Photobucket

Friday, February 22, 2013

මම අභියෝග ඔළුවට දාගන්නේ නැහැ

සීසීකඩ විසිරුණු සිතුවිලි අතරේ මොහොතින් මොහොත ගෙවී යන්නට මත්තෙන් ‘අපි කවුරුද?’ යන වග අපූරු ගීත පද වැලකින් හදවත් තුළට කතාකරන්නට උත්සාහ දරන තරුණයින් පිරිසකගේ හරි අපූරු ගීතයක් මේ දිනවල රූපවාහිනියෙන් විදුලියෙනුත් නිතරම රසවිඳින්නට ලැබෙනවා. මේ තරුණයන් පිරිස අතර දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ලාංකේය සංගීත රසික රසිකාවියන්ට සුපුරුදු ළෙන්ගතු හඬකුත් අපට හමුවුණා. ඔහු තමයි සංගීත් විජේසූරිය. ඔහුගේ මේ නවතම වෙනස ගැන කතා කරන්නට අප පිළිසඳරට ඔහු එකතු කරගත්තා.

’අපි කවුරුද?’ ‘වායෝ’ ගැනම කියැවෙන ගිතයක් ද?
නැහැ. මේ ගීතය ප්‍රචාරය වුණාම සුළු පිරිසක් එවැනි වැරදි මතයක හිටියා. එයාලා හිතුවේ මේ අපි කවුරුද කියලා හොයන්න ගීතයකින් කරන ඉල්ලීමක් කියලයි. නමුත් මේ ගීතයේ ඉතා ගැඹුරු අර්ථයක් තිබෙනවා. හැම දේම වෙනස් වෙන ලෝකයක උදේ ඉඳන් රෑ වෙනකන් තමන්ව, ඒ කියන්නේ මිනිස්සු ‘මම කවුරුද?’ කියලා හොයන්න යෙදෙන උත්සාහය තමයි ගීතයෙන් කියවෙන්නේ.

මෙවැනි ගීතයක් තෝරා ගත්තේ ඇයි?
අද බිහිවන බොහොමයක් නිර්මාණ ආදරය, විරහව, වැනි එකම රැල්ලකට සීමා වෙලා. ඉතින් වෙනසකටත් එක්කයි මෙවැනි ගීතයක් තෝරා ගත්තේ. මේ සංකල්පනාව නම් සේනක බටගොඩගෙයි.

මේ ගීතයට ඔබලා යොදාගෙන තිබෙන රූප රාමුවලත් වෙනසක් තිබෙනවා නේද?
ඔව්. මේ විෂුවල් එක නිර්මාණය වුණේ අපෙත් විඩියෝ ටීම් සංකලනයක් ලෙසයි. නමුත් මේ විෂුවල්ස්වල මූලික අදහස අපේ වීඩියෝ ටීම් එකටයි අයිති.

‘වායෝ’ සංගීත කණ්ඩායම හඳුන්වාදුන් ගීතය මෙය නේද?
‘වායෝ’ කණ්ඩායමේ පළවැනි ගීතය කිව්වොත් නිවැරැදි.

වසර ගණනාවක් ‘සනිධප’ සංගීත කණ්ඩායමේ හිටපු සංගීත් හිටිහැටියේම අලුත් සංගීත කණ්ඩායමක් බිහි කරන්නේ ඇයි?
මට කාලයක සිට ඉතා දැඩි උවමනාවක් තිබුණා එකෝස්ටික් ආරයේ සංගීතයකට එවැනි කණ්ඩායමකට. නමුත් ‘සනිධප’ කියන්නේ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට හුරු වූ සංගීත කණ්ඩායමක්. ඉතින් වසර ගණනාවක සිට ඔවුන් ගොඩනඟා ගත්ත ඔවුන්ටම ආවේණික වූ සංගීත, ශබ්ද අනන්‍යතාව වෙනස් කරන්නට මට උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා අලුත් පිරිසක් සමඟ මට අවශ්‍ය වූ ආරයේ සංගීත කණ්ඩායමක් ගොඩනඟා ගත්තා.

ඒ කියන්නේ ‘සනිධප’ කණ්ඩායමට ඔබ සමුදුන්නා?
නැහැ. තවමත් ඒ කණ්ඩායමේ වැඩ කටයුතු කෙරෙන්නේ මගේ අධීක්ෂණය යටතෙයි. නමුත් ලබන මාසයේ සිට ඒ කටයුත්තත් කණ්ඩායමේම කෙනෙකුට පවරන්නට මේ දිනවල සැලසුම් කරමිනුයි ඉන්නේ. මම ඒ තීරණය ගත්තේ සංගීත කණ්ඩායම් 2ක අධීක්ෂණ කටයුතු කරගෙන යෑම තරමක් අපහසු කාර්යයක් නිසා.

