Photobucket

Sunday, November 18, 2012

යහපත් සිතින් ලෝකය දැකීම!

"රාජ රාජ රාජාධිරාජ පරම භට්‌ඨාරක උත්තරාපත නාථ" මෙය කුමක්‌දැයි ඔබ දන්නේද? පැරැණි භාරතීය රජවරු උත්සාහ දැරුවේ මෙම ගෞරව නාමය ලබා ගැනීමටය. රජුන්ට ද රජ වූ උත්තම රජ වූ අධිරාජ වූ එක සරණය මම වෙමි යන අදහස එහි ගැබ්ව ඇත.
මෙය ලබා ගැනීම සිතනා තරම් පහසු කාර්යයක්‌ නොවේ. දික්‌විජය කළ යුතුය. තමන්ගේ බල පරාක්‍රමය මෙහෙයවා අනිකුත් රජවරු තමන් යටතට ගත යුතුය. තමාගේ පෞද්ගලික හැඟීම් ගැන නොසලකා ආචාර ධර්ම නොසලකා සටන් වැදිය යුතුය. යුද්ධයේ ඇත්තේ එකම එක ආචාර ධර්මයකි. ජීවිතය හෝ මරණයයි. යුද්ධය තුළ සියල්ල සාධාරණය. භාරතීය රජවරු පමණක්‌ නොව නැපෝලියන්, සීසර් වැනි බටහිර රජවරුන් සියල්ල සාධාරණ යුද්ධයක්‌ තුළින් රජුන් අතර රජෙක්‌ වීමට උත්සාහ දැරූහ. ඔවුන්ගේ ධර්මය ඔවුන්ගේ ආගම යුද්ධය පමණක්‌ වේ. පෙර කී ගෞරව නාමය ලැබීමට එවැනි යුද්ධයක්‌ සිදු කළ යුතුය. එහෙත් අවාසනාවකට ඔවුන් අධිරාජ්‍යයන් බවට පත් වූ පසු ඔවුන්ගේ ඔටුන්නට යටත් වන ඔවුන්ට ගෞරවය පුද කරන පිරිසක්‌ ඉතිරි නොවේ.

රජු යන නාමය ජනයා රංජනය කරන්නේ යමෙක්‌ද , ඒ රජු යන නමින් හැඳින්වේ. රංජනය යනු සතුටු කිරීමයි. දික්‌විජය ප්‍රතිපත්තිය තුළ එවැනි සතුටු කිරීමක්‌ නොමැත. ඔවුන්ගේ බලය සියලු තැන පතුරුවන බැවින් එය රාජචක්‍රය නමින් හැඳින්වේ. චක්‍රය යනු රෝදයයි. එය කැරකේ. එවැනි රෝදයක්‌ මෙන් ඔවුන්ගේ බලය පැතිරේ. අශෝක අධිරාජයා, සීසර්, නැපෝලියන් වැනි රජවරු එවැනි රාජ චක්‍රය පැතිර වුවත් එය බිඳ වැටුණි. මන්ද විශාල ප්‍රදේශයක්‌ ආරක්‍ෂා කර ගැනීමට ඔවුහු අසමත් වූහ. පෙර සඳහන් කළ ගෞරව නාමය ලැබුවත් එය විනාශ වී ගියේය.

චක්‍රවර්ති රජුට ද මෙවැනි බලයක්‌ ඇත. ඔහුගේ අවිය යුක්‌තියයි. ඔවුහු ධර්මය තුළ පිහිටා කටයුතු කරයි. ඔහුගේ යුක්‌තිය නමැති චක්‍රය රෝදයයි. ලොව සැම තැන විසිර පවතී. එසේ වීමට ඔහු මහා පුණ්‍යවන්තයෙක්‌ විය යුතුය. තම බසට අවනත වන පෞරුෂයක්‌ හා ගෞරවයක්‌ තම ජීවිතය තුළ තබා ගත යුතුය. එම රජකම තවත් කෙනෙකුට පවරා දිය නොහැක. එය උපදවා ගත යුතුය.

අපිට ද රජෙක්‌ ඇත. ඒ බුදු රජය. අපිටත් ගුරුවරයෙක්‌ ඇත. අපේ ගුරු තිලෝගුරුය. බුදු රජුන්ගේ චක්‍රය ධර්ම චක්‍රයයි. එය තුන්ලොව පැතිර පවත්නා චක්‍රයකි. එනම් කාම, රූප, අරූප යන ලෝක තුනට අයත් දිව්‍ය ලෝක හයකුත් අපාය සතරකුත්, බ්‍රහ්ම ලෝකයත් එයට අයත් වේ. එයද ධර්මයකි. එහෙත් එය නිකම් නිකම්ම ධර්මයක්‌ නොවේ.

මෙලොවදීම ප්‍රතිඵල ලබාදෙන අකාලික, අවියෙන් බියෙන් හසුරවන්නේ නැති පැමිණ බැලිය යුතු තමන් විසින් ම ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ධර්මයකි.

