හැම දෙනකුගේම පරම හැඟුම හා ප්‍රාර්ථනාව විය යුත්තේ රට ජාතිය හා ආගම වෙනුවෙන් උපරිම
සේවයක් කිරීම බවත් ඒ සඳහා රටේ ඉතිහාසය, සාහිත්‍යය මෙන් සංස්කෘතිය සම්බන්ධව ද හදාරා
ජාතික වීරයන්ගේ චරිත කතා අධ්‍යයනය කොට දැනුම ලබාගත යුතු බවත් අන්තර්ජාතික මූල්‍ය
සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය සරත් අමුණුගම කොළඹ
දී පැවැති ශිෂ්‍ය නායක හමුවකදී පැවැසීය.
වත්මන් පරපුර බහුල වශයෙන් ඇබ්බැහි වී ඇති ‘ෆේස් බුක් එකෙන් චැට් කිරීමෙන් ගුණදහම්
නොවැඩෙන බව සඳහන් කළ ආචාර්ය අමුණුගම මනස්ගාතවලින් හිස් පුරවාගෙන අර්ථ විරහිත දේ
කිරීම මඟින් ජීවිත අවුල් කැරනොගෙන සාර්ථකත්වය කරා පිය එසවීමට කටයුතු කළ යුතු බව
සඳහන් කළේය.
නායකත්වයේ ලක්ෂණය දැනුමින් සන්නද්ධවීම බව සඳහන් කළ ඇමැතිවරයා තමන්ගේ මෙන්ම අන් අයගේ
පළපුරුද්ද ගැන ද අවධානය යොමු කොට දැනුම වර්ධනය කැර ගැනීමට කටයුතු කළ යුතු බවත්
පිරිපුන් දැනුමක් ලබා ගත් අයකු රැවටීමට කිසිවකුට නොහැකි බව පෙන්වා දුන්නේය.
විනෝදාංශ ලෙස වල්පල් නොකොට පොතපත කියවීමට හුරුවීමට දරුවන් යොමු විය යුතු බව සඳහන්
කළ අමුණුගම මහතා එය අර්ථවත් ජීවිතයකට ශක්තිමත් අඩිතාලමක් වනවා මෙන්ම රටේ අනාගතයටත්
සුබදායී වන බව පෙන්වා දුන්නේය.
0 comments:
Post a Comment