මාතලේ මහ
රෝහල් බිමේ නව ජීවවායු ඒකකයක් ඉදිකිරීම සඳහා රෝහලේ මුලුතැන්ගෙය ආසන්නයේ
කළ කැණීමකදී හමුවුණු සමූහ මිනී වළේ අබිරහස තවමත් නිසි ලෙස විසඳී ඇති බවක්
පෙනෙන්නට නැත. ඒ එම සමූහ මිනීවළේ අතීතය ගැන හෙළිදරව් වනවාට අකමැති බලවතුන්
නිසාදැයි යන සැකයක්ද මතුවෙමින් පවතී.
රෝහල්
භූමියේ ජීව වායු ඒකකය ඉදිකිරීම් කටයුතු සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින්
කැණීම් කටයුතු ඇරඹුණේ ඉකුත් නොවැම්බර් 23 වෙනිදාය. නමුත් ඒ කැණීම් කටයුතු
සිදු වූයේ සමූහ මිනීවළක් මත බව අනාවරණය වූයේ 26 වෙනිදා මිනිස් ඇට කැබලි
කිහිපයක් බැකෝ යන්ත්‍රයෙන් ගොඩගැනුණු පස් අතර තිබෙනු දැකීමෙනි. ඒ බව
මුලින්ම නිල දැනුම්දීම කර ඇත්තේ මාතලේ වත්තේ පදිංචිකරුවෙකු වන අමල්
වික්‍රමසිංහය. ජීවවායු ඒකකයේ වැඩ බිම් භාරකරු ඔහුය. ඔහු ඒ බව දැනුම් දුන්නේ
රෝහල් වෛද්‍ය අධිකාරි අර්ජුන තිලකරත්නටය.
බැකෝ යන්ත්‍රයට හසුවුණු ඒ ඇටකැබලි මිනිස් ඇටම බව තහවුරු කරනුයේ මාතලේ රෝහල් අධිකරණ වෛද්‍ය අජිත් ජයසේනය. ඒ රෝහල් අධිකාරී අර්ජුන තිලකරත්න කළ දැනුම්දීමට අනුව කෙරුණු පරීක්ෂාවකින් අනතුරුවය.
මාතලේ රෝහල් භූමියේ අබිරහස් සමූහ මිනී වළ ගැන ලෝකයාට තොරතුරු දැනගන්නට ලැබෙන්නේත්, එම සමූහ මිනීවළේ අතීතය ගැන කොයිකවුරුත් හාරා අවුස්සන්නට ගත්තේත් ඒත් සමගය.
මාතලේ මූලස්ථාන පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අනුව එම සමූහ මිනී වළ හාරන්නට පොලිසිය පියවර ගත්තේ නොවැම්බර් 27 වෙනිදාය. ඒ මාතලේ මහේස්ත්‍රාත්-වරියගේ අධීක්ෂණයෙනි. එහිදී එම වළේ ස්ථාන 58 ක තිබි සොයා ගැනෙන හිස් කබල් ගණන 49කි. අස්ථි කොටස් ගණන ඊටත් වැඩිය.
හිස් කබල් 49 ක් එහි තිබිමෙන් පැහැදිලි වූයේ එම සමූහ මිනීවළේ අවම වශයෙන් පුද්ගලයන් 49ක් දෙනෙකු වැළලී ඇති බවය. හිස් කබල් වලින් 25ක් සහ අස්ථී කොටස් 05ක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ භාරයට යොමු කර ඇතත් මතෛක් එම ඇට කැබලි සම්බන්ධයෙන් කාල නිර්ණයක් කර නොමැත. එසේම මාතලේ රෝහල් භූමියේ වැළලී ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව මතෛක් නිශ්චිත ලෙස තහවුරු වීමක් සිදු වී නැත.
පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව මේ වන විට මෙම ඇට කැබලි හමු වී ඇත්තේ මීටර් 9 ක් දිග, මීටර් 5ක් පළල සහ මීටර් 2 ක් ගැඹුරැති වළක් තුළ තිබියදීය. පෙනී ගොස් ඇති ආකාරයට අනුව තවදුරටත් කැණීම් කළ හොත් තවත් ඇට කැබලි සහ හිස් කබල් එහි තිබි හමුවන්නට ඇති ඉඩකඩ වැඩිය. එහෙත් මාතලේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම සමූහ මිනීවළද වැහි වතුරෙන් යටවීම නිසා කැණීම් කටයුතු මේ දිනවල සිදුවන්නේ නැත. නැවත කවදා එම කැණීම් සිදුවේදැයි පොලිසිය හෝ වෙනත් කිසිදු බලධාරියෙකු සඳහන් කරන්නේ ද නැත.
