Photobucket

Sunday, March 10, 2013

දල්වන සෑම පහනකින් ම ජාතීන් අතර සමඟිය ඇති වේවා!

හින්දු භක්තිකයන්ට සුවිශේෂ දිනයක් වන මහා ශිව රාත්‍රි දිනයේ ඔවුන් දල්වන සෑම පහනක් ම අධ්‍යාත්මික ගුණාංගයන් වඩන රටේ සියලු ජාතීන් අතර හොඳ අවබෝධයක් හා ශක්තිමත් සමඟියක් ඇති කිරීමට ඉවහල් වේවා’යි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කරයි.

එතුමා මේ බව සඳහන් කරන්නේ අදට (10) යෙදෙන හින්දු බැතිමතුන්ගේ සුවිශේෂ ආගමික දිනයක් වන මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද පණිවුඩයේ ය. 

ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද එම පණිවුඩය මෙසේ ය.

ශිව දෙවියන්ට සුවිශේෂ භක්තිය සඳහා පවත්වනු ලබන මහා ශිව රාත්‍රිය හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයන් අතර වැදගත් තැනක් ගනී. මෙය ශිව - පාර්වතී විවාහය සිදුවූ දිනය සිහි ගන්වයි.

ශිව රාත්‍රියේ පහන් දැල්වීම තුළින් සංකේතවත් කෙරෙනුයේ මනුෂ්‍ය වර්ගයා මෝහය දුරුකර දැනුම සෙවීමට ගන්නා නිරන්තර පරිශ්‍රමයයි. එසේම, රාගය, ක්‍රෝධය, තණ්හාව, ඊර්ෂ්‍යාව හා වෛරය පැරදවීම මෙන් ම හින්දු බැතිමතුන්ගේ ජීවිතයට සහ සමාජයට සාමය හා සමඟිය උදාකරලීම ද මෙම භක්ති පූජාවන්ගේ අරමුණ ය. 

ශ්‍රී ලාංකීය හින්දු බැතිමතුන් ඔවුන් ගේ ආගමික විශ්වාසයන්ට අනුව යමින් ශත වර්ෂ ගණනක් පුරා අන්‍යාගමිකයින් සමඟ සංහිඳියාවෙන් ජීවත් වූ අතර, මෙම සාමයේ යුගයේ දී ඔවුන් සමඟිය හා අවබෝධය යන යහපත් ගුණාංගයන් පවත්වාගෙන යාම ඉතා අගනේ ය. ශ්‍රී ලංකාවේ සියලුම හින්දු බැතිමතුනට මහා ශිව රාත්‍රියේ සියලු ආශිර්වාදයත් ලැබේවායි ද වඩා හොඳ හෙටක් පිළිබඳ ඔවුන්ගේ යාඥා හා සියලු බලාපොරොත්තු ඉටුවේවායි ද ප්‍රාර්ථනා කරමි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all