’වායෝ’ ඔබ ආරම්භ කරන්නේ නවකයන් පිරිසක් සමඟයි. මෙය ඔබේ ගමනට අභියෝගයක් නෙමෙයිද?
අභියෝගයක් කියන දේ මම කොයිම වෙලාවකවත් ඔළුවට දාගන්නේ නැහැ. වැඩේ හරියට කරන්න ඕනේ කියන අරමුණයි අපට තියෙන්නේ.

’වායෝ’ ටිකක් නුහුරු නමක් නේද?
ලෝකේ හැම දෙයක් ම හැදිලා තියෙන්නේ කොටස් හතරකිනුයි. ඒ ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි කියන හතරෙන් බව අප කවුරුත් දන්න දෙයක්. මෙයින් ‘වායෝ’ කියන්නේ වාතය නැතිනම් හුස්ම. ඉතින් මිනිසුන්ගේ හුස්ම පොද තමයි ‘වායෝ.

’වායෝ’ මඟින් ඔබ කරන්නට උත්සාහ කරන වෙනස?
ශබ්දයේ විශේෂිත වෙනසක් කිරීමයි අපේ මූලික අරමුණ. සංගීත ශබ්දවල වෙනසක් කිරීමට දැන් සුදුසුම කාලේ කියලයි මම හිතන්නේ. අනෙක එකම රැල්ලකට කොටු වෙලා සිටින අපේ සමාජයට විවිධ සංකල්ප ඔස්සේ ඔවුන්ගේ හදවත්වලට කතාකරන්නයි අපේ වෑයම.

සංගීත් අලුත් වුණේ ඇයි?
කොහොමටත් ඉපදුණ දා සිටම හැම මොහොතකම අපි පරණ වේගන යන එකයි ලෝක ස්වභාවය. ඉතින් මෙවැනි දේවල් තුළින් පමණයි අපට අලුත් වෙන්න පුළුවන්. ඉතින් පරණ වෙන මතක වෙනුවට අලුත් මතක එක්ක ජීවත්වීම හොඳයි නේ.

තරුණයන් හා එකතු වෙලා සංගීත්ගේ සුපුරුදු සංගීත ශෛලියෙන් මිදී දැන් ’’Rock’’ වෙලා කියලා මම කිව්වොත්?
සංගීත් කොහොමත් තරුණයි. සංගීතයේ විවිධ ශෛලීන් තිබෙනවා. බොහෝ වෙලාවට අපේ ප්‍රසංග නරඹන්න එන්නේත් එවැනි එක්තරා ශෛලියකට පමණක් කොටු නොවුණු රසිකයන් පිරිසක්. ඉතින් අපි හැමවිටම උත්සාහ ගන්නේ අපේ අනන්‍යතාව තුළ සිටිමින් රසික රසවින්දනය උදෙසා විවිධ ශෛලීන් භාවිත කරන්න. එවැනි අවස්ථාවලදී ‘රොක්’ වෙන්නත් වෙනවා.

ඔබේ මේ වෙනසට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
බලාපොරොත්තු වුණාට වඩා නම් ගොඩක් හොඳයි. නමුත් තවමත් බලාපොරොත්තු වුණු දේවල්වලින් සාර්ථක කරගන්න පුළුවන් වුණේ 75%ක් වගේ තමයි. මම එහෙම කිව්වේ අපේ මූලික බලාපොරොත්තුව ශබ්ද රසයේ වෙනසක් කිරීමයි. නමුත් ශබ්ද උපකරණ තවමත් අධ්‍යයන මට්ටමක තමයි පවතින්නේ.

’වායෝ’ පිරිසට ඔබේ පුතණුවනුත් ඇතුළත් නේද?
ඔව්. පුතා කෞශාන් ‘ඩ්‍රම්ස්’ පැත්තෙන් හොඳ තැනක ඉන්න නිසා එයාට අවස්ථාව ලබාදීලා තියෙනවා. නමුත් එයාට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මියුසික් ගැන. ඉතින් මම තවම ඔහුව මුළුමනින්ම කරළියට දාලා නැහැ.

ඉදිරියේදී මොනවගේ නිර්මාණ තුළින්ද ඔබලගේ වෙනස රසවිඳින්න පුළුවන් වෙන්නේ?
දැනට නව නිර්මාණ හයක් විතර ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේ වසරේ අගභාගයේ දී හෝ ඒවා එළිදක්වන්නයි දැනට හිතන් ඉන්නේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all