මෙම ධර්ම චක්‍රය (රෝදය) අභියෝගයට ලක්‌ කළ නොහැක. එනම් මෙය අසත්‍යයකි. වැරදි දෙයකි. පිළිපැදීම නිසා අවැඩක්‌ ඇතිවන්නේ යෑයි කිව නොහැක.

ධම්මචක්‌ක සූත්‍රයේ ඇත්තේ ඒ අනුත්තර ධර්මයයි. එම ධර්මය බුදු රජු විසින් ම මනාව අවබෝධ කළ එකකි. ප්‍රඥ ඇස පිරිසිදු කරන එකකි. නුවණ ඇති කරන දහමකි. කෙලෙස්‌ නැති කරන එකකි. දුක නැති කරන දෙයකි. අවබෝධය පිණිස පවතින දෙයකි. නිවන පිණිස පවතින දෙයකි.

ජනයා සතුටු කරවීමට මෙයටත් වඩා දෙයක්‌ අවශ්‍යවේද? නැත අපේ බුදුරජ මෙසේ ජනයා සතුටට පත් කළ කෙනෙකි. එය තුන්ලොව සිසාරා පැතුරුණු චක්‍රයකි. ඇසූ ඇසූ දෙනා සතුටු වන සිත පහන් වන කාරණයකි. මෙය බුදු කෙනෙකු විසින් ම කළ යුතු දෙයකි.

මෙම ධම්මචක්‌ක දේශනය අසා මනු ලොව සිට අකනිටා බඹලොව දක්‌වා සාධුකාර දුන්නේය. එනම් සත්ත්වයා රංජනය වූවේය. සතුටට පත් වූයේය.

මෙම කාරණය නැවත මතකයට නැගිය යුත්තේ ඇයි. මෙම දම්සක්‌ දේශනාව අසා දේශනා කොට අදවන් ඇසළ පොහෝ දිනට වසර 2600 ක්‌ ගත වේ. විශ්මය එය අධිරාජ්‍යයන්ගේ රාජ්‍යයන් මෙන් ධර්ම චක්‍රය විනාශ නොවීමයි. සැබවින්ම මෙම ලෝක සත්‍ය මේතාක්‌ කාලයක්‌ නොනැසී පවත්නේ කවර කරුණක්‌ නිසාද. කවර බලයක්‌ නිසාද? මෙම ධර්මය පුරුදු කිරීමෙන් පුහුණු කිරීමෙන් ප්‍රඥව නමැති ඥානය උපදවන, විද්‍යාව උපදවා ආලෝකය උපදවන දහමක්‌ නිසා ය.

අප අද දින කතා කරන්නේ මේ දහමේ එන එක්‌ කාරණයක්‌ ගැන ය. එනම් සම්මා දිට්‌ඨ§ය පිළිබඳවය. සම්මා දිට්‌ඨ§ය දෙයාකාරයි. ලෞකික සම්මා දිට්‌ඨ§ය, ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය, වශයෙන් ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය කියන්නේ නිවන සඳහා ඇති එකම මාවතයි. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ත්‍රිවිධ ශාසනය බව අවබෝධ කර ගැනීමයි. ප්‍රතිපත්ති, ප්‍රීතිවේද, පර්යාප්ති වශයෙන් හඳුන්වන මෙම ත්‍රිවිධ ශාසනය තුළ හැසිරීමෙන් පමණක්‌ ම නිවන අවබෝධ කළ හැකි වේ.

ජාලය යනු දැලයි. බ්‍රහ්මජාලය යනු බුදුරජාණන් වහන්සේගේ ත්‍රිsවිධ ශාසනයෙන් බැහැරව වෙනත් ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් නිවන් බලාපොරොත්තුව කටයුතු කිරීම නිසා ඇතිවන අර්බුදයයි. ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය ඇත්තේ නම් මෙවැනි අතරමංවීම් සිදු නොවේ. ඔබට ලෝකෝත්තර සම්මා දිට්‌ඨ§ය අවශ්‍ය ද? එසේ නම් සුවිශාල වූ හික්‌මීමකින් යුක්‌තව ලෝකය දෙස බැලිය යුතුය. සන්සුන් මනසට පමණක්‌ ලෝකය අවබෝධ වේ. අගතිගාමී වේ නම් යථාවබෝධය ලැබිය නොහැක. මෙම අවබෝධය ලැබීමට පෙරාතුව ඔබ ලෞකික සම්මා දිට්‌ඨ§ය ලද යුතු වේ. මෙලොව ඇත. පරලොව ඇත. මව ඇත. පියා ඇත. දානයක්‌ ඇත. යාගයක්‌ ඇත. කුසලාකුසල කර්මයන්ට විපාක ඇත. දෙලොව ජයගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත යනාදී වශයෙන් දැක්‌මක්‌ ඇතිකර ගැනීම මෙහිදී ප්‍රයෝජනවත් වේ. මෙය ධර්ම චක්‍රයක්‌ වන්නේ කෙසේද? රජවරුන්ගේ රාජ්‍ය චක්‍රය භූමිය පුරා පැතිර පවත්නා සේ මෙම චක්‍රය සියලු මිනිසුන් අතර පැතිර පවතී. මොලාව පරලොව ඇතැයි විශ්වාස කරති. කිසි විටකත් ජීවිත හානියට හෝ අසද්ධර්මයකට පෙළෙඹෙන්නේ නැත. ඔහු නිතරම උත්සාහ කරන්නේ සෑම විටම තමාට හා සමාන වූ අයිතියක්‌ ජීවත් වීමට සැපය අපේක්‍ෂා කිරීමකට, දුක නොකැමති වීමට, සන්සුන් මානසිකත්වයකට, ලෝකය භුක්‌ති විඳීමට සමාන වූ වරප්‍රසාදයක්‌ තම තමන්ගේ කර්මයට අනුරූපව ලැබී ඇති බවයි.

