Photobucket

Tuesday, February 19, 2013

නවගමුවේ ගඟ අයිනේ ඝාතනයක් වෙද්දි අපරාධකරු අල්ලයි

සිය බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගිය මිතුරා නවගමුවේදී ඝාතනය කර මළ සිරුර කැළණි ගඟට විසි කරන්නට සූදානම් වූ අවස්ථාවේ නවගමුව පොලිසිය විසින් අපරාධකරුවා  (18) රාත්‍රි එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය ලක් වූ පුද්ගලයා මාතර දෙයියන්දර පළාතේ පදිංචි ප්‍රදීප් රාජපක්ෂ නැමැත්තෙකි. ඔහු විවාහකයෙකි. දෙදරු පියෙකි. හෙතෙම ගොඩනැගිලි කොන්ත්‍රාත් වැඩවල නිරත සිට ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේය. නැවතී සිට ඇත්තේ බොරැල්ල, සර්පන්ටයින් පාරේ පිහිටි නිවසකය. මෙම නිවස අයත් වූයේ ත්‍රිරෝද රථ රියදුරෙකුටය. ඔහු සුදත් නැමැත්තෙකි.රාත්‍රියේ බොරැල්ලේ ත්‍රිවීල් ගාලක රථය නවතා ගෙන හයර් යාම ඔහුගේ වෘත්තියයි. මේ නිසා නිවසේ රාත්‍රියේ රැඳී සිටි ප්‍රදීප් හා සුදත්ගේ බිරිඳ වූ හේමමාලි අතරේ අනියම් සම්බන්ධයක් හට ගත්තේය. මෙම සම්බන්ධය වැඩ දිනක් යාමට මත්තෙන් සුදත්ගේ කනටද ඇතුළු විය. 

ඊට ප්‍රධාන හේතුවක් වූයේ ප්‍රදීප් හා හේමමාලි දිවා කා‍ලයේදී ඇතැම් විට සුදත්ගේ ත්‍රිවිලරයෙන්ම හයර් යාමයි. මෙයින් සුදත් දැඩි ලෙස කිපුන අතර නිසි අවස්ථාව පැමිණෙන තුරු ඔහු කල් මැරුවේය. බිරිඳගෙන් නීත්‍යාණුකූලව වෙන් වන්නට නඩුවක් පවරා තිබූ සුදත් ඒ අතරේ තමන්ගේ මිතු දමට එරෙඑහි වූ ප්‍රදීප් ඝාතනය කරන්නට තීරණය කර තිබිණ. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ නවගමුව,රණාල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පිටුපස කැළණි ගඟට ආසන්නයෙන් තිබෙන ස්ථානයකි. එම හෝටලය සහ ඒ අවට ගැන යම් දැනීමක් සුදත් සතුව තිබිණ. ඒ නිසා ඔහු මන්නයක් රැගෙන  (17) එම ස්ථානයට ගියේය. හෝටලයේ හිමිකරුගේ බිරිඳ මියගොස් ඇය භූමදාන කර තිබුණේ හෝටලය පිටුපස කොටසේ ගඟ අද්දරය. එතැන තිබූ සොහොන් කොතේ මන්නය සඟවා සුදත් පෙරළා බොරැල්ලට ආවේය. පසුදින සුදත්, ප්‍රදීප්ට කීවේ ලාබයට ගල්,වැලි ලබා ගන්න ස්ථානයක් තමන් දන්නා බැවින් එම ස්ථ‍නයට යාමට පැමිණෙන ලෙසයි. ඒ අනුව ප්‍රදීප් සිය ත්‍රිවීලරයේ නංවාගත් සුදත්  (18) රාත්‍රි 7.30 ට පමණ නියමිත ස්ථානයට පැමිණියේය. 

හෝටලය පිටුපස කොටසට ප්‍රදීප් කැඳවා ගෙන ගිය සුදත් තව ටික වේලාවකින් ගල්,වැලි අලෙවි කරන්නන් එම ස්ථානයට පැමිණෙන බැවින් මඳක් සිටින ලෙස දැන්වීය. ඒ අනුව නුදුරින් තිබූ ස්ථානයක ප්‍රදීප් හිඳ ගත්තේය. සොහොන් කොතේ සඟවා තිබූ මන්නය රැගෙන ආ සුදත් ඉන් වේගවත් ප්‍රහාරයක් ප්‍රදීප්ගේ ගෙළට එල්ල කළේය. ප්‍රදීප් එතැනම ජීවිතක්ෂයට පත්විය. සුදත් නොදත් නමුත් මේ සිද්ධිය මුල සිටම බලා සිටිය පුද්ගලයා වූයේ එම ස්ථානයේ පිහිටි හෝටයේ අරක්කැමියාය. සුදත් රැගෙන ආ දිගු පොලිතින් කවරයට මියගිය ප්‍රදීප්ගේ සිරුර ඇතුළු කරන්නට උත්සහ දරන මොහො‍තේ අරක්කැමියා දිවගොස් මෙම අපරාධය ගැන හෝටල් හිමියාට දැනුම් දුන්නේය. හෙතෙම වහාම පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා ඝාතනයක් සිදුවන බව දැනුම් දුන්නේය. 

එම අවස්ථාවේ නවගමුව පොලිසියේ ජීප් රථයක් ඒ අවට සැරිසරමින් තිබිණ. ක්ෂණිකව පොලිස් ජීප් රිය එම ස්ථානයට පැමිණි මොහොතේ සුදත් මන්නය කැළණි ගඟට විසිකර දුවන්නට ප‍ටන් ගත්තේය. පොලිස් නිලධාරින් අවට ජනතාවට කෑ ගසා පැන යන සැකකරු අල්ලන්නැයි කීහ. අවට සිටි පුද්ගලයන් සුදත් ක්ෂණිකව වට කොට අල්ලා පොලිසියට බාර දුන්හ. සිද්ධිය පිළිබඳ නවගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මරණ පරීක්ෂණය සිද්ධිය වූ ස්ථානයේ දී  (19) උදේ පැවැත්විණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all