Photobucket

Monday, March 4, 2013

හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේ ඒත් හදවත ලංකාවේ

ඇය අංජනී පෙරේරා. මේ දිනවල තිරගත වන “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටයේ මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතය නිරූපණය කරන්නේ අංජනීය. ඇය ඉපදුණේ හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේය. එහෙත් ඇය ලංකාවට දක්වන්නේ පුදුම ආදරයකි. පසුගිය දිනෙක අංජනී අපට හමුවූයේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටය තිරගත වීම ඇරඹීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීය.

ඔබ ලංකාවේ පුරවැසියෙක්ද?
මගෙ තාත්තගෙ ගම කුරුණෑගල. අම්මගෙ ගම ගල්කිස්ස. මම ඉපදුණේ හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර. මම නීත්‍යානුකූලව ඇමෙරිකන් පුරවැසියෙක්. ඒත් මගේ හදවත තියෙන්නේ ලංකාවේ. මමත් නංගිත් ඇමෙරිකාවේ හැදුනත් මගේ අම්මටයි තාත්තටයි ඕනෑ කළේ සිංහලකම තියෙන විදියට අපි දෙන්නව හදන්න.

ඔබ කොහොමද රංගනයට යොමු වුණේ?
පුංචි කාලෙ ඉඳලම මම රඟපාන්න ආසයි. නමුත් මගෙ තාත්ත කිව්වෙ ඉගෙනීමේ කටයුතුවලට මූලිකත්වය දෙන්න කියලයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම Talant Agency එකකට සම්බන්ධ වුණා. ඒක ලොස් ඇන්ජලීස්වල තිබෙන හොඳම ආයතන 10 න් එකක්. එම ආයතනයට ඇතුළත් වෙන්න ලැබුණු පළමු සිංහල කාන්තාව මම. ඒ ගැන මට ආඩම්බරයි.

ඔබ චිත්‍රපට කීයක පමණ මේ වනවිට රඟපාලා තියෙනවද?
චිත්‍රපට 3 ක රඟපාල තියෙනව. ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ මගේ පළමු සිංහල චිත්‍රපටය. ඊට අමතරව මම ජාත්‍යන්තර මට්ටමේ රූපවාහිනී දැන්වීම් කීපයකටම දායක වෙලා තියෙනව.

රංගනයට අමතරව ඔබ සතු වෙනත් හැකියාවන් මොනවාද?
මම කරාතේ සටන්වල නිල් පටිය ලබාගෙන තියෙනව. මෝටර් සයිකල්, මෝටර් රථ පදවන්න, ඉලක්කයට වෙඩි තියන්න මට හැකියාව තියෙනව. ඉලක්කයට වෙඩි තැබීමේ තරගවලින් මම ජයගෙන තියෙනව.

ඔබ බෞද්ධ ද?
මගෙ අම්ම තාත්ත දෙන්නම බෞද්ධ. මමත් හොඳ බෞද්ධයෙක්. මට හැකි උපරිමයෙන් බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනව. මම ඉපදෙන්න ඉන්න අවස්ථාවෙ පියනන්ද හාමුදුරුවෝ අපේ නිවෙසට වැඩල අම්මට පිරිත් කියල තියෙනව.

එතකොට ඔබ කොහොමද ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ?
මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයකු වන නවීන් ගුණරත්න තමයි මට කතා කළේ මේ චිත්‍රපටයට. ඔවුන් මාව තෝරා ගත්තේ මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතයට.

මෙවැනි ඓතිහාසික චිත්‍රපටයක ඓතිහාසික චරිතයක් රඟපාන්න ලැබීම ගැන ඔබට මොකද හිතුණේ?
කුඩා කාලෙ ඉඳල මම බෞද්ධ චරිත ගැන කියවල තියෙනව. මහා ප්‍රජාපතී ගෝතමිය කියන්නේ සිදුහත් කුමාරයාගේ සුළුමව. සිදුහත් කුමාරයාව හදාවඩා ගන්නේ ඇයයි. ඇය සිදුහත් චරිතයට ඉතාම සමීප චරිතයක්. මේ චිත්‍රපටය තුළත් මේ චරිතය ප්‍රබල චරිතයක්. මම හිතන විදියට මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතය යශෝධරාවගේ සහ මහාමායාදේවියගේ චරිතවලට වඩා මේ චිත්‍රපටය තුළ ප්‍රබල අභියෝගාත්මක චරිතයක් කියල. ඉතින් ඉතාම ආශාවෙන් තමයි මේ ඓතිහාසික චරිතය නිරූපණය කරන්න මම බාරගත්තේ. ඒක මගේ වාසනාවට ලැබුණු දෙයක් කියලයි මම හිතන්නේ.

