Photobucket

Monday, March 4, 2013

කුඹල්ඔළුව මංසන්ධියේ සිදුවූ රිය අනතුරින් ඥාති සොයුරන් තිදෙනා ජීවිතක්ෂයට

වැඩිහිටි මවුපියන් කියන දේට කන් නොදී හිතුමතයේ අතිධාවනකාරීව ක්‍රියාකරන තරුණයන් අත යතුරුපැදිය හා ජංගම දුරකථනය මාරක මෙවලමක් වී ඇතැයි පසුගියදා මල්හෑව පාරේ කුඹල්ඔළුව මංසන්ධියේ සිදුවූ මෝටර් රථ - යතුරුපැදි ගැටුමෙන් මියගිය තරුණයන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්. පී. පී. ගුණවර්ධන මහතා පැවැසීය.

ගල්ගමුවේ සඳුන් තාරක වන්නිආරච්චි (18) ගයාන් පි‍්‍රයන්කර ගජනායක (21) සහ සමිත ලක්මාල් පෙරේරා (21) යන ඥාති සොයුරන් තිදෙනකු මෙම අනතුරින් මියගියහ.

මාර්ග අනතුරකින් හිසට සහ ශරීර අභ්‍යන්තරයට සිදුවූ බහුවිධ තුවාල සහ අධික රුධිර වහනය නිසා තරුණයින් තිදෙනාගේ මරණ සිදුවී ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තීරණය කෙළේය.

සියනෑ උඩුගහපත්තුවේ හදිසි මරණ පරීක්ෂක ආර්. කේ. ගුණතිලක මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී වේයන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් (55498) ගුණරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මියගිය සඳුන් තාරකගේ මව වන නිරංජලා කොස්තා මහත්මිය මෙසේ කීවාය.

මියගොස් සිටින සඳුන් මට හිටිය එකම පුතායි. ඉගෙන ගත්තේ මීරිගම ඩී. එස්. සේනානායක විදුහලේයි. ලබන අවුරුද්දේ වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින්නයි සූදානම් වෙලා හිටියේ. 

සිද්ධිය වුණු දවසේ හැන්දෑවේ මම සඳුන් පුතා කොහෙද ඉන්නේ කියලා සොයාබැලුවා. එවිට ඔහු අල්ලපු වැටේ ගයාන්ලගේ ගෙදර කැරම් සෙල්ලම් කරමින් සිටියා. මම එතැනට ගියාම ගයාන් පුතා මගෙන් ඇහුවා සඳුන් එක්ක වේයන්ගොඩ යන්නද කියා.

මම කීවා සඳුන් එක්ක යන්න එපා කියලා. ඒත් සඳුන් පුතා මගේ කීම අහන්නේ නැතිව ගයාන් පුතත් එක්ක වේයන්ගොඩට ගියා. ඔවුන් ඒ ගමන ගියේ වැඩ ඇරිලා වේයන්ගොඩට දුම්රියෙන් එන සමිත පුතා එක්ක එන්නයි.

රෑ 10 වනතුරුත් ඔවුන් ආපහු ආවේ නැහැ. රෑ 10ත් 11ත් අතර සුනීතා වන්නිආරච්චි යන අය ඇවිත් කීවා සඳුන්ලා ඇක්සිඩන්ට් වෙලා වතුපිටිවල රෝහලට ගෙනිහින් කියලා. අපි එවේලේම වෑන් එකකින් රෝහලට ගියාම තුන්දෙනාම නැතිවෙලා බව දැනගත්තා. මම පුතාගේ මලසිරුර හඳුනාගත්තා. මට මේ මරණය ගැන සැකයක් නැහැ.”

අනතුරින් මියගිය ගයාන් ප්‍රියංකරගේ පියා වන කපිල ගජනායක සහ සමිත ලක්මාල් පෙරේරාගේ මව වන කොටුගේ මුදියන්සේලාගේ චම්පිකා කුමුදුනි යන අයද මෙහිදී සාක්කි දුන්හ.

ඉදිරිපත්වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මෙම මරණ තුන මාර්ග අනතුරක් නිසා සිදුවී ඇති බවට මරණ පරීක්ෂකවරයා නිගමනය කෙළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all