Photobucket

Sunday, March 10, 2013

‘ දිවි නැඟුම’ අවුරුදු පොළ 350 ක් රටපුරා

අවුරුදු සමයේ පාරිභෝගිකයින්ට පහසු මිලට ඔවුන්ගේ අවශ්‍යතා අනුව භාණ්ඩ ලබා ගැනීමට සහ ග්‍රාමීය නිෂ්පාදකයින් දිරිමත් කිරීමට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 324 ක ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් දිවි නැඟුම අවුරුදු පොළවල් 350 ක් පැවැත්වීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් කටයුතු යොදා තිබේ.

අපේ‍්‍රල් මස 05 වන සිකුරාදා සිට 12 වන සිකුරාදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පැවැත්වෙන මෙම දිවි නැඟුම අවුරුදු පොළවල් මඟින් අවුරුද්දට අවශ්‍ය රෙදිපිළි, සහල්, පොල්, නැවුම් එළවළු සහ පලතුරු, දේශීය කැවිලි, ධාන්‍ය වර්ග, විවිධ පැළ වර්ග, කුළුබඩු, විසිතුරු මසුන්, ඖෂධ පැළ, සත්ත්ව නිෂ්පාදන මෙන්ම දේශීය කර්මාන්තකරුවන් ගේ විවිධ භාණ්ඩ සහන මිලට පාරිභෝගිකයන්ට දිවි නැඟුම අවුරුදු පොළේ දී ලබාගත හැකි වේ.

රටේ ආහාර ස්වයංපෝෂිත බව තහවුරු කරමින් සුරක්ෂිතභාවය සෑම පුරවැසියෙකුටම ලබාදීම සඳහා ලාංකීය නිෂ්පාදන ස්වයංපෝෂිතව නඟා සිටුවීමට මෙම දිවි නැඟුම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන අතර පාරිභෝගිකයන්ට සුව පහසුවක් සහ ස්වයං රැකියාලාභීන්ට අත්වැලක් සපයමින් නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙම දිවි නැඟුම අවුරුදු පොළ මඟින් තව තවත් වැඩිදියුණු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රාදේශීය මට්ටමෙන් දිවි නැඟුම දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට දිවි නැඟුම අවුරුදු පොළවල් සමඟ සම්බන්ධ වීමට ළඟම සිටින ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඉල්ලා සිටී.

දේශීය කර්මාන්ත නංවාලීමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ හා අවුරුදු සමය තුළ ජනතාවට අවශ්‍ය සියලුම භාණ්ඩ එකම වහළක් යටින් සහන මිලකට ලබා ගැනීමේ අවකාශය සලසා දීමේ අරමුණෙන් දිවි නැඟුම ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන මෙම දිවි නැඟුම අවුරුදු පොළ හරහා මෙවර හාල්, පොල්, ඛ්රපිටි, පරිප්පු, ධාන්‍ය වර්ග, සැමන් ආදි වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් සුවිශේෂී අඩු මිලකට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම දිවි නැඟුම අවුරුදු පොළවල් සම්බන්ධීකරණය කරනු ලබයි. එමෙන්ම මෙම වැඩසටහන සඳහා පළාත් පාලන, කෘෂි කාර්මික, කුඩා කර්මාන්ත සහ කර්මාන්ත අංශවලට අදාළ රාජ්‍ය ආයතනයන්හි සෘජු දායකත්වය දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමෙන් දැනටමත් ලබාදීමට තීරණය කර තිබේ.

දිවි නැඟුම අවුරුදු පොළ පැවැත්වීමේ අරමුණ වනුයේ ප්‍රදේශයේ නිෂ්පාදිත කෘෂිකාර්මික නිෂ්පාදන, වෙළෙඳ භාණ්ඩ, අත්කම් භාණ්ඩ සහ වෙනත් ගෘහ ආශ්‍රිත නිෂ්පාදකයින්ට තම වෙළෙඳ භාණ්ඩ අතරමැදියන් ගේ මැදිහත් වීමකින් තොරව සෘජුවම පාරිභෝගිකයන් වෙත අලෙවි කර ඔවුනගේ නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් ලබාදීමටය. එමෙන්ම අවුරුදු සමයේ සිදුවන මිල වැඩිවීම් පාලනය කර වෙළෙඳ පොළ මිල ස්ථාවර කරමින් සාධාරණ මිලට පාරිභෝගිකයාට භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව සැපයීම ද තවත් අරමුණකි. 

මෙම දිවි නැඟුම පොළවල් සඳහා ග්‍රාමීය නිෂ්පාදකයින් 10,000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වන අතර පවුල් ලක්ෂ 30 ක පමණ පාරිභෝගිකයන් පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන දිවි නැගුම ජාතික වැඩසටහන මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති යටතේ නිපදවූ නිෂ්පාදන අතිරික්තය අලෙවි කර ගැනීම සඳහා ද මෙමඟින් අවස්ථාවක් සැලැසේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all