සිනමාවේත් පුංචි තිරයේත් රජ චරිත කරනවාය කියන එක එක අතකට බැලුවම රජ වැඩක්. එවැනි රජ
වැඩකාරයෙක් තමයි අද අපේ කතාවේ කතා නායකයා.
ඔහු සිනමා ප්‍රේක්ෂකයින් අතර කලා රසිකයන්
අතර ආදරණීය නළුවෙක් වුණත් අනෙක් පැත්තෙන් වර්තමාන රජයේ බාර දූර වගකීම් රැසක් හිමි
ඇමැති වරයෙක් ද වෙනවා.
දේශපාලන ජීවිතය කොයිතරම් කාර්ය බහුල වුණත් සිනමාවෙන් කලාවෙන්
කිසිදාකත් ඈත් නොවුණු ඔහු වර්තමාන රජයේ තැපැල් ඇමැතිවරයා වන ජීවන් කුමාරණතුංගයි.
මේ දිනවල සිය සාමාන්‍ය ස්වරූපයෙන් මඳක් බැහැරව රැවුල සහ කොණ්ඩය වවාගෙන සිටින ඔහු
කිසියම් චරිතයක් වෙනුවෙන් පේවන ආකාරයක් ද දක්නට ලැබෙනවා.
*
ඔබ බාහිර ස්වරූපය වෙනස් කරගෙන ඉන්නේ ඇයි?
අනුර මාධව ජයසේකර අධ්‍යක්ෂණය කරන ‘වීදිය බණ්ඩාර’ ටෙලිනාට්‍යයේ ‘වීදිය බණ්ඩාර’ ගේ
චරිතය රඟපාන්න ලැබුණා. ඒ වෙනුවෙන් තමයි මගේ කොණ්ඩය සහ රැවුල වවාගෙන බාහිර ස්වරූපය
වෙනස් කරගෙන ඉන්නේ.
මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල කරගෙන යනවා. තව කොහොමත්
ජනවාරි මාසය අවසන් වනතුරු මේ ස්වරූපය මට වෙනස් කරන්න වෙන්නේ නෑ. ‘වීදිය බණ්ඩාර’ වගේ
ඓතිහාසික කතාවක් ටෙලිනාට්‍යයට නැඟීම සැබැවින් ම ඉතා වැදගත්.
අපේ අනාගත පරපුරට මේ
ඓතිහාසික පුරාවෘත්ත පිළිබඳ දැනුවත් බවක් ඇති කිරීම ඉතාම වැදගත්. මේ කාර්ය ඉතා ම
මැනවින් එහි අධ්‍යක්ෂවරයාත් ඔහුට සහාය වන නිෂ්පාදකවරයාත් ඉටු කරනවා.
*
පසුගිය කාලය පුරාම ඔබේ රංගනයන් දැක්කේ ඓතිහාසික කතා තේමාව ඔස්සේ ආ රජ චරිතයන්ගෙන්.
මේ රජ චරිතයන්හි ඇරඹුම ‘මහින්දාගමනය’ චිත්‍රපටය නේද?
ඔව්. රජ චරිත නිරූපණය කිරීම ආරම්භ වුණේ ‘මහින්දාගමනයෙන්’ තමයි. එහි දී නිරූපණය කළ
දේවානම්පියතිස්ස රජුගේ චරිතයට මට බොහෝ ප්‍රතිචාර ලැබුණා. රජ චරිතයට ඇන්දම මගේ බාහිර
ස්වරූපය තමයි මෙවැනි චරිත ලැබීමට බොහෝ දුරට හේතුවෙන්න ඇත්තේ. දේවානම්පියතිස්ස චරිතය
වෙනුවෙන් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මට මතකයි කිව්වා දේවානම්පියතිස්ස රජු
වර්තමානයේ සජීවී බවට පත් කළා කියලා.
*
මේ වනකොට එවැනි රජ චරිත කොපමණ කරලා තිබෙනවද?
මම හිතන්නේ පහක් විතර ඇති. ‘මහින්දාගමනය’, ‘දළදාගමනය’, ‘සිද්ධාර්ථ’, කියන
චිත්‍රපටවලත් ‘දෙවැනි මව්’ සහ ‘වීදිය බණ්ඩාර’ ටෙලිනාට්‍යවලත් එවැනි චරිත නිරූපණය
කළා.
*
රජ චරිත එක දිගටම කරන එක ඒකාකාරි නැත්ද?
