Photobucket

Saturday, March 9, 2013

බද්ද නැතුව කාර්වලින් මැතිවරු යති වටේ!

මේ රටේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සිට පළාත් සභා මැති ඇමැතිවරු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නාගරික මන්ත්‍රීවරු මේ ආදී වශයෙන් දේශපාලනය ගෑවුණු තැනක "නැති බැරි" පුද්ගලයෙකු සොයා ගන්නට නැත. කුමන "ඓශ්වර්යකින්" හෝ සිතූ පැතූ සියලු සැප සම්පත් සියල්ල ළඟාකර ගන්නට, ඡන්දය දිනූ දාට පසුදින සිටම මේ සියලු දෙනාටම හැකියාව ලැබේ.

 එහෙත් මේ උදවියට මේ ලැබෙන ප්‍රමාණයත් මදිවෙන තරම්ය. ජනතාවගේ පාර්ශ්වයෙන්, විදුලිබිල, ගෑස්‌ මිල, ජල බිල, බස්‌ ගාස්‌තු, එළවලු, සහල් මිල කොතරම් ඉහළ ගිය ද වැටුප ඉහළ යන්නේ සොච්චමකිනි. නැතහොත් වැඩිවන්නේම නැත. රට කරවන උදවියට කොතරම් මේ ගැන කිවද පලක්‌ නොවේ. එහෙත් මේ රටේ ඉහළම තැන්වලට පවා දැනෙන තරමේ දෙයක්‌ වේ. ඒ, දේශපාලනඥයන්ගේ දුක..... වේදනාවයි. තමන්ගේම අයවැයක්‌ කියූ සැණින් වැටුප් ඉහළ දැමීම්, දීමනා, වරප්‍රසාද වැඩිකිරීම්, මතුද නොව තීරු බදු රහිතව වාහන ගෙන්වීමේ පහසුකම් මේ ආදී බොහෝ දේ මේ සියල්ලන්ටම ලැබේ. ඉතාම සුළු කාරණයක්‌ වුවද මේ දිගු පූර්විකාව සටහන් කරන්නට හේතු වූයේ පසුගිය සතියේ පළාත් සභා මන්ත්‍රීවරු 417 ක්‌ සඳහා තීරු බදු රහිත වාහන ලබාගැනීමට අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ප්‍රවෘත්තියයි. ඒ අනුව මේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ඇමරිකානු ඩොලර් 40,000 ක්‌ වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට නියමිතය.

මේ රටේ සිදුවන දේවල හැටියට "ඕකත් මහ දෙයක්‌දැයි" කිසිවකු හෝ විමසීමක්‌ කරන්නට ඉඩ ඇති නමුත් අපේ කියවීමට අනුව නම් මෙය රටේ සංවාදයට බඳුන් විය යුතු කාරණයකි. ප්‍රධානතම දේ මේ වාහන ඉල්ලුම් කරන දේශපාලනඥයන් එහෙමට වාහන අහේනියකින් පෙළෙන වගක්‌ අප කිසිවිටෙකත් දැක නොතිබීමයි.

