකට පෙර බව මතක තබාගත යුතුය.
දැන් බහුජාතික සමාගම්වලට වැඩියෙන්ම කඩේ යන්නේ  එසේත් නැත්නම් එම සමාගම්වල බත් බැළයෝ සමහර හිටපු රතු විප්ලවවාදීන්ය.

මෙරට වාමාංශිකයා යැයි කියාගන්නා තැනැත්තා හෝ තැනැත්තිය එම වාමාංශික අභිෂේකය ලබන්නේ මෙහි ඉතිහාසයට, දේශීයත්වයට සිංහල කමට, බෞද්ධකමට එරෙහිව අවිඅමෝරා ගැනීමෙනි.  ලාංකික වාමාංශිකයන්ගේ අවසාන පරිණාමය වන්නේ පෙර තමන් පය තබාගත් වාමංශික භූමිකාවට පහරගසමින් බහුජාතික සමාගම්වල බත් බැළයන් වීමය.  කෙසේ වුව වාමංශික ව්‍යාපාරය සේම ධනවාදී බහුජාතික සමාගම් ද බටහිරකරණය නමැති එකම කාසියේ දෙපැත්තය.

වාමාංශිකයන්ට ඉතාම පහසුවෙන් බහුජාතික සමාගම් ව්‍යාපෘතියට පය තබාගත හැක්කේ  එනිසාම නොවේද? ජවිපෙ වැනි යම් දේශීය පදනමක් ප්‍රකට කරන දේශපාලන ව්‍යාපාරවලට ආසනික් අර්බුදය පිළිබඳව ප්‍රබල හඬක් නැගිය හැකිය. එහෙත් පිල්වලට බෙදී ඉල්විරුවන් බෙදා ගැනීම හැර වෙන වැඩක්   ඔවුනට නැත. ජවිපෙ බොහෝ කේඩරයෝ ගම්වලින් එන්නෝය. එවැනි ව්‍යාපාරයක් ආසනික් පිළිබඳ මුනිවත රැකීම එසේත් නැත්නම් ඊට එරෙහිව සටනට නොබැසීම ඉතාම පුදුම සහගතය ජනතාවාදී ආකල්පයකින් කටයුතු කරන්නේ නම් ඔවුන් කළ යුත්තේ ආසනික් නිසා මියයන ගොවියන්ගේ අර්බුදය රටටත් ලෝකයටත් ගෙන යාමයි.

කෘෂි රසායනික ගොවිතැනට පෙර   අපේ ගොවියෝ අවසනාවන්ත ලෙස මිය නොගියහ. ඔවුහු දීර්ඝායුෂ වින්දෝය. ලෙඩක් දුකක්  නැතිවම මිය ගියහ. ඉන් අපට පැහැදිලි වන්නේ රසායනික ‍පොහොර කෘෂිනාශක දියර ආදියේ අනිටු විපාක තිබෙන බව නොවේද? එම යෙදවුම්වල තිබෙන වස ආසනික් වේවා වෙන යමක්  වේවා වස වසමය.

මෙසේ කෘෂි රසායනික ගොවිතැන නිසා අපේ ගොවීන් මිය යාම ප්‍රබල මානව අර්බුදයකි. එනිසා සමාජය එය මේ යුගයේ අපේ රටේ තිබෙන ප්‍රබල මානව සංහාරය සේ වටහා ගත යුතුය. ආණ්ඩුව  එම සංහාරයට එරෙහිව පියවර ගන්නා තැනට යොමු කිරීම විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල අද දවසේ වගකීමය.

රජරට වකුගඩු රෝගී ගොවියන්ට ප්‍රතිකාර ගැනීමේ පහසුකම් වර්ධනය  කරන බවත් ඔවුන්ට පිරිසිදු පානීය ජලය සැපයීමට කටයුතු කරන බවත් ආණ්ඩුවේ ප්‍රධානීහු පසුගිය කාලයේ අවධාරණය කළහ.  එහෙත් එම විසඳුම් හුදු පැලැස්තර ගැසිලිය.

අතීසාරයට අමුඩ ගහන පන්නයේ  ඒවාය. වහා කළ යුත්තේ ගොවියා මරා දමන බහුජාතික සමාගම්වලට එරෙහිව පියවර ගැනීමට යොමුවීමය. මේ ආණ්ඩුවට  ප්‍රබල ජන බලයක් ගොඩනැගී තිබෙන්නේ  ඒ සඳහාය. එවැනි දේශීය විසඳුම්වලට යාමටය. අනෙක මේ ආණ්ඩුවට කරවන්නේ කුඹුරට බැහැලා  ගොවිතැන් කළ නායකයන් විසිනි.

