Sunday, February 24, 2013

කුණු කාණු නැත්නම්, බේරේ ලස්‌සනද කෙතරම්

කොළඹ නගරය අලංකාර වී ඇත්තේද අවලස්‌සන වී ඇත්තේද "බේරේ" වැව නිසාය. මේ මොන හතර බීරි කතාවක්‌දැයි ඔබට හිතෙනු ඇත. සැබෑය. කොන්ක්‍රීට්‌ වනාන්තරයක්‌ බඳු කොළඹ නගරයේ රළු - පරළු දර්ශන තලයෙන්ද, රථවාහනවල ගොරහැඩි නදින් මෙන්ම විෂ වායු දූෂණයෙන්ද බැට කන කොළඹ නගරයට පිටතින් එන හා නගරය තුළ දිවිගෙවන ජනයාට නෙතට රසඳුනක්‌ වන්නේද, මනසට සැහැල්ලුවක්‌ ගෙන දෙන්නේද බේරේ වැවයි. එසේම නගරයේ හෝටල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික සමාගම්, කඩපිල්, නිවාස යනාදී දහසකුත් එකක්‌ ගොඩනැඟිලිවල කුණු කාණු හරවා ඇති බේරේ වැවෙන් නැඟෙන දුර්ගන්ධය චිත්ත පීඩාවට හේතුවක්‌ වන්නා සේම පරිසර ගැටලු රැසක්‌ නිර්මාණය කරයි. එසේම, අපද්‍රව්‍ය බැහැරලන ස්‌ථානයක්‌ බවට කලක පටන් පත්ව තිබූ මෙම අගනා ජල සම්පත තුළ පොල්කෝම්බ, ප්ලාස්‌ටික්‌ බෝතල හා අපද්‍රව්‍ය මෙන්ම වැසිකිළි කැසිකිළි හරවා ඇති බවද අප කලක පටන් දන්නා කාරණයකි. එක්‌ අතකින් බේරේ අපට සම්පතක්‌ සේම, අවලස්‌සන කසළ බැහැරගත ස්‌ථානයක්‌ වී ඇත්තේද එලෙසිනි.

එහෙත් මේ කතාව වලංගු වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. වත්මන් රජය මගින් කොළඹ නගරය පරිසර හිතකාමී නගරයක්‌ ලෙස සංවර්ධනය කිරීමේදී බේරේ වැවේ තත්ත්වයද වැඩිදියුණු කර එය කොළඹ නගරයට ඇති සැබෑම සම්පතක්‌ ලෙස හඳුනාගෙන සංවර්ධනය කිරීමේ කාර්ය දැන් රජය (නාගරික සංවර්ධන අධිකාරිය) මගින් ඉටුකරනු පෙනේ. එබැවින්ම "බේරේ" තවත් කෙටි කලකදී කොළඹ නගරයේ ජලජ උද්‍යානය ලෙස හැඳින්වෙනු ඇතැයි විශ්වාසය පළකළ හැකිය.

සැබැවින්ම බේරේ වැව කොළඹ නගරයට සම්පතකි. අද එය ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් පරිසර නිකේතනයකි. ජලජ කුරුල්ලන් රැසක්‌ මෙය ආහාර බිමක්‌ සේම ආරක්‍ෂිත නවාතැනක්‌ වශයෙන්ද සලකා දිවි ගෙවති. ඒ අතර විවිධ මාදිලියේ මත්ස්‍යයන්, කබරුන්, තලගොයින්, දිය නයින් වැනි උරගුන්, උභයජීවීන් හා අඳුන් දිවියා, මුගටියා, කලවැද්දා, මීයන් විශේෂ වැනි ක්‍ෂීරපායී සතුන්ද වෙති. ජලජ වාසී කුරුල්ලන්ට අමතරව වැව් ඉවුරේ හා ආශ්‍රිත ප්‍රදේශවල රුක්‌වාසී කුරුල්ලන්ද බොහෝමය. සියලු සතුන් අතරින් ජලචර කුරුල්ලන්ට විශේෂ තැනක්‌ හිමිවනුයේ නෙක විධ හා නෙක වර්ණ රටා සහිත මෙම කුරුල්ලන් ජලාශ්‍රිතව සැරිසරන විට එය දකින කාගේත් නෙත සිත පිනා යන නිසාය. දැවැන්ත වල් හංසයන් හෙවත් තිත්හොට පැස්‌තුඩුවන්, කරවැල් කොකුන්, අළු කොකුන්, රූ සහ කණ කොකුන්, දියකාවුන්, ළිහිණියන්, මහ සුදු කොකුන්, කුඩා සුදු කොකුන් හා ගව කොකුන්, ඇඹල කොකුන් හෙවත් ලතුවැකියන් යනාදී කුරුල්ලන් රැසක්‌ බේරේ වැවට ජෛව විද්‍යාත්මක වටිනාකම්වලට එහා ගිය සුන්දරත්වයක්‌ එක්‌ කරයි.

