Photobucket

Saturday, February 23, 2013

සුරාජ් සමග සටනට රංජිත් සුදානම්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති තනතුරට සුරාජ් දන්දෙනිය මහතා හා හිටපු අතුරු කමිටු සභාපති මහාචාර්ය රංජිත් සිල්වා යන මහත්වරු තරග කිරීමට සුදානම්ව සිටිති.

 බැඩ්මින්ටන් සංගමයේ දැනට සභාපති තනතුරේ සිටින පරාක්‍රම බස්නායක මහතා මෙවර එම තනතුරට ඉදිරිපත් නොවන බව පවසයි. ඔහුගේ සහයෝගයද සුරාජ් දන්දෙනිය මහතාට ලබාදීමට තීරණය කොට ඇතැයි වාර්තාවේ.

වසර 2011දී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා වු සුරාජ් දන්දෙනිය මහතාට ක්‍රීඩා පනත අනුව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබී ඇත. එහෙයින් බැඩ්මින්ටන් නිලවරණයට ඉදිරිපත්වීමේ නීතිමය තත්ත්වය ඔහු සතුව පවතී. 

දැනට බැඩ්මින්ටන් ක්‍රීඩාව වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා බොහෝ පාර්ශවයන් කළ ඉල්ලීම් සලකා සභාපති තනතුරට තරග වදින බව දන්දෙනිය මහතා 'දිනමිණ'ට පැවැසීය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියන්, ප්‍රවීණයන් හා ක්‍රීඩා සමාජ කිහිපයක්ම කළ ඉල්ලීම් අනුව මේ තරගයට පැමිණි තමා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බවද ඒ මහතා පැවැසීය.

ලෝක බැඩ්මින්ටන් සංගම‍යේ ශ්‍රී ලංකා නියෝජිතයෙකු වන මහාචාර්ය රංජිත් සිල්වා මහතා පවසන්නේ ජාතික ශූරයෙකුද වු තමාට බැඩ්මින්ටන් පරිපාලනය ඉතා පහසුවෙන් කළ හැකි බවයි. පසුගිය සතියේදී ක්‍රීඩා සමාජ කිහිපයක්ම කැඳවා පැවැත්වු රැස්වීමකදී තමාට ඡන්ද ලබාදීම තහවුරු කළේ යැයි සිල්වා මහතා පැවැසීය.

මෙවර බැඩ්මින්ටන් නිලවරණයේ ලේකම් තනතුරට බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ ආරියනන්ද සිල්වා මහතා නාම ‍යෝජනා භාරදීමට සුදානමින් සිටී. ඒ මහතා කලක් බැඩ්මින්ටන් නියෝජ්‍ය ලේකම් තනතුරක් දැරීය.

පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී නිලුක කරුණාරත්න දැක්වු දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පිබිදීමක් ඇතිවු බවට මතයකි. ඒ සමගම ලෝක බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාව නඟා සිටුවීමට ආධාර කිහිපයක්ම පිරිනැමීමට ද තීරණය කළේය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය පැවැත්වෙන දිනය තවමත් ප්‍රකාශවී නොමැති අතර මේ 26වැනිදා පැවැත්වෙන බැඩ්මින්ටන් සංගම් විධායක කමිටුවේදී එම දිනය තීරණය කිරීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all