අප දන්නා පරිදි පළාත් සභාවකට තරග කර මන්ත්‍රීවරයකු ලෙස පත්වීම එතරම් පහසු කාරණක්‌ නොවේ. ඒ සඳහා අත දිගහැර වියදම් කළ යුතුය. බොහෝවිට එය රුපියල් ලක්‍ෂ 200 - 300 ඉක්‌මවන අවස්‌ථාද අප පසුගිය පළාත් සභා ඡන්දවලදී දැක ඇත්තෙමු. කෙසේ හෝ මලු ගණන් පොරොන්දු ජනතාවට ලබාදී, බලයට පත්වන මේ කිසිදු දේශපාලනඥයකු (අපගේ ප්‍රස්‌තුතයට අදාළ වන්නේ පළාත් සභාය.) තමන්ට ලැබෙන වරප්‍රසාද හා දීමනා පිළිබඳව කටේ කෙළ බිඳක්‌ බිම හෙළන්නේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලබන වැටුපින් හා දීමනාවලින් 50% ක ප්‍රමාණයක්‌ පළාත් සභා මන්ත්‍රීවරුන්ට හිමි වේ. ඒ අනුව පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් විසිහත් දහස්‌ එකසිය හතළිස්‌ දෙකයි සත පනහක්‌ වේ. ඉන්ධන දීමනාව රුපියල් විසිඅටදහස්‌ අටසීයකි. සංග්‍රහ වියදම් දීමනාව රුපියල් පන්සියයකි. රියෑදුරු දීමනාව දහඅටදහස්‌ එකසිය හැටකි. දුරකථන දීමනාව රුපියල් නවදහසකි. මේ අරුතින් ගත් කල වැටුප ද එක්‌ පළාත් සභා මන්ත්‍රීවරයකුට රුපියල් අසූතුන්දහස්‌ හයසියයක මුදලක්‌ හිමි වේ. එපමණකුදු නොව මේ සියලු දේට අමතරව පළාත් සභා මන්ත්‍රීවරයකුගේ කාර්ය මණ්‌ඩලය සඳහා ලිපිකරුවෙක්‌, ලඝූලේඛකයෙක්‌, කාර්යාල සහායකයෙක්‌ද සිටිති. ලිපිකරුගේ දීමනාව ලෙස රුපියල් දහහත්දහස්‌ නවසියයක්‌ පමණ වේ. ලඝූ ලේඛක දීමනාව රුපියල් දහහත්දහස්‌ හත්සියයකි. කාර්යාල කාර්ය සහායකට රුපියල් දහසය දහස්‌ පන්සියයක්‌ද හිමිය. පෞද්ගලික ලේකම්වරයෙකුද මේ කාර්ය මණ්‌ඩලයට අයත් වන අතර, ඔහු හෝ ඇයගේ වාහනයටද ඉන්ධන දීමනාවක්‌ හිමිය.

සෑම පළාත් සභාවකම ආණ්‌ඩුකාරවරයාටද මේ වැටුප් හිමිකම් හා දීමනා හිමිකම් ලැබේ. පළාත් සභා ප්‍රධාන ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 32,450 ක්‌ පමණ වන අතර ප්‍රධාන අමාත්‍යවරයා කැබිනට්‌ අමාත්‍යවරයකු සතු සියලු වරප්‍රසාදයන්ට හිමිකම් කියති. පළාත් සභා ඇමැතිවරයකුට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිවරයකුට හිමිවන සියලු වරප්‍රසාද හිමිවේ. පළාත් ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 31,750 කි.

මේ සියල්ලට අමතරව මොවුනට "තීරු බදු රහිත" සුපිරි වාහනයකට හිමිකම් කියන්නටද අවස්‌ථාව හිමි වේ. මෙහි සඳහන් කරන වරප්‍රසාද වරදානවලට වඩා තවත් බොහෝ දේ මේ සියලු දෙනාටම හිමි වේ.

ගමේ ගොඩේ උත්සව හා මඟුල්තුලා, අවමඟුල් මේ ආදි බොහෝ තැන්වලට සහභාගිවීම්, ආධාර ඉල්ලා පැමිණෙන අයට පිරිනැමීම් ආදිය සඳහා මේ ලැබෙන වැටුප හෝ දීමනා ප්‍රමාණවත් නැතැයි මැසිවිල්ලක්‌ද මේ මන්ත්‍රීවරු පාර්ශ්වයෙන් නැගේ. එහෙත් අප කල්පනා කරන්නේ, පළාත් සභාවකට පත්වූ පසු තමන්ගේ ගොඩ වැඩිකර ගන්නා ආකාරය දකින විට එය එතරම් සැලකිල්ලට ගත යුත්තක්‌ නොවන බවය. බොහෝවිට මන්ත්‍රී කාර්ය මණ්‌ඩලවල සිටින්නේ බිරිඳ, දුව, පුතා හෝ ළඟම ඥාතීන්ය. ඒ නිසා ඒ වැටුප් හා දීමනා බැරවන්නේද මන්ත්‍රීවරුන්ගේම සාක්‌කුවටය. මෙය සියල්ලන්ටම පොදු වූ තත්ත්වයක්‌ නොවේ. මෙවැනි සඳහන් කිරීම් කෙනකුගේ කෝපයට වුවද හේතුවන්නට හැකිය. එහෙත් මේ ආකාරයේ වැටුප් වර්ධක හා දීමනා සියල්ල ලබාගත් තත්ත්වයක්‌ තුළදීත් මේ පිරිස, රටට, ගමට කර ඇති සේවය කුමක්‌ද යන්න ගැටලුවක්‌. පළාත් සභා හැඳින්වෙන්නේ "සුදු අලියෙකු" ලෙසය. පළාත් සභා ක්‍රමය රටට නොගැලපෙන ක්‍රමයක්‌ බවට මත පළවී තිබියදීත් මෙවැනි "සුදු අලි" හා "ඇත්ගොව්වන්" නඩත්තු කිරීමට රටේ ජනතාවගේ රුපියල දෙක නාස්‌ති කරන්නේ කුමකටද යන්න ගැටලුවකි.

