Photobucket

Saturday, November 17, 2012

දරුවාගේ පාසල දෙව්ලොවක් කරමු

නෝවිද්‍යාව යන්න අද වනවිට බොහෝ දියුණු රටවල විවිධ ක්ෂේත්‍රයන් සඳහා යොදාගන්නා කාලීන වැදගත්කමකින් යුතු විෂයකි. ඒ යටතේ උප විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඇති අතර, උපදේශනාත්මක මනෝවිද්‍යාව හෙවත් මනෝවිද්‍යා උපදේශනයට හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. අද වනවිට කර්මාන්ත ක්ෂේත්‍රයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, පවුල් ගැටලු හා ලිංගික ගැටලු විසඳීම ආදී ක්ෂේත්‍ර ගණනාවකටම උපදේශනාත්මක මනෝවිද්‍යාවෙන් සිදුවන්නා වූ සේවය අතිමහත්ය.

   පාසල් අතර ගැටුම් ඇතිවීම, ලිංගික අනවබෝධය නිසා ඇතැම් පාසල් දරුවන්ට අත්වන ශෝචනීය ඉරණම, අධ්‍යාපනය ලැබීමේදී දරුවන්ට මුහුණදීමට සිදුවන ප්‍රශ්න, අයහපත් පවුල් පසුබිම නිසා තැවෙන දරුවන්, ප්‍රේම සම්බන්ධතා හා සියදිවි නසා ගැනීම් ආදිය පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව්වන සිදුවීම් දෙස බලනවිට මනෝවිද්‍යා උපදේශනය සක්‍රිය ලෙස පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීමට සුදුසු කාලය එළඹ තිබෙන බව ඉතා පැහැදිලිය.
children
 වර්තමානයේ දරුවන් තුළ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ඇත්තේ ම නැති තරම්ය. ලිංගිකත්වය යන්න පෙරදිග සමාජයේ ඉතා අඩුවෙන් කතා කරන විෂයකි. එමෙන්ම එය රහස් ගුප්ත දෙයක් බවට පත් කිරීම නිසාම අනවබෝධය මත බොහෝ ගැටලු ඇතිවන බව පෙනේ. එනම්, පාසල් දැරියන් අනපේක්ෂිත ලෙස ගැබ් ගැනීම, පාසල් දරු දැරියන්ට සමාජ රෝග වැලඳීම, නව යොවුන්වියේ දිවි නසා ගැනීම්, පාසල් ළමුන් අතින් කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අතවර ආදිය කොතෙක් නම් මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබේ ද, නිවැරදි ලිංගික දැනුමක් නැතිකම හා මෙම ගැටලු අතර ඍජු සම්බන්ධයක් තිබෙන බව ඉතා පැහැදිලිය. 

අද වනවිට ලිංගිකත්වය හුදු තෘප්තිය ලැබීම පිණිසම තිබෙන දෙයක්ය යන්න සිතීමට සමාජය පෙලඹී තිබේ. පරපුර ඉදිරියට පවත්වාගෙන යාමට සොබාදහම විසින් සත්ත්වයාට දායාද කරන ලද සාධකය ලිංගිකත්වයයි. තමා විසින් තනාගත් කුටුම්බය තුළ නිවැරදි ලෙස ලිංගික කාර්යයේ යෙදීම ගැටලුවක් නොවේ. එහෙත් මෙම නිවැරදි ලිංගික අධ්‍යාපනය නොලැබීම නිසාම පාසල් දරුවා නුසුදුස්සන්ගෙන් හා අසැබි වීඩියෝපටවලින් ඉගෙන ගැනීමට යාම මත විවිධ සමාජ ප්‍රශ්න නිර්මාණය වේ. එහෙයින් පාසල් දුවා දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබේ. 

මේ සඳහා දෙමාපියන්ට, ගුරුවරුන්ටත් වඩා සුදුසුම පුද්ගලයා අන් කවරෙක්වත් නොව මනෝවිද්‍යා උපදේශකවරයාය. එනිසා පාසල තුළ මනෝවිද්‍යා උපදේශනය සක්‍රිය ලෙස ස්ථාපිත කිරීම මඟින් ළමුන්ට අත්විඳින්නට සිදුවන දුක්ඛදායක තත්ත්වයන් බොහොමයක් අවම කළ හැකිය. එක් පැත්තකින් මෙය සමාජ ගැටලු අවම කිරීමකි වර්තමාන පාසල් පද්ධතිය තුළ දක්නට ලැබෙන තත්ත්වයක් වන්නේ ළමුන්ට ඇතැම් ගුරුවරු හා ඉගැන්වීම් ක්‍රම නිරසවන නිසාම ඒ ඒ විෂය ක්ෂේත්‍රයන්වලට ඔවුන් දුර්වලතා දක්වන බවකි. ගුරු ගෞරවය හා සිදුවිය හැකි අයහපත් ප්‍රතිචාර නිසා මේ තත්ත්වය ඍජුව පැවසිය නොහැකිව දරුවන් පන්ති කාමරය තුළ අතෘප්තියෙන් යුතුව දෛනික කටයුතුවල නිරත වේ. මේ සඳහා අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට මනෝවිද්‍යා උපදේශකවරයාට හැකියාව තිබේ. 

