Photobucket

Tuesday, September 22, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දුෂ්කර වෑයමක


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ප්‍රධාන පුහුණුකරුවකු සොයා ගැනීම සහ කණ්‌ඩායමේ අසාර්ථක ක්‍රීඩකයන් වෙනුවට ආදේශ සොයා ගැනීම ඇතුළු නව වෙනස්‌කම් කෙරෙහි දීර්ඝ වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල ජයග්‍රාහී මට්‌ටමට රැගෙන ඒමට කටයුතු නොකළහොත් ඉහළ පුටු කිහිපයක්‌ද ඉදිරියේදී මාරු කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා සූදානමින් සිටින බවද "දිවයින" කළ විමසීමකදී අනාවරණය විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මීළග පුහුණුකරුවා විදෙස්‌ පුහුණුකරුවකු වන අතර වත්මන් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුර සඳහා ගෙන්වා ගැනීමේ අදහසක්‌ තිබුණද ඒ සඳහා ශ්‍රී ලංකාවට අවස්‌ථාවක්‌ නොමැති බවද වාර්තා වේ. 

"ශ්‍රී ලංකා කණ්‌ඩායමට ස්‌ථිර පුහුණුකරුවකු සොයා ගැනීමට තව කොතරම් කාලයක්‌ ගතවේද යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා මහතාගෙන් "දිවයින" කළ විමසීමකදී පවසා සිටියේ, "අපි පුහුණුකරුවන් කිහිප දෙනෙකු ගැනම අවධානය යොමු කරමින් ඉන්නෙ. අපි බලන්නෙ මේ කාලයේ ලෝකයේ හොඳින්ම කරන පුහුණුකරුවකු සොයා ගැනීමටයි. ඒ නිසා කිහිප දෙනෙකුම අපිට කතා කරල තියෙනවා. නමුත් තවම සුදුස්‌සා කවුද කියල සොයාගෙන නැහැ." යනුවෙන් පැවසීය.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය සමග අත්සන් කර ඇති කොන්ත්‍රාත්තුව හේතුවෙන් ඔහුගේ සේවය ලබා ගැනීමට නොහැකි අතර දැනට සාකච්ඡා පවත්වා ඇති පුහුණුකරුවන් අතර හතුරුසිංහ නොමැති බවද ඈෂ්ලි ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

කොදෙව් සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා පිල නවසීලන්තය බලා පිටත්ව යන අතර එම තරගාවලියෙන් අනතුරුව විස්‌සයි - විස්‌ස ලෝක කුසලාන තරගාවලියට සූදානම් විය යුතුව තිබේ. කෙසේ වෙතත් නවසීලන්ත සංචාරයට පෙර හෝ පුහුණුකරුවකු සොයා ගැනීමේ මෙහෙයුමක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් නිරතව සිටියි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන මස පළමු වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඒ සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි - විස්‌ස කණ්‌ඩායමේ තනතුර මෙන්ම ක්‍රීඩකයන්ගේ ස්‌ථානවලද පැහැදිලි වෙනසක්‌ කිරීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ද මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව සමගින් සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී අදාළ වෙනස්‌කම් දැක ගැනීමට හැකි වනු ඇතැයි තේරීම් කමිටු ප්‍රධානියකු "දිවයින" කළ විමසීමකදී පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සහ එක්‌දින කණ්‌ඩායමේ උපනායකත්වය මෙන්ම විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ නායකත්වය සහ උපනායකත්වය කෙරෙහිද තේරීම් කමිටුව වැඩි අවධානයක්‌ යොමු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all