පළාත් සභාවලින් බොහෝවිට කෙරී ඇත්තේ "තාර දැමීම" හා "කොන්ක්‍රීට්‌" දැමීම, කාණු කැපීම වැනි ජනප්‍රිය මට්‌ටමේ වැඩ කිහිපයක්‌ පමණි. ඒ හැරෙන්නට මේ පළාත් සභාවල බොහෝ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පසුගිය කාලය පුරාම දිගින් දිගටම ලැබුණේ එතරම් හොඳ ආරංචි නොවේ. සුපිරි වාහනයක සිට, සුපිරි දීමනා ලබන මට්‌ටමක සිට මේ බොහෝ මන්ත්‍රීවරුන් වැඩි වශයෙන් කර ඇත්තේ විවිධ දූෂණ, වංචාවලට හවුල්වීමත් "ගුස්‌ති" ඇල්ලීමත් පමණි.

කවුරුන් කෙසේ කීවත් නිසි විමර්ශනයක්‌ කළහොත් මේ වැනි ඇමැත්තන් සිය වැටුප් හා දීමනා ද ඉක්‌මවා යන තරමේ වියදමක්‌ දරමින් සුඛෝපභෝaගී ජීවිත ගත කරන බව නොරහසකි. ඉහළ සිට පහළ මට්‌ටම දක්‌වා වූ සියලු දේශපාලනඥයන් මේ තීරු බදු රහිත කාර් ලබාගන්නට ගන්නා උනන්දුව එම රථ විකුණා දමන්නටද දක්‌වන බව නොකිවමනාය. යුද්ධය පැවති වකවානුවේ "දයා මාස්‌ටර් නම්" ත්‍රස්‌තවාදියා කොළඹට පැමිණියේ ඉන්ටර්කූලර් වර්ගයේ සුපිරි මෝටර් රථයකිනි. එය එම වකවානුවේ උතුරු මැද පළාත් සභාවේ ඇමැතිවරයකු සතු වාහනයක්‌ බව කියෑවිණි. එය තීරුබදු රහිතව ආනයනය කළ එකකි. එය එකල කොටි ත්‍රස්‌තවාදීනට රුපියල් ලක්‍ෂ ගණනකට විකුණා දමා තිබිණි. මේ බොහෝ දේශපාලනඥයන් අමතර ආදායම් ඉපැයීමේ මාර්ගය විවර කර ගැනීමට තමන්ට ලැබෙන වරප්‍රසාද භාවිතා කරන බවට හොඳම උදාහරණ ලෙස එය දැක්‌විය හැකිය.

අප විශ්වාස කරන්නේ ජනතාවට සේවය කරන්නට මේ මොහොත වන විටත් පළාත් සභාවල මැති ඇමැතිවරුන්ට ලැබෙන දීමනා වරප්‍රසාද ප්‍රමාණවත් බවය. තීරු බදු රහිත සුඛෝපභෝගී රථ වෙනුවෙන් වෙහෙස වන්නවුන් "යතුරුපැදියකින්" ජනතාව හමුවට ආ දවසක්‌ අපට මතක නැත. ඔවුන් දැනටත් පැමිණෙන්නේ සුඛෝපබෝගී වාහන වලය. "ඒත් මදිවීමේ" මේ කරුමය ජනතාව පිට බදු බර ලෙස පැටවෙන බව විවාදයක්‌ නැත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all