Photobucket

Saturday, November 17, 2012

‘මායාවරුන්ගේ දින දර්ශණය සහ 2012 ලෝක විනාශය’

ඒ ඒ සංස්කෘතියෙහි ඇති සංකල්ප අතර ඇත්තේ ඉතා දළ සමිබන්ධයක් බව මේ වන විට අවබෝධ වී ඇතැයි සිතමි. අප අම්මා යැයි කියන්නේ ඉංගි‍්‍රසීන් මදර් හෝ මමී හෝ යැයි කියන අරුතින් ම නොවේ. සිංහල බෞද්ධයන්ගේ සත්වයා යනු ඉංග‍්‍රීසීන්ගේ ඇනිමල් නොවේ. ඉංගිරිසින්ගේ ඇනිමල් යනු සිංහල බෞද්ධයන්ගේ සත්වයන් යන කුලකයෙහි උපකුලකයක් ලෙස නො සැලකිය යුතු බව අවබෝධ විය යුතුය. එමෙන්ම ඉංගී‍්‍රසින්ගේ මදර් යන්නෙන් කියැවෙන ගුණවලට අමතර ව තවත් ගුණ සිංහල බෞද්ධයන්ගේ අම්මා යන්නෙහි අන්තර්ගත වී ඇතැයි නො සිතිය යුතු ය.
 
ඒ ඒ සංකල්ප වෙන වෙන ම සංකල්ප වෙයි. එහි ඇති යම් සමානත්වයක් හේතුකොටගෙන අපි ඒ ඒ සංකල්ප එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරමු. එහෙත් එහි දී ඉතාමත් සාමාන්‍ය අවස්ථාවල දී මිස සියුම් අවස්ථාවල දී ඉන් අරුතක් ලබාදීමට හැකි නො වෙයි. වචනවල (සංකල්පවල) අදහස් හකුළුවා ව්‍යංගයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරන කවියෙහි මේ ප්‍රශ්නය බැරෑරුමි ලෙස උද්ගත වෙයි. එක් භාෂාවකින් ලියැවුණු කවි වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයාට විවිධ අභියෝගවලට මුහුණ පෑමට සිදුවෙයි.
 
බුදුදහම ඉංගිරිසියෙන් ප්‍රකාශ කිරිමට හැකි යැයි මම නො සිතමි. ඉංගරිසියෙන් බුදුදහම ප්‍රකාශ කරද්දී ඒ භාෂාව නිර්මාණය වී ඇති ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බලපෑම ජයගැනීම ප්‍රශ්නයක් වෙයි. 
natha deviyo
ශක්තිය යන වචනය ඉංගිරිසියට පරිවර්තනය කරන්නේ කෙසේ ද? නැතහොත් එනර්ජි යන වචනය සිංහලට පරිවර්තනය කරන්නේ කෙසේ ද? සංකල්පවලින් ඉංගිරිසියෙහි හා සිංහලයෙහි දැක්වෙන්නේ එකම අදහස් නොවන බැවින් අප එකිනෙකා මුහුණපාන ප්‍රශ්න කෙතෙක් ද?
 
කුසල් ශක්තිය අකුසල් ශක්තිය පාරමී ශක්තිය ආදිය ඉංගිරිසියට පරිවර්තනය කළහැකි යැයි නොසිතමි. මේ ශක්ති සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නම් ආධ්‍යාත්මික ශක්ති වෙයි. එහෙත් සාමාන්‍යයෙන් ඉංගිරිසියෙහි ශක්තිය යන්නෙන් අදහස් වන්නේ භෞතික ශක්තියකි. මිනිසාට තම සිරුරේ ඇති ශක්තිය යොදාගනිමින් යම් වස්තුවක් තල්ලු කළහැකිය. එසේත් නැත්නමි ඇදගෙන ගයි හැකි ය. බටහිර සංස්කෘතියෙහි ඇතැම් සත්වයන්ට ද එනමි සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නම් ඇතැමි තිරිසන් සතුන්ට ද එසේ කළ හැකි ය. ඉංගිරිසින්ගේ බලය යන සංකල්පය තැනී ඇත්තේ මේ භෞතික ශක්තිය පදනම් කරගනිමිනි.
 