එසේම සංචාරක ආකර්ෂණීය ස්‌ථානයක්‌ ලෙසද, වැසි වතුර රඳවාගන්නා පහත් (තෙත්) බිමක්‌ ලෙසද, ගංවතුර පාලනය කරන ස්‌ථානයක්‌ ලෙස මෙන්ම කලකට ගිනි ගහන කොළඹ නගරයට සිසිලස කැන්දන ජලාශයක්‌ ලෙසද බේරේ වැව මහත් වූ උපකාරයක්‌ කොළඹ ජනයාටත් කොළඹ පරිසරයටත් සිදුකරයි. නෙත පිනවන සුන්දරත්වය හා ගැඹුරු - ත්‍රිමාන පරිසරයක්‌ බැවින් මිනිසාගේ ආතතිය දුරලා මනස එකලස්‌ කරන්නන්ටද බේරේ වැව ඉතා කදිම ඖෂධයක්‌ සේ හැඳින්වීම නිවැරැදිය. මේ කොයි දේටත් වඩා සමහරුන්ට මෙය කදිම කසළ රඳවනයකි. අපද්‍රව්‍ය බැහැර කළ හැකි ස්‌ථානයකි. නොහොත් කුණු ගොඩකි. මේ කොයි ආකාරයෙන් ගත්තද බේරේ වැවේ වැදගත්කම අගය කළ හැකිය.

එහෙත් කොළඹ නගරයේ විවිධ හැඩතල අතර නිර්මාණය වුණු මෙම තෙත් බිම් පරිසරය හරිහැටි දියුණු කර මානව යහපතටම යොදාගන්නේ නම් ජලජ නගරයක්‌ සේ ලෝ ප්‍රකට ඉතාලියේ වැනීසියටත් වඩා ප්‍රයෝජනවත් ලෙස හා අලංකාරවත් ලෙස කොළඹ නගරය නිර්මාණය කළ හැකි බව අපගේ විශ්වාසයයි. අතීතයේදී මෙන් පුත්තලමේ සිට ඕලන්ද ඇළ දිගේ මීගමුවටත්, මීගමු කළපුව සිට හැමිල්ටන් ඇළ දිගේ කැලණිගඟටත්, කැලණිගඟෙන් කොළඹ නගරයට දිවෙන (අද කුණු) ඇළ මාර්ග දිගේ කොළඹ නගරය තුළට හා බේරේ වැවටත්, එතැනින් දියවන්නාව දක්‌වා බෝට්‌ටු සේවාවකින් යන්නට හැකියාව ඇත්නම් මේ රටේ සංචාරක කර්මාන්තය පමණක්‌ නොව, ප්‍රවාහන දුෂ්කරතාව සහ මාර්ග තදබදයද අවම කරමින් ජනජීවිතයද සැහැල්ලු කරමින් ආශ්චර්යවත් නගරයක්‌ ගොඩනැගිය හැකි නොවේද? වත්මන් රජයේ කොළඹ නගර සංවර්ධනය යටතේ එම අවස්‌ථාව යළිත් මෙරට ජනතාවට උදාවන බව පෙනෙන්නට තිබේ. එවන් දිනයක්‌ උදාවනතුරු අපි ඇඟිලි ගනිමින් සිටින අතර, බේරේ සුන්දරත්වය මෙන්ම එහි පැවැත්මට බලපාන අභාග්‍ය සම්පන්න කරුණුද නිරීක්‍ෂණය කරනු වස්‌ බේරේ තොරතුරු ගවේෂණයක නියෑළෙන්නටද පසුගියදා අපි එහි බෝට්‌ටු සංචාරයකට එක්‌වීමු.