පොලිසිය නම් පවසන්නේ මුලසිටම සමූහ මිනී වළේ
කැණීම් කටයුතු සඳහා මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන සහභාගි වූ
බවය. ඊට අමතරව දෙසැම්බර් 10 වෙනිදා කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා
පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක්ද එහි පැමිණ
අධ්‍යයනයක නිරත වී ඇත්තේ සමූහ මිනී වළ ගැන කාල නිර්ණයකට තොරතුරු ලබා
ගනිමිනි. එසේම දෙසැම්බර් 14 වෙනිදා මහනුවර ප්‍රාදේශීය පුරාවිද්‍යා ගවේෂක
එන්. කරවුගහඅංග ද පැමිණ ඇත.
මෙහි දී මෙම සමූහ මිනී වළේ ආන්දෝලනය ජාත්‍යන්තරය දක්වාද ගොස් ඇති බැවින් ඒ ගැන ජිනීවා සමුළුවකදී ප්‍රශ්න කිරීමකට ලක්වුවහොත් ඒ ගැන කරුණු කියන්නටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පරීක්ෂණයක් කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබුණේය. ඒ අනුව එම කටයුත්ත පැවැරී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක චානක ද සිල්වා ඇතුළු කණ්ඩායමකටය.
එහෙත් තවමත් නිසි ලෙස විසඳී නැති මෙම සමූහ මිනී වළේ අබිරහස සම්බන්ධයෙන් පළ වන විවිධ මතවල නම් අඩුවක් නැත.
එක් මතයකින් කියවෙන්නේ මාතලේ රෝහල් භූමිය පිහිටා තිබෙන්නේ ඉංග්‍රීසින් මෙරට පාලනය කරන සමයේ මාතලේ පිහිටා තිබූ ඉංග්‍රීසින් ගේ මැක්ඩොනල්ඩ් බලකොටුව තුළ බවය.
1848 කැරැල්‍ලේ දී ඊට සම්බන්ධ වූ ලාංකිකයන් ඉංග්‍රීසින් විසින් අල්ලා මරා දමා වළ දමන්නට ඇත්තේ බලකොටුවේ බවත් මේ හමු වී ඇත්තේ එම සමූහ මිනීවළක් බවත් ඒ මතයෙන් කියවේ.
1935 වසරේදී මාතලේ බිලිගත් වසූරිය රෝගයෙන් මියගිය බොහෝ පිරිසක් සමූහ වශයෙන් වළ දැමුණේ රෝහල් භූමියේ බැවින් මේ එවැනි සමූහ මිනීවළක් බව කියන උදවියද මේ අතර සිටිති. ඒ බව සනාථ කරන්නට අතීත තොරතුරු දන්නා අය පවා පොලිසිය පසුගිය දිනවල සොයා ගිය බව සඳහන්ය.
මේ දිනවල මාතලේ නිරන්තරයෙන් සිදුවන නායයාම්වලටද වඩා දරුණු නායයාමක් 1947 වසරේ අගෝස්තුවේදී මාතලේ හරස්ගමදී සිදුවී ඇත. ඒ අගල කන්ද නායයාමෙනි. එහිදී මුළු ගමක්ම වැනසී ඇති අතර මිය ගිය ගණන බොහෝය. එදා ඒ නායයෑමෙන් මියගිය ගම්වැසියන්ගේ සිරුරු ගොඩගැසී ඇත්තේ මාතලේ රෝහලේ දීය. මුළු ගමක්ම පවුල් පිටින්ම වැනසුණු බැවින් ඇතැම් මළ සිරුරු අවසන් කටයුතු සඳහා රැගෙන යන්නට ඥාතීන් පවා ඉතිරිව සිට නැත. ඒ නිසා එම මළසිරුරු වළ දැමුවේ යැයි සඳහන් වන්නේ මාතලේ රෝහල් භූමියේය. ඇතැමුන් විශ්වාස කරනුයේ රෝහල් භූමියෙන් හමුවී ඇත්තේ එදා ඒ නායයාමට හසුවී මියගිය ගම්වැසියන් වළ දැමුණු සමූහ මිනීවළක් බවය.
