Photobucket

Sunday, February 24, 2013

ජිනීවා සමුළුව

22 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව (25 දා) ජිනීවා නුවරදී ආරම්භ වේ. ඒ සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ මෙම 25 දා ජිනීවා බලා යනු ඇත.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව, දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන සහ කොටි ඩයස්‌පෝරාව එක්‌වී ක්‍රියාකරන බව අනාවරණය වී ඇත.

මේ නිසා ශ්‍රී ලංකාව බරපතළ තත්ත්වයකට මුහුණ පා තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‌ෂාවට සෘජුව මැදිහත්වෙමින් ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවට ස්‌විට්‌සර්ලන්තය, දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමයද සහාය දැක්‌වීමට ඉදිරිපත්වී තිබේ.

මෙම ඇමරිකානු යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් බවට පත්කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව දන්වා ඇත.

එහෙත් අධිකරණ සහ ආරක්‌ෂක අංශවලට සම්බන්ධ නිලධාරීහු දස දෙනෙක්‌ දැනටමත් ජිනීවා වෙත ගොස්‌ තිබේ.

මාර්තු 11 සහ 12 යන දෙදින තුළ පැවැත්වෙන මානව හිමිකම් සමුළු සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන විවාදය ද මාර්තු 15 වැනි දින ශ්‍රී ලංකාවට අදාළ විශ්ව කාලාන්තර සමුළු වාර්තාව ගැන වූ විවාදය ද පැවැත්වේ.

මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වන කොටි ඩයස්‌පෝරාවේ නියෝජිත කණ්‌ඩායම සම්බන්ධව ද දැඩි අර්බුදයක්‌ ඇති වී තිබේ.

අන්තර්වාර ඊළාම් ආණ්‌ඩුවේ ප්‍රධානි විශ්වනාදන් රුද්රකුමාරන්, මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ වෙත හදිසි ලිපියක්‌ යවමින් ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් කප්පම් ගන්නා ඊලම් කණ්‌ඩායමකට මානව හිමිකම් සමුළුව නියෝජනය කිරීමට ඉඩ නොදෙන මෙන් ඉල්ලීමෙන් එම අර්බුදය ගැන තොරතුරු හෙළ වී ඇත.

තමා එම සමුළුවට නියෝජිතයන් පස්‌ දෙනකු නම්කර ඇතැයි හෙතෙම එම ලිපියෙන් දන්වා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රටවල් රැසකට කරුණු යොමු කිරීමට රුසියාව ඉදිරිපත් වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all