බේරේ වැවේ බෝට්‌ටු සංචාරය සඳහා ඉවහල් වූ තවත් ප්‍රධාන කාරණයක්‌ද තිබිණි. එනම් දුම්රියෙන් දකුණු පළාතේ සිට කොළඹට එනවිට කොල්ලුපිටිය දුම්රිය ස්‌ථානයෙන් පසුව අපට හමුවන බේරේ වැව් තලයේ මෙන්ම ඒ ආශ්‍රිතව මහාමාර්ගවල සංචාරය කරන විටදීත් අපට දක්‌නට ලැබෙන මන බඳින කුරුලු සම්පත් දැක හඳුනාගැනීමත්ය.

ගාලු මුවදොරදී අපට හමුවන බේරේ වැවේ වාන් දොරටුව හෙවත් බේරේ බේසම කුරුල්ලන් ගැවසෙන ප්‍රධාන ස්‌ථානයකි. එහෙත් ඒ දෙපස පිහිටා ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශ ගොඩනැඟිල්ල හා ජනාධිපති ලේකම් කාර්යාලය යන රටේ ප්‍රධානතම ආයතන දෙකකි. එසේම ආරක්‍ෂක අමාත්‍යාංශයට යාබදව බේරේ වැවට මුහුණලා ඇත්තේ යුද හමුදා මූලස්‌ථානයයි. එසේම එම ප්‍රදේශයේදී බේරේ වැවේ ආරක්‍ෂාව හා අයිතිය භාරව කටයුතු කරන්නේ යුද හමුදාවයි. එනිසාම බේරේ වැවේ සුන්දරත්වය බලන්නට යන චාරිකාව සඳහා පළමුව අපට විශේෂ අවසරයක්‌ ලබාගත යුතු විය. ඒ සඳහා අප ලිත අවසරයක්‌ ඉල්ලා සිටියේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙනි. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, එහි හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, එම සහායක නිලධාරී කර්නල් මිලාන් අතුකෝරළ යන මහත්වරු ඒ සඳහා ඉහළම සහයෝගය අප වෙත පළකරමින් අප වෙත අවශ්‍ය බෝට්‌ටු පහසුකම් හා මඟපෙන්වීම ලබාදෙන ලෙස යුද හමුදා මූලස්‌ථානය වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව දිනය තීන්දු කරගත් පරිදි අපි බේරේ වැවේ යුද හමුදාව පාලනය කරන කොටසේ (සම්පූර්ණ වැවේම නොවේ) සංචාරයට එක්‌ වූයේ උදැසන 8 ට පමණය. එදින තරමක වැහි අඳුර සහිත දිනයක්‌ වූ බැවින් වැවේ ඉතා හොඳ ජලජ කුරුල්ලන් ගහනයක්‌ දකින්නට ලැබිණි. බේරේ බේසම ප්‍රදේශයේ සුදු කොකුන් වර්ග රංචු වශයෙන් දැකගන්නට ලැබුණු අතර තැන තැන ජලතලය මත පිහිනා ගිය වල්තාරාවන් හෙවත් තිත් හොට පැස්‌තුඩුවන් වැව් තලයට එක්‌ කළේ අපූරු චමත්කාරයකි. අවම තරමින් මෙවන් පැස්‌තුඩුවන් 25 - 30 ක්‌ අපි බේරේදී නිරීක්‍ෂණය කළෙමු. එසේම කරවැල් කොකුන් කොරවක්‌කන්, අළු කොකුන්, රෑ කොකුන්, කණ කොකුන් මෙන්ම නෙක විධ දියකාවුන්ද නැරඹුවේත් ඡායාරූපයට නැඟවේත් ඔවුන්ට අඩි කිහිපය බැගින් සමීප වෙමින් ජීවිතයේ පළමු වතාවට තවත් නැවුම් අත්දැකීමක්‌ද සමගිනි. ඒ තරමටම මෙම ඇතැම් කුරුල්ලෝ මිනිස්‌ ඇසුරට සමීප වී සිටියහ. බේරේ බේසමේ සිට කොම්පඤ්ඤවීදියේ (හමුදා මූලස්‌ථානය) පාළම දක්‌වා වූ ප්‍රදේශය කුඩා වුවත්, එම ප්‍රදේශයේ පවතින නිස්‌කලංක බව ආරක්‍ෂාව මෙන්ම කුරුල්ලන්ට බාධාවකින් තොරව දිවි ගෙවීමේ හැකියාව නිසා වැඩි කුරුල්ලන් ප්‍රමාණයක්‌ දැකගත හැකිවිය. ඇතැම්හු ඒ අවට ගස්‌ මත කැදලි තනා පැටවුන් බෝකරනුද පෙනිණි.