 එවැනි ආණ්ඩුවක් යටතේ කුඹුර ගොවියාට අමුසොහොනක් වීම කනගාටුවට කරුණකි. විපක්ෂයද විකාරරූපී කතාවලින් ජනයාට හිනා සම්පාදනය නොකර මේ ආසනික් මානව අර්බුදය මෙරට ප්‍රධාන මානව සහ ජාතික ගැටලුව සේ ඉස්මතු කළ යුතුය. මෙය නොතකා හරින සියල්ලෝම ජනතා හතුරෝ වෙති.

එසේම හරිත විප්ලවය නමැති සැලසුම් සහගත ව්‍යාපෘතිය නොකතා ආසනික් අර්බුදය වටහාගත නොහැකි බවද අවධාරණය කළ යුතුය. හරිත විප්ලවයද දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇදවැටුණු  යුරෝපයට අතදීම සඳහා කැනඩා එක්සත් ජනපද දේශ සීමාවේ බ්‍රෙට්න්වුඩ් නගරයේදී 1944දී දොරගුළුලාගෙන එවක ඇමෙරිකන්  ජනපති රෑස්වෙල්ට් ගේ ප්‍රධානත්වයෙන් යුරෝපා ජාතීන්ගේ 17කගේ සහභාගිත්වයෙන් සැලසුම් කළ නවලෝක ව්‍යාපෘතියයි. ඒ ව්‍යාපෘතියේ දිගුවකි. එම රහස් සාකච්ඡාවේදී අවධාරණය කරනු ලැබූ ප්‍රමුඛතම කරුණක් වූයේ යුරෝපයට නැවත නැගිටීමට නම් ලෝකයේ කිසියම් කොටසකින් සාරය උරාගත යුතු බවය. ලොව අව් වැසි බහුල කෘෂිකාර්මික ප්‍රදේශ සේ ප්‍රකට නිවර්තනික කලාපය ඊට යෝග්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය. එහෙත් එසේ  සාරය උරා ගැනීමට නම් ස්වයං‍පෝෂිත එම කෘෂිකර්ම කලාපය මුදල් බවට පරිවර්තනය කළ යුතු බවත් බහු බෝග වගාව වෙනුවට ඒක බෝග වගාව ව්‍යාප්ත කළයුතු බවත් අවධාරණය කරනු ලැබිණි.

එකී රහස් සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන ආයතන ව්‍යුහය ගොඩනැගුනේ එකී අරමුණම ඉටු කර ගත හැකි පරිද්දෙනි. එදා සිට මෙදා තෙක් ක්‍රියාත්මක වන්නේ අපේ රටවල් සූරා කෑමේ සුද්දන්ගේ එම මහ සැලසුමයි. ආසනික් විසෙන් අපේ ගොවියෝ මළ කඳන් බවට පත්වන තැනට පත්  වී තිබෙන්නේද එකී සැලසුමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

අපේ රට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් එකී මහ සැලසුමෙන් විනාශ වී ඇත. අප හමුවේ තිබෙන අභියෝගය වන්නේ ඒ මහ සැලසුමින් මිදිය හැකි සමාජ - දේශපාලන සංස්කෘතික ආර්ථික විප්ලවයක් එනම් ප්‍රති මෙහෙයුමක් ඉතාම සැලසුම් සහගත  අයුරින් ක්‍රියාත්මක කිරීමය.

ආසනික් මානව අර්බුදය හොඳ ශක්තිමත් ආරම්භයක් සේ සලකමින් එම විප්ලවයේ පළමු වෙඩි මුරය තැබිය හැකිය. එහෙත් මෙම ආණ්ඩුවට එබඳු පුළුල් වෙනසකට සරිලන බලයක් තිබුණද  එයට උවමනා කරන නිරවුල් දැකීමක් සහ දිගුකාලීන වැඩ පිළිවෙළක් නොමැත.

ඊට ප්‍රධාන හේතුව සේ අපට පෙනෙන්නේ  මේ ආණ්ඩුව පෙර පැවැති ආණ්ඩු සේ ද අපේ රට වැනි වෙනත් රටවල ඇති පෙර සඳහන් කළ ලෝකයේ සාරය උරා ගැනීමේ සැලසුමට අනුගතව ගොඩනැගී තිබෙන හෙයිනි.

අපේ රටවල් ඊට කෙතරම් අනුගත වී තිබේද යත් එවැනි සැලසුමකට හසුව තිබෙන වගක් ද ඔවුහු නොදනිති. විවිධ වටවලින් ඇමෙරිකාව ප්‍රධාන යුරෝපීය රටවල් කරමින් සිටින්නේ ඒ මහ සැලසුම අලුත්කර  යාවත්කාලීන කිරීමය. මතුපිටින් වෙනස්කම් කළද සැලසුමේ හරය එකය.  මේ උගුලෙන් රට එහාට ගෙන යා හැකි ජාතික විප්ලවයක් කළ යුතුය. ආසනික්වලට එරෙහි අරගලයෙන් ඒ විප්ලවීය   ගමන පටන්ගත යුතුය.
 
වරුණ අබේසේකර
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all