කොහොමද මේ චරිතයට ඔබ සූදානම් වුණේ?
චිත්‍රපටයේ තිර පිටපත ලැබුණාම මහා ප්‍රජාපතී ගෝතමියගේ චරිතය වඩාත් හොඳින් අවබෝධ කරගන්න මම උත්සාහ කළා. පොත් පත් ගොඩක් කියෙව්වා. මගේ සිංහල දෙබස් උච්චාරණය ඒ තරම් සාර්ථක නැති නිසා දිනකට පැය කීපයක් ම දෙබස් උච්චාරණය හුරු වුණා. මම බොහොම ගෞරවයෙන් තමයි මේ චරිතය රඟපාන්න සූදානම් වුණේ.

ඉදිරියටත් සිංහල චිත්‍රපටවලට ආරාධනයක් ලැබුණොත්?
මම හරිම ආසයි සිංහල චිත්‍රපටවල රඟපාන්න. චරිතය මට ගැළපෙනවා නම්, එහි මට යමක් කළ හැකි නම් මම ඒ චරිතය බාර ගන්නවා.

ඔබ වඩාත් කැමැති ඇමෙරිකාවේ ජීවත් වෙන්නද? ලංකාවේ ජීවත් වෙන්නද?
මම ඉපදුණේ හැදුණේ වැඩුණේ ඇමෙරිකාවේ. නමුත් මගේ හදවත තියෙන්නේ ලංකාවේ. ලංකාවේ කෑම බීමවලට ඇඳුම් පැලඳුම් වලටත් මම හරිම ආසයි.

සිංහල ටෙලිනාට්‍යයක රඟපාන්න ඔබ කැමැති නැද්ද?
හොඳ කතාවක් තිබුණොත් ඒක බාර ගන්නවා.

ඔබේ පවුලේ තොරතුරු මෙ3නවාද?
අම්මයි තාත්තයි නංගියි මමයි තමයි අපේ පවුලේ ඉන්නේ. මගේ නංගිත් ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රඟපානවා. ඇය රඟපාන්නේ දෙව්දත්ගේ මවගේ චරිතය.

තව කවුද ඔබේ ලංකාවේ ඉන්නේ?
මගේ ආච්චි අම්මා කුරුණෑගල ඉන්නවා. ඒ මගේ තාත්තගේ අම්මා. මගේ අම්මගෙ ඥාතීන් ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශවල ඉන්නවා. මම හරිම ආසයි කුරුණෑගල වෙල් යායේ ඇවිදින්න.

මොන වගේ බලාපොරොත්තුද ඔබට තියෙන්නේ?
මම ශ්‍රී ලංකාවට හරිම ආදරෙයි. විශාල යුද්ධයකට පස්සෙ දැන් ශ්‍රී ලංකාව නිවැරදි පාරේ යනව කියල මම හිතනව. ඒ ගමනට මටත් කිසියම් උදව්වක් දෙන්න පුළුවනි නම් ඒක මගේ බලාපොරොත්තු ඉටුවීමක්.

ඔබට පෙම්වතෙක් ඉන්නවද?
තවම නැහැ. මගේ ජීවිතය තව ගොඩනඟාගන්න තියෙනව. මම කැමැති නෑ ගෘහිණියක් පමණක් වෙන්න. ඒ නිසා ජීවිතයට සහකරුවෙක් සොයාගන්න මට තව කල් තියෙනව.

කවදාද ඔබ නැවතත් ඇමෙරිකාවට යන්නේ?
තවම දිනයක් නෑ. තවම ඒ ගැන හිතනව.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all