Photobucket

Sunday, March 10, 2013

විදෙස් ගුවන් සමාගම් රැසක් මත්තලට එන්න සූදානම්

මත්තල රාජපක්ෂ නව අන්තර්ජාතික ගුවන් තොටුපළ විවෘත කිරීමට පෙර සිටම විදේශීය ගුවන් යානා ආයතන රැසක් මත්තල හරහා සිය ගමනාන්ත සිදුකිරීමට කැමැත්ත පළ කැර ඇතැයි ද ඊට හේතුව වී ඇත්තේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවීම නිසා යයි ද සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

බටහිර සංචාරකයන් වැඩි වශයෙන් ඉලක්ක කර ගැනීම අරමුණු කරගෙන මෙරටට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය නවාතැන් ගමනාගමන පහසුකම් ඇති කිරීමත්, රට අභ්‍යන්තරයේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත් අරමුණු කරගෙන මේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. දැනටමත් ශ්‍රී ලංකාව හරහා පියාසර කරන එහෙත් ශ්‍රී ලංකාවට නොපැමිණෙන ගුවන් යානා රැසක් ද ඉදිරියේ දී සේවා ලබාගැනීම සඳහා මත්තල ගුවන්තොටුපළට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ඇමැතිවරයා කීය.

මැද පෙරදිග කලාපයේ හා උතුරු අපි‍්‍රකාවේ පළමු හා විශාලතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන ‘එයාර් ඇරබියා’ ගුවන් සේවය ද මත්තල හරහා ගුවන් ගමනාන්ත දීර්ඝ කිරීමට පොරොන්දු වී ඇත. 

මේ හරහා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර තිබෙන වෙළෙඳ හා සංචාරක සම්බන්ධතාවන්ගේ නව පිබිදීමක් ද ඉදිරි කාලයේ දී ඇතිවනු ඇතැයි අපේක්ෂිතය. 

එයාර් ඇරබියා ගුවන් සේවය මාර්තු මස 31 දා සිට මැයි 19 දක්වා සතියකට ගුවන් යානා 2ක් ද, මැයි 20 සිට සැප්තැම්බර් 30 දක්වා සතියකට ගුවන් යානා 4ක් ද, ඔක්තෝබර් 1දා සිට 26 දක්වා සතියකට ගුවන්යානා 7ක් ද මත්තල හරහා යෙදවීමට දැනටමත් කැමැත්ත පළකර ඇත.

මීට අමතරව ෆ්ලයි ඩුබායි ගුවන් සේවාව ද කොළඹට අමතරව මත්තල දක්වා ද සිය සේවය යෙදවීම දැනටමත් ස්ථිර කර ඇත. ඒ අනුව මැයි මස 19 සිට ඔක්තෝබර් මස 24 දක්වා ෆ්ලයි ඩුබායි ගුවන් යානා 3ක් මත්තල හරහා ඩුබායි දක්වා පියාසර කැරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all