නමුත් ඒ අනුමාන කිරීම් සහ විශ්වාසයන් කිසියම් දුරකට බිඳවැටෙන්නේ සමූහ මිනීවළ හාරමින් යනවිට විමර්ශකයන්ට මිනීවල තුළ තිබි හමුවන කාසි තුනකිනි. මළ මිනී අතර තිබුණු එම කාසි රුපියලේ සහ සත පනහේ කාසිය. සමූහ මිනීවළේ තිබි හමුවුණු ඒ කාසි තුන ගැන වැඩි විස්තර සඟවා තබාගන්නට බලධාරීන් තවමත් වගබලාගෙන ඇත්තේ සමූහ මිනීවළේ අතීතය ඔවුන් සිතූ තරම් ඈතකට දිව නොයන බව එම කාසි තුනෙන් සනාථ වන නිසා විය හැකිය. එම සමූහ මිනීවළ මෑත ඉතිහාසයේ රාජ්‍ය ත්‍රස්තවාදය හා බැඳුනක් විය හැකි බව ඒ තුළින් සනාථවිය හැකි බැවින් ඇතැම් පාර්ශ්ව ඒ ගැන මුනිවත රකිනවා විය හැකි යයිද සැකයක් පවතී.
අනාවරණය වන ආකාරයට අනුව එම කාසි තුන අතර
එක් කාසියක් රුපියලේ කාසියකි. ඉතිරි කාසි දෙකම ශත පනහ කාසිය. ශත පනහ
කාසිවල නිකුත් කළ වර්ෂය ලෙස සටහන්ව ඇත්තේ 1963 වසරයි. රුපියලේ කාසියේ
මුහුණත සටහන්ව ඇති නිකුත් කළ වර්ෂය 1969ය.
ඒ අනුව සමූහ මිනීවළ 1969 වසරට වඩා පැරණි නම් කොහෙත්ම 1969 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ කාසියක් මිනී ඇට කැබලි අතර තිබි හමුවීමට ඉඩක් නැත. 1848 කැරැල්‍ලේදී මියගිය අය එහි වැළලී තිබුණේ නම් මෙවැනි කාසි එතැනින් හමුවීමට හැකියාවක් නැත.
පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව කාසි තුනට අමතරව ලෝහ මුදු කිහිපයක්ද එම සමූහ මිනීවළෙන් සොයාගත් භාණ්ඩ අතර තිබේ. එම කිසිදු භාණ්ඩයක් 1848 දක්වා අතීතයට දිවයන බවක් නොපෙනේ.
එසේම 1935 වසරේ වසූරියෙන් හෝ 1947 අගල කන්ද නායයාමෙන් මිය ගිය අය මෙහි වැළලුවේ නම් ඒ අය අතර 1969 හෝ 1963 වසරේ මහ බැංකුව නිකුත් කළ කාසි තිබිය නොහැකිය.
එසේම වසූරියෙන් හෝ නායයාමකින් මියගිය පිරිසක් සමූහ වළ දැමීමකට ලක්කළේ නම් එය විශේෂ සිදුවීමකි. එසේ නම් ඒ ගැන ලොග් සටහනක් රෝහල් බලධාරීන් තැබිය යුතුය. නමුත් එවැනි අතීත සටහනක් රෝහලේ පැරණි ලිපිගොනුවල තබා පොලිසියේවත් නැත. අඩුම තරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවා සොයාගන්නට නැත.
මේ අනුව පෙනීයන්නේ වසූරියෙන් හෝ අගල කන්ද නායයාමෙන් මියගිය පිරිස් සමූහ වශයෙන් රෝහල් භූමියේ වළ දැමුවේ යැයි කීම හුදෙක් ලිඛිත සාක්ෂියක් නොමැති කතාවක් පමණක් බවය.
ඒ අනුව බලන කල මාතලේ රෝහල් භූමියේ මතුවූ සමූහ මිනීවළ ඒ කිසිදු තලයකට දැමිය නොහැකිය. මිනීවළෙන් මතුවූ කාසිවල නිකුත් කළ වර්ෂය හා සැසඳීමේදී පෙනී යන්නේ මෙකී සමූහ මිනීවළ 1969 වසරින් පසු ඇතිවූවක් බවය.