අශ්ව බලය යනුවෙන් ඇති සංකල්පය (අද ඊනියා ජාත්‍යන්තර සමම්මත ඒකක යටතේ එය භාවිතා නො කෙරේ) අශ්වයකු පැයකදී කරන කාර්යය මත පදනම් ව ගොඩනගා ඇත. කාර්යය යනු දළ වශයෙන් බලයේ හා බලය යෙදෙන ලක්‍ෂ්‍යයෙහි විස්ථාපනයෙහි ගුණිතය වෙයි. ජවය යන සංකල්පය ඒකක කාලයකදී සිදුකරන කාර්යය සඳහා යොදා ගැනෙන්නේ යැයි සිතමි. ඒ කෙසේ වෙතත් ශක්තිය යන්න ඉංගරිසි සංස්කෘතියෙහි මුල දී යෙදුණේ මිනිසුන් අශ්වයන් වැනි සතුන් දුම්රිය ඇංජිම වැනි යන්ත්‍ර විසින් යම් වස්තුවක් ස්පර්ශ කරමින් තල්ලු කිරීමෙහි දී හෝ ඇදගෙන යෑමෙහි දී වැයවන්නක් හැඳින්වීම සඳහා ය.
 
එහෙත් නිව්ටන් හා පසුව ෆැරඬේ හා මැක්ස්වෙල් විද්වතුන් විසින් ඒ සංකල්පය වෙනස් කරනු ලැබිණි. නිවිටෝනීය ගුරුත්වාකර්ෂණ බලය යෙදවීමට ස්පර්ශවීම අනවශ්‍ය විය. සුර්යයා හා පොළොව එකිනෙක මත ගුරුත්වාකර්ෂණ බලයක් යොදන්නේ එකිනෙක ස්පර්ශ කරමින් නොවේ. කාන්දමක් විසින් අල්පෙනෙත්තක් මත බලයක් යෙදෙන්නේ අල්පෙනෙත්ත ස්පරශ කරමින් නොවේ. එය තේරුම් කරදීම සඳහා මැක්ස්වෙල් විද්වතාට ක්‍ෂෙත්‍රය යන සංකල්පය හඳුන්වා දීමට සිදුවිය. ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය යන්න ද මැක්ස්වෙල් විද්වතාගෙන් පසුව භාවිතයට ආ සංකල්පයක් විය. නිව්ටන් විද්වතාට සූර්යයා හා පොළොව එකිනෙක ස්පර්ශ නොකර බලයක් යොදන්නේ කෙසේ දැයි තේරුමි කර දීමට නො හැකි විය.
 
වස්තු එකිනෙක ස්පර්ශ කරමින් හෝ නොකරමින් හෝ ශක්තිය වැය කරන්නේ ය යන්න බටහිර අදහසකි. ඒ සමහ ඇත්තේ යාන්ත්‍රික විද්‍යුත් චුමිබක ආදී භෞතික ශක්තියක් පිළිබඳ සංකල්පයකි. එහි ආධ්‍යාත්මික ශක්තියක් පිළිබඳ සංකල්පයක් නැත. එහෙත් සිංහල බෞද්ධයනට ශක්තිය යන්නෙන් ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳ අදහසක් ද ගෙන දෙයි. සිංහල බෞද්ධ ශිෂ්‍යයනට එනර්ජි යන්න ශක්තිය ලෙස පරිවර්තනය කිරීමෙන් බටහිරයන් බලාපොරොත්තුවන අදහස ලැබෙන්නේ ද යන සැක සහිත ය. 
meditationlotus
 ඇතැම් සිංහල බෞද්ධ ශිෂ්‍යයන් බටහිර එනර්ජි හා සිංහල ශක්තිය යන සංකල්ප දෙකෙහි වෙනස අවබෝධ කර ගනිමින් ඒ සංකල්ප නිරවුල් ව යොදාගන්නවා ඇත. එහෙත් සිංහල බෞද්ධ සිසුන් බහුතරයක් මේ සංකල්ප දෙක මිශ්‍ර කරගනු නිසැක ය.
 
ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කතියෙහි බිහි වී ඇති ශක්තිය සංස්ථිතික වෙයි. එනම් ශක්තියේ ස්වරූපය තාපයෙන් විද්‍යුතයට යාන්ත්‍රිකයෙන් තාපයට ආදී වශයෙන් වෙනස් කළ හැකි නමුදු ශක්තිය විනාශ කිරීමට හෝ නිර්මාණය කිරීමට හෝ නො හැකි ය. මෙය ගලා එන්නේ දෙවියන් වහන්සේ ශක්තිය නිර්මාණය කිරීමෙන් පසුව එය අඩු වැඩි කිරීමට කිසිවකුට නො හැකි බව පදනම් කරගනිමිනි. බටහිර ක්‍රිස්තියානි විද්‍යාවේ සංකල්ප නිර්මාණය වී ඇත්තේ දේව නිර්මාණයට එකඟව ය. එහි අද දෙවියන් වහන්සේ කෙනකුගේ නිර්මාණයක් නැති වුවත් අහම්බෙන් සිදුවන නිර්මාණයක් වෙයි. විශ්වවේදයේ ඊනියා මහා පිපුරුම යනු දෙවියන් වහන්සේ කෙනකු නැතිව සිදුවන නිර්මාණයකි. මෙරට අනෙක් අය මහා පිපුරුම පිළිගත්තත් සිංහල බෞද්ධයකු ලෙස මම එය ප්‍රතික්‍ෂෙප කරමි.
 
සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ශක්තිය යන්න සංස්ථිතියක් නොවේ. මා දැනට තේරුමි ගන්නා ආකාරයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ශක්තිය අනන්ත වෙයි. විශ්වය ද අනන්ත වෙයි. එපමණක් නොවේ. එය අපරිමිත ද වෙයි. මේ විශ්වය විටෙක සංකෝචනය වෙයි. තවත් විටෙක ප්‍රසාරණය වෙයි. ප්‍රසාරණය වන්නාවූ ද සංකෝචනය වන්නා වූ ද පරිමිත විශ්වයක් සඳහා ආකෘතියක් අපි කැලණිය විශ්වවිද්‍යාලයෙහි නිර්මාණය කර ඇත්තෙමු. යථා කාලයේ දී අපරිමිත වු ද අනන්ත වූ ද සංකෝචනය වන්නා වූ ද ප්‍රසාරණය වන්නා වූ ද විශ්වයක් (විශ්වයක ආකෘතියක්) නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
 
අද ලෝකයේ අකුසල් ශක්තිය කුසල් ශක්තියට වඩා විශාල වන බව පෙනී යයි. ලෝකයේ වැඩියෙන් ඇත්තේ පන්සිල් රකින මිනිසුන් නොව කඩන මිනිසුන් ය. මිනිසුන් හැරෙන්නට අමනුෂ්‍යයන්ගේ ද තිරිසන් සතුන්ගේ ද මිථ්‍යාදෘෂ්ටික දේවතාවන්ගේ ද අකුසල් ශක්තිය ඉමහත් වෙයි. අකුසල් ශක්තිය වර්ධනය වීම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ ඉතා වේයෙන් සිදු වී ඇත.
 
සිත් පිත් නැති භෞතික ලෝකය ද දෙවියන් මිනිසුන් තිරිසන් සතුන් අමනුෂ්‍යයන් සහිත සත්ව ලෝකය ද එකිනෙකින් වෙන්ව පවතින්නේ නොවේ. මුළු මහත් සත්ව ලෝකය ම එකිනෙකාට සමිබන්ධ වී ඇත. අපි දෙවියන්ට හා භුතයන්ට පින් දෙමු. ඇතැම් මිනිසුන්ට අමනුෂ්‍ය දෝෂ ඇති වෙයි. ඒ අමනුෂ්‍ය දෝෂ දුරුකර ගන්නා අයුරු ද අපට උගන්වා ඇත. ඒ සඳහා ආධ්‍යාත්මික ගුණ වගාව අත්‍යවශ්‍ය වෙයි. සාමාන්‍ය අමනුෂ්‍යයන්ට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට තම ශක්තියෙන් (අකුසල් ශක්තියෙන්) ආධ්‍යාත්මික ගුණයෙන් පොහොසත් අයට වින කළ නො හැකි ය. එහෙත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා වැනි බලසමිපන්න අයට බෝසතාණන් වහන්සේලාට වුව ද බාධක පැමිණවිය හැකි ය.
gray_mayandisc2012
 
සත්වයන්ගේ කුසල් අකුසල් ශක්ති ස්වභාව ධර්මයාට ද බලපායි. කැලණිතිස්ස රජුගේ ක්‍රියාවක් හේතුකොටගෙන මුහුද ගොඩගැලූ බව අපි අසා ඇත්තෙමු. එය සුනාමියක් ද නැද්ද එහි දී මුහුදේ සිදු වු භූමිකමිපාවක් අතරමැද හේතුවක් වී ද නැද්ද ආදිය පසුගිය සුනාමියෙන් වසර හයකට පසු මට ප්‍රශ්න නොවේ. මුහුද ගොඩ ගැලුයේ කැලණිතිස්ස රජු රහතන් වහන්සේ නමකට පිරිනිවන් පෑමට සැලැස්වූ බැවිනි. කුසල් ශක්තිය හෝ අකුසල් ශක්තිය හෝ හේතුකොටගෙන භූමිකමිපා (මිහිකත සෙලවීම්) ඇතිවන බව අපි දනිමු.
 