නෑ. මේ ඔක්කොම රජ චරිත වුණාට ඒවා චරිත වශයෙන් එකිනෙකට වෙනස්. ‘මහින්දාගමනයේ
‘දේවානම්පියතිස්ස’ රජු එක විදියක්. ‘දළදාගමනයේ’ ඉන්දීය රජ කෙනෙක් වන ගුහසීව රජුගේ
චරිතය, ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේත් රජ කෙනෙකුගේ චරිතයක්. ‘වීදිය බණ්ඩාර’ ටෙලිනාට්‍යයේ
‘වීදිය බණ්ඩාර’ කියන්නේ මේ හැම කෙනෙකුගේ ම වෙනස් චරිතයක්. ‘දෙවැනි මවු’
ටෙලිනාට්‍යයේ ‘සෙන්පතියකුගේ චරිතයක්. මට මේ හැම චරිතයක් ම එකිනෙකට වෙනස්.
අත්දැකීම්, පසුබිම, චරිත ලක්ෂණ විවිධාකාරයි. ඒ නිසා ඒකාකාරී වුණේ නෑ.
*
මේ චරිත සම්බන්ධයෙන් ඔබ තුළත් වැඩි උනන්දුවක්. කැමැත්තක් තිබෙනව වගේ පේන්නේ?
වෘත්තිය නළුවෙක් විදියට මට කොයි චරිතයත් එක වගේ. නමුත් පසුගිය කාලයේ කරපු මේ
චරිතවලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘දළදාගමනය තාම තිරගත වුණේ නැති වුණත් එඩිටින්වලදී
එහෙම දැකපු අය දැන්ටම මට ප්‍රතිචාර දක්වනවා. මගේ නළු ජීවිතේ ඔය වැනි කාලවල්
බොහොමයක් තිබුණා. මම වීරයා ගේ චරිතය රඟපාන කොට සර්කිට් පහේම එකට මගේ චිත්‍රපට තිරගත
වුණු අවස්ථා තිබුණා. දුෂ්ටයාගේ චරිතය කරන කොටත් එක දිගටම දුෂ්ටයා වුණා. ඒ වගේ තමයි
මේ චරිතත්.
*
නළුකම පමණක් කරන වෘත්තීය සිනමා නළුවෙකුටත් වැඩිය ඔබ ආණ්ඩුවේ ඇමැති ධූරයකුත් දරමින්
සිනමාවේ සහ ටෙලිනාට්‍යවල දකින්න ලැබෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔබ ඇමැති
ධූරයේ කටයුතු කරන්නේ නැතිද කියලත්? දේශපාලනයත් කලාවත් සමබරව කරන්නේ කොහොමද?
ඒකට එකම හේතුව තමයි මගේ කාලය කළමනාකරණය කිරීම, අමාත්‍යාංශයේ කටයුතුවලට කලාව කොයිම
මොහොතකවත් බාධාවක් කරගන්නේ නෑ. ඒ වගේ ම තමයි කලාව සඳහාත් දේශපාලනය බාධාවක් කරගන්නෙ
නෑ. හැමදේටම වෙලාව වෙන්කරගෙන වැඩ කටයුතු කරන කොට ඒක ඒ තරම් දෙයක් නොවෙයි.
*
පසුගියදා ඔබ ඔබේ පැරණි හිත මිතුරකු වන චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණී හේවාවිතාරණ උපහාර
උත්සවයටත් සහභාගි වුණා. ඒ පැරණි මතකය අවදි කළොත්?
ගාමිණී ගේ මුල් ම චිත්‍රපට පෙළේ ‘සාරංගා’ චිත්‍රපටයේ මම රඟපෑවා. ඔහු අධ්‍යක්ෂවරයෙක්
හැටියටත්, මගේ පැරණි හිතමිතුරෙක් හැටියටත්, අනෙක් පැත්තෙන් ඔහු මොරටුවේ කෙනෙක් ඒ
නිසා ඒ අවස්ථාවට මා යා යුතුමයි කියලා හිතුණා. එදා පාර්ලිමේන්තුවටත් අනිවාර්යයෙන් ම
යා යුතු දවසක් වූ නමුත් ඔහුගේ උත්සවයට සහභාගි වෙලා සුබපතලා එන්න ගියා. හැබැයි මට
ඉවරවන තුරු නම් ඉන්න බැරි වුණා.
*
ඉදිරි නිර්මාණ කටයුතු කොයි වගේ ද?
සනත් අබේසේකර ලබන වසරේ ‘අජාසත්ත’ චිත්‍රපටය කරන්න සූදානමින් ඉන්නවා. එහි බිම්බිසාර
රජුගේ චරිතය සඳහා මට ආරාධනා ලැබී තිබෙනවා
0 comments:
Post a Comment