Photobucket

Thursday, November 15, 2012

බෝ නොවන රෝගවලින් දිනකට ශ්‍රී ලාංකිකයෝ 250 ක්‌ මිය යති

හෘද රෝග, පිළිකා, දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරු වීමෙන් දිනකට ශ්‍රී ලාංකිකයන් 250 දෙනකු පමණ මිය යන අතර ඔවුන්ගෙන් සියයට 40 ක්‌ ම වයස අවුරුදු 65 ට අඩු අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.

මෙසේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක්‌ දක්‌වන අවුරුදු 65 ට අඩු වයසේ වැඩි පිරිසක්‌ බෝ නොවන රෝගවලට ගොදුරුව මිය යැම රටේ ආර්ථිකයටද බලපෑම් ඇති කරන්නක්‌ බව බෝ නොවන රෝග ඒකකය සඳහන් කරයි.
heart
කාන්තාවක විසින් දිනකට තේ හැඳි 6 ක්‌ හා පිරිමියෙකු විසින් දිනකට තේ හැඳි 9 ක්‌ වශයෙන් දෛනික සීනි පරිභෝජනය සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතත් එය ඉක්‌මවා යමින් ශ්‍රී ලාංකීය වැඩිහිටියකු දිනකට සීනි තේ හැඳි 16 ක්‌ පමණ (ග්‍රෑම් 80 ක්‌) පරිභෝජනය කරන බව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ආහාර සැකසීමේදී එනම් තේ, පුඩිං වර්ග, සිසිල් බීම වැනි ද්‍රව්‍ය හරහා අමතර සීනි ප්‍රමාණයක්‌ ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගැනීම බව බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති.

බෝ නොවන රෝග ශ්‍රී ලංකාව තුළ වැඩි වීමට අධික ලුණු පරිභෝජනයද හේතු වී තිබේ. දෛනිකව වැඩිහිටියෙකු විසින් ලුණු ග්‍රෑම් 5 ක්‌ (තේ හැඳි 1 ක්‌ කපාපු) පරිභෝජනය කිරීම ප්‍රමාණවත් වුවද ශ්‍රී ලාංකිකයෙකු දිනකට ලුණු ග්‍රෑම් 10 ක්‌ පරිභෝජනය කරන බව අනාවරණය වී තිබේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 400 ක ලුණු පැකට්‌ටුවක්‌ වැඩි හිටියන් 4 දෙනකුගෙන් යුතු පවුලකට දින 20 කට ප්‍රමාණවත් බව වෛද්‍ය මතයයි. වෙළෙඳපළෙහි ඇති ක්‍ෂණික ආහාර වර්ගවල අධික ලුණු ප්‍රමාණයක්‌ අන්තර්ගතව පවතින නිසා එම ආහාර ගැනීම සීමා කළ යුතු අතර ගන්නා ලුණු ප්‍රමාණය සීමා කිරීමෙන් අධිරුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග ගණනාවක්‌ වැළඳීම අවම කර ගත හැකි වේ.

දිනකට පරිභෝජනය කරනු ලබන සීනි, ලුණු, තෙල් ප්‍රමාණය සීමා කිරීමට අමතරව මත්පැන් හා දුම්පානයෙන් වැළැකී සිටීම, ට්‍රාන්ස්‌ මේදය සහිත ආහාර සීමා කිරීම, එළවළු පලතුරු වර්ග වේල් 5 ක්‌ වත් දිනපතා ආහාරයට එක්‌ කර ගැනීම, දිනකට විනාඩි 30 ක්‌ පමණ කය වෙහෙසවා ව්‍යායාම කිරීම (ඇවිදීම වැනි), රුධිර පීඩන මට්‌ටම 140/90 ට අඩුවෙන් තබා ගැනීම, උසට සරිලන සේ ශරීරයේ බර පවත්වාගෙන යැම යන කරුණු පිළිපැදීමෙන් බෝ නොවන රෝග වළක්‌වා ගත හැකි බව වෛද්‍ය මතයයි.

ආයතන රැසක සහභාගිත්වයෙන් බෝ නොවන රෝගවලින් වැළැකී සිටීමට හැකි ඉලක්‌ක 8 ක්‌ ජනතාවට හඳුන්වා දීමේ වැඩසටහනක්‌ මෙම සෙනසුරාදා (17දා) උදෑසන 8 සිට සවස 6 දක්‌වා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැත්වේ.
 
දිවයින  පුවත් පත ඇසුරින් උපුටා ගන්න ලදී. 

 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all