Photobucket

Monday, March 4, 2013

රට පුරා සහල් හිඟයක් මවා පෑමේ ජාවාරමක්

ලංකාව පුරා සහල් හිඟයක් මැවීමේ දැවැන්ත ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආර්ථික සංවර්ධන හා ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

සංවිධානාත්මක මාෆියාවක් මෙය සිදු කරන බවත් ගංවතුර පැවති සමයේ සිදු වූ ව්‍යවසනයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට පාරිභෝජනයට අවශ්‍ය වී මේ වන විට නොමැති බව කියමින් මොවුන් මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. 

ආර්ථික සංවර්ධන හා ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව සඳහන් කර සිටියේ (02) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අප ජනතාවට පරිභෝජන අවශ්‍යතාවට වඩා වී තොග මේ වන විටත් රට තුළ පවතින බවත් මේ නිසා රටේ කවරාකාර හෝ ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවන බව පැවසූ ඇමැතිවරයා මෙසේද කීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ පිළිබඳ සොයා බලා ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවීමට කටයුතු කරන ලෙසද තමන්ට උපදෙස් ලබාදී ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එ‍ළඹෙන උත්සව සමයේ සහල් හිඟයක් ඇති වන බවට ජනතාව බිය ගන්වමින් මේ සංවිධානාත්මක කණ්ඩායම් මඟින් ගොවියාගේ වී අඩු මිලට ලබා ගැනීමටත් එසේම සහල් මිල ඉහළ නංවමින් ජනතාව මුලා කර සූරා කෑමේ නිරත වන බවටත් තොරතුරු ලැබී තිබේ. 

මේ වන විටත් මේ කරුණු සම්බන්ධව ක්ෂේත්‍රය තුළ නිරීක්ෂණය කරමින් සොයා බලා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර ඇතැයිද හෙතෙම පැවසීය.

‍ඒ අනුව වී වල පවතින මිලට වඩා පහළ මිලට ලබා ගැනීම මෙන්ම සහල් පවතින මිලට වඩා ඉහළ මිලට අලෙවි කිරීම සිදු වන්නේ නම් ඒ පිළිබඳ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත හෝ පාරිභෝගික සේවා අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all