සැබෑ මානව සබඳතාවන්ට ඔවුනොවුන් අතර අබෝධයට මෙය බෙහෙවින් ඉවහල් වේ. බාහිර සමාජ සබඳතා කෙසේ වෙතත් තම පවුල තුළ මාපිය දූදරු සබඳතා පවා මෙවැනි අවබෝධයකින් යුක්‌තව පවතී ද? එසේ පවතින්නේ නම් තම බිරිඳගේ දරුවන්ගේ අපේක්‍ෂාවන් නොසලකා බීමත්ව, එන පියවරුන් නොසිටිය යුතු ය. මානසික තෘප්තියට වඩා කායික තෘප්තිය උසස්‌ කොට සලකන ගැහැනු, පිරිමි නොසිටිය යුතුය. සියලු අපේක්‍ෂාවන් උසස්‌ පරමාර්ථයක්‌ සඳහා එක්‌තැන් කර ගත් ජනතාවක්‌ දැකිය හැකිය.ආතා අපේ

මේ ගෙවෙන්නේ කලියුගයයි. දැන් ඇත්තේ ධර්මයෙන් 1/4 කි. එනම් යමක්‌ හොඳ යෑයි කියනා විට එය සැබෑ ලෙසම හොඳක්‌ සේ දැකීමට කැමැති වන්නේ එක්‌ අයෙකු පමණි. තිදෙනෙකුම කියා සිටින්නේ එය වැරදි බවයි. ඔබ කල්‍යාණ ධර්මයක්‌ අනුගමනය කරනා විට එයට සහයෝගය දක්‌වන්නේ එය අගය කරන්නේ එක්‌ අයකු පමණි. තිදෙනෙක්‌ ම එය නින්දාවට ලක්‌ කරයි. තත්ත්වය එසේ නම් මේ ලෞකික සම්මා දිට්‌ඨිය අත්‍යවශ්‍ය යුගයක්‌ නොවන්නේද? කල්‍යාණ වූ ජීවන රටාවකට උරුමකම් කීමට ඔබ නොකැමතිද? මනුෂ්‍ය භවයක්‌ ලැබීම ඔබ දකින්නේ අයිතිවාසිකමක්‌ ලෙසද? වරප්‍රසාදයක්‌ ලෙසද? එය අයිතිවාසිකමක්‌ සේ සලකන තැනැත්තා සියල්ල තමාට අයිති වියයුතු ලෙසත්, සියලු දෙනා තමන් වෙත සේවය සැලසීමට සැදී පැහැදී සිටිය යුතු බවත් අපේක්‍ෂා කරයි. එහෙත් සැබෑ තත්ත්වය නම් කුමක්‌ද? මනුෂ්‍ය භාවය අයිතිවාසිකමක්‌ නොව වරප්‍රසාදයක්‌ පමණි. වරප්‍රසාදය ර¹පවතින්නේ එයට සුදුසු, එයට ආවේණික ගුණධර්ම ආරක්‍ෂා වනතෙක්‌ පමණි. එය අහෝසි වන තැන වරප්‍රසාද අහෝසි වේ. ඔබ දිවයන්නේ මනුෂ්‍ය වරප්‍රසාදය අහෝසි වී යන පිළිවෙතකය. මඛාදේව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කරයි.

"මා කො ත්වං අනතිම පුරුසො හොති"

ඔබ මේ උතුම් ශාසනයේ පවත්වාගෙන යන්නන් අතර අන්තිමයා නොවිය යුතුය. මනුෂ්‍ය සංහතියේ අවසානය ළඟා කරන තැනැත්තා නොවිය යුතුය. ඔබ අප ගමන් කරමින් සිටින්නේ එවැනි මාවතක ද? 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මොහොතක එහි තේමාව වූයේ "පිළිවෙතින් පෙළ ගැසීමයි" ඔබේ පිළිවෙත ධර්ම චක්‍ර පිළිවෙතෙහි එන සම්මා දිට්‌ඨ§ය පදනම් වී ඇත්නම් ඔබ ලෝකයට ශාන්තියක්‌ වනු ඇත. මතක තබා ගන්න මේ පැවසුයේ ඔබ අකමැති වුවත් ඇත්තකි.

උඩුහාවර සුමනරතන හිමි
gurugedara
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all