Photobucket

Saturday, March 9, 2013

බංග්ලාදේශ පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්

බංග්ලාදේශ පන්දු යවන්නන්ට ආයාසයකින් තොරව පහර දුන් ශ්‍රී ලංකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ ආරම්භක දිනය නිමා වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 361ක් රැස්කර ගෙන සිටියේය.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර ලකුණු 142ක් ලබා ගත් අතර හතරේ පහර 16ක් හා හයේ පහර 3කින් ඔහුගේ ඉනිම අලංකාර වී තිබිණි. තිලකරත්න ඩිල්ෂාන් හා ලහිරු තිරිමාන්න අර්ධ ශතක ලබා ගත්හ. 

සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ තිරිමාන්න පැය තුනක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් ඊයේ තරගය නතර කරන විට හතරේ පහර 8ක් සමග පන්දු 127කින් නොදැවී ලකුණු 74ක් රැස්කර ගෙන සිටියේය. 

නොදැවුනු අනෙක් පිතිකරු, නව නායක ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 4ක් සමග පන්දු 41කින් ලකුණු 25ක් ලබා ගෙන සිටියේය.

බංග්ලාදේශය වෙනුවෙන් ඊයේ කඩුලු තුන ම ලබා ගත්තේ පිට දඟ පන්දු යවන සොහාග් ගාසි ය. කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව දිමුත් කරුණාරත්න හා තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 46ක් රැස් කරමින් සිටියදී කරුණාරත්න තුවාළ ලබා පිටියෙන් ඉවත් විය. 

තරගයේ 8 වැනි ඕවරයේ ෂහදත් හොසේන්ගේ 4 වැනි වේග පන්දුව කරුණාරත්නගේ වම් වැලමිටේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදුවිණි. ඒ වන විට ඔහු මිනිත්තු 48ක කාලයක් තුළ පන්දු 27කට මුහුණ දී හතරේ පහර 2ක් සමග ලකුණු 15ක් ලබා ගෙන සිටියේය.

මුළු ලකුණු සංඛ්‍යාව 114ක්ව තිබියදී 23 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල බිඳ වැටිණි. දැවී ගියේ ඩිල්ෂාන් ය. සොහාග් ගාසිගේ පිට දඟ පන්දුවට ඩිල්ෂාන් ‘මිඩ් ඕෆ්’ ස්ථානයට එල්ල පහරින් ආ උඩ පන්දුව මොමිනුල් හක් රැක ගත්තේය. මිනිත්තු 107ක් කඩුල්ලේ රැඳී සිටි ඩිල්ෂාන් පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමග ලකුණු 54ක් රැස් කළේය. 

ඩිල්ෂාන් එල්ල කළ අවසන් හතරේ පහරත් සමග ඔහුගේ 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා විය. ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර පළමු කඩුල්ල වෙනුවෙන් ඕවර 14.2කදී ලකුණු 68ක් එක් කළහ. ඩිල්ෂාන් දැවී යාමෙන් පසුව දිමුත් කරුණාරත්න යළි කඩුල්ලට පිවිසියේය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 132ක් ලබා ගෙන සිටියේය. 

කරුණාරත්නට තවත් ලබා ගත හැකිවූයේ ලකුණු 26ක් පමණි. ගාසිගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු 38 වැනි ඕවරය අවසානයේ මුළු ලකුණු 181දී දැවී ගියේය. පන්දු 61කට මුහුණ දුන් කරුණාරත්න හතරේ පහර 3ක් හා හයේ පහරක් එල්ල කරමින් ලකුණු 41ක් ලබා ගත්තේය. ඔහු හා සංගක්කාර දෙවැනි කඩුල්ල සඳහා පන්දු 90කින් ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගූහ. සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 247ක් රැස්කර ගෙන සිටියේය. 

ඒ වන විට සංගක්කාර ඔහුගේ 31 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර තිබිණි. ඔහු ශතකය කරා ළඟාවූයේ මොහමඩ් අෂ්රෆුල් ට පිට පිට හතරේ හා හයේ පහරක් එල්ල කරමිණි. පන්දු 153කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහර 12ක් හා හයේ පහරක් ඇතුළත්ව තිබිණි. තේ පානයෙන් පසුව යැවුනු 6 වැනි ඕවරයේදී සංගක්කාර දැවී යාමෙන් බේරිණි. ගාසිගේ පන්දුවට සංගක්කාර එල්ල කළ පහරින් පැමිණි උඩ පන්දුව රැක ගැනීමට ඉතාමත් පහසු එකක් වූවද ‘මිඩ් ඕන්’හි පන්දු රකිමින් සිටි මොහමඩ් අෂ්රෆුල් අතින් එය ගිලිහිණි. 

ඒ වන විට ‘සංගා’ ලකුණු 111ක් ලබා ගෙන සිටියේය. අවසානයේ සංගක්කාර දැවී ගියේ ගාසිගේ ම පන්දුවකටය. 73 වැනි ඕවරයේ අවසන් පන්දුවට සංගක්කාර එල්ල කළ උඩ පන්දුව ‘ෂෝට් කවර්’හි පන්දු රකිමින් සිටි ජහරුල් ඉස්ලාම් ඔහුගේ දෙවැනි උත්සාහයේදී රැක ගැනීමට සමත් විය. පැය හතරකට ආසන්න කාලයක් (මිනිත්තු 239) කඩුල්ලේ රැඳී සිටි සංගක්කාර පන්දු 226කට මුහුණ දුන්නේය. 

‘සංගා’ හා ලහිරු තිරිමාන්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 35කදී ලකුණු 124ක් එක් කළහ. පස්වරු 4.47 ට ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරිණි. ඒ වන විට තරගයේ ඕවර 85යි පන්දු 3ක් යවා තිබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරු කිත්රුවන් විතානගේ ද, බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවන් වන මොමිනුල් හක් හා ඇනාමුල් හක් ද මංගල ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා ගනිමින් මේ තරගයට එක්ව සිටියහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all