Photobucket

Monday, March 4, 2013

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු අද වර්ජනයේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව විසුරුවා හැරීමට එම සංගමයේ විධායක කමිටුව විසින් ගෙන ඇති තීරණය පිළි නොගන්නා බව පවසමින් කොළඹ ජාතික රෝහලේ සියලු වෛද්‍යවරු (04 දා) වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්‌ "දිවයින" ට පැවැසීය.

මෙම වර්ජනය ක්‍රියාත්මක කරන වෙලාව පිළිබඳව තීරණය කිරීම සඳහා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව (04 දා) උදෑසන 8.00 ට රැස්‌වේ. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් ශාඛා සංගමය විසුරුවා හැරීමේ බලතල තිබෙන්නේ සංගමයේ මධ්‍යම කාරක සභාවට මිස විධායක කමිටුවට නොවන නිසා සංගමය විසින් ගෙන ඇති විසුරුවා හැරීමේ තීරණය නීති විරෝධී එකක්‌ බව අදාළ වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර (02 දා) රැස්‌වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව වෛද්‍යවරුන් වැඩවර්ජනයක්‌ කරා යොමු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ද සම්මත කරගෙන තිබේ. වෛද්‍ය ජයතිලක මහතා විසින් නීති විරෝධී අයුරින් රජයේ රෝහල් වෛද්‍යවරුන් 200 ක්‌ සඳහා වාර්ෂික ස්‌ථාන මාරු ලැයිස්‌තුවකට අනුව ස්‌ථාන මාරු ලබාදීමට ක්‍රියාකිරීම මේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට මුල්වූ බව හෙතෙම සඳහන් කළේය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව විසින් ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට මේ වනවිටත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ සියලු රෝහල් ශාඛාත් අනුරාධපුර, පොළොන්නරුව, කරාපිටිය ඇතුළු ප්‍රාදේශීය සංගම් රැසකත් සහාය ලැබී ඇති බව ද පැවැසේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all