අද ලෝකයේ සෑම තැනකම ඊනියා ස්වාභාවික ආපදා ඇතිවෙයි. හිම නිසා ගුවන් යානා ඇණ හිටියි. ගුවන් තොටුපළ වසා දැමෙයි. ලෝකයේ හැම රටකම පාහේ ගංවතුර ගැලිමි ඇතිවෙයි. දේශගුණික වෙනස්කමි ඇතිවෙයි. මේ දේශගුණික වෙනස්කමි ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැනි හුදු භෞතික වෙනස්කමිවල ප්‍රතිඵල ද? එසේත් නැත්නම් මිථ්‍යාදෘෂ්ටික දෙවියන්ගේ හා මනුෂ්‍යයන්ගේ අධාර්මික ජීවන රටාවල ප්‍රතිඵලයක් ද එහි දැකිය හැකි ද? ගෝලීයඋෂ්ණත්වය ඉහළ යන්නේ ද බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මිනිසාගේ ඉන්ද්‍රිය පිනවීම සඳහා බටහිරයන් ම කියන පරිදි ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ආදී රසායනික ද්‍රව්‍ය වායුගෝලයට එකතුකිරීම නිසා ය. තිරිසන් සතුන්ගේ හා අමනුෂ්‍යයන්ගේ අකුසල් ශක්තිය හැමදාමත් ඉහළ බැවින් ඔවුන් මේ ව්‍යසනයට දායක වී යැයි සිතිය නො හැකි ය.
 
මායා ශිෂ්ටාචාරයේ පැරුන්නන්ට අනුවල අඩුම තරමින් ඔවුන්ගේ දින දර්ශනයට අනුවල 2012 දී එනමි ලබන වසරේ දී ලෝක විනාශය සිදුවීමට නියමිත ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යටතේ ලෝකයේ අධර්මය වර්ධනය වන ආකාරය අධ්‍යයනය තිරීමේදී මෙය සැබෑවක් වීමට අඩුම තරමින් සුළු ඉඩකඩක් ඇති බව පෙනී යයි. ලෝකය බටහිර මිනිසාගේ ආධිපත්‍යයට යටවූ දවසේ සිට ලෝක විනාශය ආරමිභ වී ඇත. මුළු ලෝකය ම බටහිර මිනිසාගේ ආධිපත්‍යයට යටවීම ද දෙවි මිනිස් ලෝකවල අධර්මය රජකිරීමේ ප්‍රතිඵලයකි. ඇතැමි සම්‍යක් දෘෂ්ටික දේවතාවන්ගේ පාරමී හා කුසල් ශක්ති පසුගිය සියවස් කිහිපයක විවිධ හේතු නිසා යටපත්වීම පසුබිමි කරගනිමින් එසේ සිදුවන්නට ඇතැයි සිතිය හැකි ය.
 
අපට ලෝක විනාශය නතර කළ හැකි ය. එමගින් ලෝක විනාශයට නව අරුතක් ද දිය හැකි ය. ඒ සඳහා සම්‍යක් දෘෂ්ටික දේවතාවන්ගේ හා ගුණගරුක මිනිසුන්ගේ එකතුවක් අවශ්‍ය වෙයි. අද සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් හින්දු වැනි වෙනත් හිතවත් දෙවියන්ගේ ද ආධාරයෙන් බලයට පත් වී ඇති මිථ්‍යාදෘෂ්ටික දෙවියන් යටපත් කිරීමේ ක්‍රියාවලියක් ආරමිභ වී ඇති බව ඇතැමි ධාර්මික මිනිසුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. එහි දී ධාර්මික මිනිසුන්ගේ කුසල් ශක්තියෙහි හා පාරමී ශක්තියෙහි ආනුභාවය ද සම්‍යක් දෘෂ්ටික දේවතාවුන්ට ලබාදිය හැකි ය.
 
ලෝක විනාශය නතර කළ හැක්කේ අප ධාර්මික වීමෙනි. අපේ කුසල් ශක්තිය වර්ධනය කිරීමෙනි. අප පන්සිල් රැකීමෙනි. සම්‍යක්දෘෂ්ටික දෙවිදේවතාවුන්, ඔවුන්ගේ හිතවත් දේවතාවුන්, ධාර්මික මිනිසුන් එකතු වී ලෝක විනාශය වැළැක්විය හැකි ය. එහෙත් එසේ කරනු ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලෝකය වෙනුවට වෙනත් ලෝකයක් ඇරඹීමෙනි. ඒ අරුතින් ගත්කල බටහරි ක්‍රිස්තියානි නූතනත්වයේ ලෝකය විනාශ වීම ලෝක විනාශය ලෙස විවරණය කළ හැකි ය. අප අළුත් ලෝකයක් ආරමිභ නොකළහොත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ලෝකය විනාශ වීම සමග ලෝකය විනාශ වනු ඇත. 
gurugedara 
- මහාචාර්ය නලීන් ද සිල්වා
 
 
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all