1971 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ රාජ්‍ය විරෝධී කැරැල්ල මැඩ පැවැත්වීමේදී මාතලේ ප්‍රධාන හමුදා කඳවුරක් ස්ථාපිතව තිබි ඇතැයි පැවැසෙන්නේ මාතලේ නගරයේ පිහිටි විජය විද්‍යාලයේය. එම කඳවුරේ පරිපාලන අංශය ස්ථාපිත කර තිබි ඇත්තේ මාතලේ රෝහලේය. ඒ රෝහලේ එක් වාට්ටුවකය. සමූහ මිනීවළ මතුවන්නේද එම වාට්ටුවට ආසන්න ස්ථානයකිනි. මේ අනුව බලන කල එකී සමූහ මිනීවළ 1971 කැරැල්‍ලේ අතුරු ප්‍රතිඵලයක් දැයි ඇත්තේ සැකයකි.
නමුත් 1971 ගැන අතීතය විමසීමේදී සමූහ ඝාතන ගැන එතරම් තොරතුරු අසන්නට නැත. එසේම මාතලේ රෝහල් භුමියේ ස්ථාපිත කර තිබි ඇත්තේද හමුදා කඳවුරේ පරිපාලන අංශය පමණි. ඒ එක් වාට්ටුවකය. සෙසු වාට්ටුවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම් සිදුවී ඇති අතර රෝහල් කටයුතුද එකල සාමාන්‍ය පරිදි සිදුවී ඇති බවද සඳහන්ය. ඒ අනුව බලන කල රෝහල් භූමියේ ඇති මේ සමූහ මිනීවළ 71 කැරැල්ල හා බැඳුනක්ද යන්නද නිශ්චිතව පැවසීම අසීරුය.
1971න් පසු සමූහ මිනිස් ඝාතන ගැන කියැවෙන ප්‍රධාන කාල වකවානුවක් වන්නේ 88 - 89 භීෂණ සමයයි. එකල බුරුතු පිටින් සමූහ වශයෙන් තරුණයන් වළලා දමනු ලැබිණි. ඒ නිසා මාතලේ රෝහල් භූමියෙන් මේ මතුව ඇත්තේ 88 - 89 භීෂණයේ අතුරු ප්‍රතිඵලයක්ද යන්නද සාධාරණ සැකයකි.
නමුත් එම භීෂණ සමයේ මාතලේ රෝහල් භූමියේ හමුදා කඳවුරක් තිබූ බවට නම් සනාථ කළ හැකි තොරතුරක් සොයාගන්නට නැත. එසේම එකල තරුණයන් විශාල වශයෙන් මරා දැමුණේ වෙඩි තබාය. මාතලේ රෝහල් භූමියෙන් මතෛක් ගොඩගත් කිසිදු ඇට කැබැල්ලක හෝ හිස් කබලක වෙඩි සලකුණක් යැයි සිතිය හැකි සලකුණු ඇති බවක් මතෛක් හෙළිවී නැත.
ඒ අනුව බලන කල මේ සමූහ මිනීවළ 88 -89 භීෂණයට සම්බන්ධ බවද ස්ථීර වශයෙන් කීමට නොහැකිය. ඊට පසු කාලයේ මෙවැනි සමූහ මිනීවළවල් හෝ සමූහ ඝාතනවලට ඉඩක් මෙරට තිබුණේද? මෙම මිනීවළ හා උතුරු නැගෙනහිර ආශ්‍රිතව පැවති යුද්ධයේ සම්බන්ධයක් තිබේද? ඇත්තේ ගැටලුවකි.
මේ ගැටලුවලට විසඳුම් ඇත්තේ මෙම සමූහ මිනීවළ නිසි කාල නිර්ණයට ලක්කිරීම තුළය. පුරාවිද්‍යා නිලධාරීන්ට ඉකුත් සතියේ ගාල්ලේ කොටුවේ කළ කැණීමකදී හමුවූ මිනිස් ඇට සැකිල්ල ඕලන්ද යුගය දක්වා දිවයන බව ඉතා පහසුවෙන් හඳුනාගෙන පැවසිය හැකිවූයේ නම් මාතලේ සමූහ මිනීවළේ අතීතය ගැන ඔවුන් කිසිවක් නොකියා නිහඬව සිටින්නේ ඇයි දැයි ගැටලුවකි. ඒ මෙම සමූහ මිනීවළේ සැබෑ අතීතය වසා දැමීමට අවශ්‍ය යම් පාර්ශ්වයක් සිටින නිසාද?
0 comments:
Post a Comment