Photobucket

Wednesday, February 20, 2013

'බාර් නවත්වන්න බැරි - දේශපාලකයන් හිතවතුන්ට හම්බ කිරීමට බාර් දෙන නිසා'

සංඝ සමාජයේ නියෝජිත පිරිස මල්වතු පාර්ශ්වයේ මහානායක
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන් වහන්සේ වෙත සංදේශය භාර දෙමින්.


බාර් දීම නවත්වන්න බැරි දේශපාලකයන් නිසයි. දේශපාලකයන් ඔවුන්ගේ ආධාරකරුවන්ට හම්බ කරන්නට බාර් දෙනවා යි අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌වඛිත හිමියෝ ජාතික සංඝ සම්මේලනයේ නියෝජිත පිරිසකට (19 දා) පැවැසූහ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිත මහනුවර නගරයේ සුරාසල් වසා දැමීම සඳහා බල කරමින් ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආශිර්වාද පූජාවකට සහභාගි වූ ජාතික සංඝ සම්මේලනයේ නියෝජිත පිරිස තමන් වහන්සේ බැහැදුටු අවස්‌ථාවේ අස්‌ගිරි මහනාහිමියෝ එසේ පැවැසුහ.

ආශීර්වාද පූජාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රමුඛ නියෝජිත පිරිස ශ්‍රී දළදා මාලිගාවේදී මහ නාහිමියන් බැහැ දකිමින් ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින පූජා නගරය තුළ පවත්වාගෙන යන සුරාසල් නවයක්‌ වසා දැමීම සඳහා ජාතික සංඝ සම්මේලනය කරන ඉල්ලීමට ශක්‌තිය ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ.

අස්‌ගිරි මහනාහිමියෝ එහිදී මෙසේද පැවැසූහ.

"බාර් පවත්වා ගෙන යැම ගැන අපි කවදත් විරුද්ධයි. බාර් දෙන්නේ දේශපාලකයන් තමන්ට උදව් කරන අයට හම්බ කරගන්නට. ජනාධිපතිතුමා අකැමැති වුණත් දේශපාලකයන් තමන්ගේ ආධාරකරුවන්ට බාර් දෙනවා. ඔවුන් ලක්‍ෂ ගණන් හම්බ කරගන්නවා. අපි කොච්චර කෑ ගැසුවත් වැඩක්‌ වෙන්නේ නැහැ.

පාසල්, පන්සල් අසල බාර් තිබෙනවා. පාසල අසල සුරාසල් පවත්වා ගෙන යැම සුදුසු නැතැයි පැවැසූ උන්වහන්සේ සුරා සල් අසලින් ගමන් කිරීමට දරුවන් බිය වන බව ද පැවැසූහ.

"දැන් කාන්තාවනුත් මත්පැන් පානයට ලොල් වී සිsටිනවා. අම්මා තාත්තා දෙන්නාම මත්පැන් පානය කරන විට දරුවන් මත්පැනින් වළක්‌වා ගන්නේ කෙසේද?

සමාජය මේ පිළිබඳව විමසිලිමත් විය යුතු යෑයි ද පැවසූ අස්‌ගිරි මහ නාහිමියෝ ජාතික සංඝ සම්මේලනය ගෙන යන ව්‍යාපාරයට තමන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන බවද පැවැසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ, ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරයේ පූජනීය ස්‌ථාන සහ පාසල් ආසන්නයේ නීති විරෝධී සුරාසල් නවයක්‌ පවත්වා ගෙන යන බව පැවැසූහ.

පුෂ්පදාන බාලිකා විද්‍යාලය, ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලය, ශ්‍රී කතරගම දේවාලය, ශ්‍රී දළදා මාලිගාව, කැප්පෙටිපොල මහා විද්‍යාලය, මුස්‌ලිම් පල්ලිය, ශාන්ත සිල්වෙස්‌තර විද්‍යාලය, ක්‍රිස්‌තියානි පල්ලිය යන පූජනීය ස්‌ථාන හා පාසල් ආසන්නයේ මෙම සුරා සල් නීතියට පටහැනිව පවත්වා ගෙන යන බව අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

මෙම සුරා සල් එම ස්‌ථානවලින් ඉවත් කිරීමට දෙසතියක්‌ කල් දෙන බව ද උන්වහන්සේ කීහ.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප, ලේකම් දොඹගොඩ සාරානන්ද සහ ජාතික සංවිධායක පස්‌සරමුල්ලේ දයාවංශ යන හිමිවරුන්ගේ අත්සනින් යුතුව නිති විරෝධී සුරාසල් වසා දැමීම සම්බන්ධ සංදේශයක්‌ ද, මල්වතු අස්‌ගිරි මහනාහිමිවරුන් වෙත පිළිගන්වන ලදී.

ජාතික සංඝ සම්මේලනයේ නියෝජිත ස්‌වාමීන් වහන්සේ ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිමා මන්දිරයේදී ආශිර්වාද පූජාවකට ද සහභාගි වූහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all