එහෙත් අභාග්‍යයකට ඇත්තේ මේ සුන්දර බේරේ ජලය, හරිත ඇල්ගාවලින් තදබල ලෙස හරිත කළුපැහැයක්‌ ගැනීමය. එනම් ජලය දූෂිත වී ඇති බවය. බොහෝ තැන් දුගඳින් යුක්‌තය. වක්‍රාකාරව විහිදුණු ජලාශයේ ඇතැම් ප්‍රදේශවල පොලිතින් හා ප්ලාස්‌ටික්‌ බෝතල් හා අනෙකුත් අපද්‍රව්‍යද එකතුව තිබෙනු දැකගත හැකි විය.

මේ සියල්ලටම වඩා අශෝභන හා නිර්ලඡ්ජිත ක්‍රියාව සේ අපට දැකගන්නට ලැබුණේ රටේ නමගිය පෞද්ගලික සමාගමකින් හමුදා මූලස්‌ථානයේ දොරටුව අබියස පාලමට නුදුරින් ගාලු මුවදොර ප්‍රදේශයේ ප්‍රකට හෝටලයකින් හා සත්‍ය වශයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද බේරේ වැවට හරවා ඇති කුණු කාණුය. ඒ මගින් ගලාහැලෙන අපවිත්‍ර, දුගඳ ජලය, බේරේ වැව දූෂණයෙන් දූෂණයට පත්කරනු දැකගත හැකිවිය. එහි දුගඳ නැහැපුඬු හකුලුවා ලයි. මෙම කුණු කාණු නැත්නම් බේරේ මොනතරම් ලස්‌සනදැයි අපට හැඟී ගිය කාරණයකි. ඇත්තටම බේරේ වැවේ බෝට්‌ටු සවාරිය වින්දනාත්මකය. එහි සිට දකින කොළඹ නගරය චමත්කාරය. බේරේ වැවේ ජල තලය තුළින් දකින කොළඹ අහස සිඹින ගොඩනැඟිලිවල ප්‍රතිබිම්බයන් බේරේ වැවේ සංචාරක බෝට්‌ටු සේවාවක අවශ්‍යතාවය කෙතරම්ද යන්න අපට පසක්‌ කරවයි. එය එතරම් වශීකෘතය. එසේ නම් කොළඹ සංවර්ධනයට සමගාමීව ලහි ලහියේ බේරේ වැවේද ප්‍රතිනිර්මාණයක්‌ සිදුවිය යුතුය. කසළ ඉවත් කර ජලය පිරිසිදුකර අලුතින් අංග එක්‌වීම සැබෑම අවශ්‍යතාවකි. ඒ නැතත් ලන්දේසි යුගයේ තිබූ අයුරින් හෝ බේරේ බෝට්‌ටු ධාවනය දක්‌වා සංවර්ධනය වන්නේ නම් කොළඹ කොතරම් සුන්දර අද්විතීය නගරයක්‌දැයි අපට වැටහෙනු ඇත. එදින උදාවනතුරු අපි බලා හිඳිමු.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all