ගුරු ගෞරවය ද රැකෙන අයුරින්, අවම පහසුකම්වලට පවා දරුවාගේ මනස සැකසීමෙන් ධනාත්මක පසුබිමක් නිර්මාණය කිරීම තුළ අධ්‍යාපනයේ හිණිපෙත්තටම යා හැකි සිසු පරපුරක් බිහි කිරීම උදෙසා මෙය මහොපකාරී වේ. ඉගෙනීමට දක්ෂ හා අදක්ෂ යනුවෙන් ළමුන් වර්ගීකරණය කිරීම කිසිසේත්ම නොකළ යුත්තකි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා විවිධ ආබාධ සහිත දරුවන් හැරෙන්නට සියල්ලන්ටම හොඳ මනසක් තිබේ. එනිසා අධ්‍යාපනය ලැබීමේ හැකියාව අතින් සියල්ලන්ම සමානය. නමුත් දරුවන්ගේ පවුල් හා පාසල් පසුබිම තුළ තිබෙන ඇතැම් ඍණා ත්මක තත්ත්වයන් නිසා ඉගෙනීමේ දුර්වලතා ඇතිවන බව පෙනේ. 
children කෙසේ වෙතත්, මේ තත්ත්වයන් පාලනය කිරීම හා නියමිත කාල වකවානුවට අනුව විෂය මාලාව ආවරණය කිරීම ගුරුවරයාටම පමණක් තනිවම කළ හැකි නොවේ. එනිසා උපදේ්ශකවරයෙකුගේ මැදිහත්වීම මත එවන් දරුවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම හරහා නිසි අයුරින් අධ්‍යාපනය ලැබීමට අවකාශය සලසා දිය හැකිය. මේ සඳහා තනි තනිව උපදේශනය ලබාදීම, විවිධ වැඩසටහන් වැඩමුළු සංවිධානය කොට දරුවන් ඒවාට සම්බන්ධ කර ගැනීම ආදිය මෙන්ම දරුවාගේ මානසික මට්ටම හා දැවෙන ප්‍රශ්න පිළිබඳව ගුරුවරුන්ට අවබෝධයක් ලබාදීම උපදේශකවරයාට කළ හැකි කාර්යයවලින් කිහිපයකි.

මෙතුළින් ළමුන් අතර තිබෙන්නා වූ විෂමතාවන් අවම කොට හැකියාවන්ගෙන් හා දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ වූ දරු පරපුරක් බිහි කිරීමට දායකත්වය සැපයේ. ඍණාත්මක තත්ත්වයන් නිසා සිත් සතන් තුළ බුර බුරා ඇවිලෙන දුක්ඛදායක හැඟීම්, සිතුවිලි පැවසීමට තරම්වත් සමීපතමයෙකු නොමැතිකම නිසා ඇතැම් මල් කැකුළු අකලට මිලිනව ගිය අවස්ථා අප සමාජයේ කොතෙකුත් නම් තිබේද. එමෙන්ම දරුවන්ට මුහුණදීමට සිදුවන්නාවූ මෙම අභාග්‍යසම්පන්න දේවල් නිසා කාංසාව, විෂාදය, ආතතිය වැනි ඍණාත්මක මානසික තත්ත්වයන් ඇතිවීමත් ඒවාට නිසි ප්‍රතිකර්ම නොමැතිවිට උග්‍ර මානසික රෝග දක්වා වර්ධනය වීමත් සිදුවිය හැකිය. එනිසා අඩුම තරමේ දුක කියමින් හඬන්නට තරම්වත් විශ්වාසවන්ත අයෙකු සිටීනම් කොතරම් සහනශීලී හැඟීමක් පුංචි සිත් තුළ ඇතිවේද. 

ඒ අනුව අන්කවරදාකටත් වඩා අද පාසල් පද්ධතියට පුහුණු මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වී තිබේ. මේ සියලු කරුණු කාරණා සලකා බලන කල මනෝවිද්‍යා උපදේශකවරයා තම කාර්යභාරයේදී පාර්ශව තුනක් සමඟ සම්බන්ධ වේ. එනම්, ළමයා, දෙමාපියන් සහ ගුරුවරුය. මෙම තුන් ඈදුතු සම්බන්ධතාවය නිසි අයුරින් ක්‍රියාවට නැංවීම මඟින් යහපත් මානසික තත්ත්වයන්ගෙන් හා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ දරු පරපුරක් බිහිකිරීම උදෙසා ලැබෙන්නා වූ දායකත්වය මිල කළ නොහැක.රාජ්‍ය විශ්වවිද්‍යාල තුළින් වෘත්තීමය සුදුසුකම්ලත් උපාධිධාරීන් බිහි නොවන බවට ඇතැමුන් කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරති. 

එහෙත් අද වනවිට පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාලවලින් සුදුසුකම්ලත් මනෝවිද්‍යා උපාධිධාරීහු බොහොමයක් බිහිවි තිබේ. එනිසා මෙවන් සුදුසුකම්ලත් උපාධිධාරීන් පාසල් පද්ධතිය තුළ උපදේශනයට යොදාගැනීම මඟින් එක් අතකින් රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලැබේ. අනෙක් අතට පාසල් පද්ධතිය තුළ ගැටලු නිරාකරණය කිරීමට දායකත්වය සැපයේ. මෙය කෙසේ වුවත්, රටේ ජීවනාලිය බඳු අපගේ ළමා පරපුරට නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට අවකාශය සලසා දීම අප සැමගේම පරම යුතුකම වේ. එනිසා යහපත් දරු පරපුරක් රටට දායාද කිරීමේ උතුම් චේතනාව මුදුන් පමුණුවා ගැනීමට අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවේවායි ප්‍රාර්ථනා කරමි.
 
දිනමිණ ඇසුරින් පල කරන ලදී.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all