තේවනේසන්ගේ බෙල්ල බේරුණත් රපියල් කෝටියක්‌ම කොල්ල කාලා!
දහසකුත් එකක් දුක් කම්කටොලු මැදින් ජීවිතය ඇරඹු තේවනේසන් සුපිරි පොහොසතකු බවට පත්ව සිටියේය. වැල්ලවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විදේශ මුදල් මාරු කරන මධ්‍යස්‌ථානයක් ඇත. ඊට අමතරව තම හිතවතකු සමග එක්‌ව පිටකොටුව ප්‍රදේශයේද මුදල් මාරු කරන මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය තේවනේසන් දෛනිකව විශාල මුදලක් උපයා ගත්තේය.
දහසකුත් එකක් දුක් කම්කටොලු මැදින් ජීවිතය ඇරඹු තේවනේසන් සුපිරි පොහොසතකු බවට පත්ව සිටියේය. වැල්ලවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විදේශ මුදල් මාරු කරන මධ්‍යස්‌ථානයක් ඇත. ඊට අමතරව තම හිතවතකු සමග එක්‌ව පිටකොටුව ප්‍රදේශයේද මුදල් මාරු කරන මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය තේවනේසන් දෛනිකව විශාල මුදලක් උපයා ගත්තේය.

විදේශ මුදල් මාරු කරන මධ්‍යස්‌ථානය වෙත දෛනිකව ලැබෙන ඇමරිකන් ඩොලර්, පවුම්, යුරෝ පෞද්ගලික බැංකු වලින් රුපියල් නෝට්‌ටු බවට පත්කර ගැනීම ඔහු පුරුද්දක් ලෙස කළේය.
බැංකු වෙත ගොස් මුදල් රැගෙන ඒම සඳහා ඔහු කිසිදු දිනක ආරක්‌ෂාවක් ලබා ගත්තේ නැත.
තම රියෑදුරුද සමග මෝටර් රථයෙන් පැමිණෙන තේවනේසන් විදේශ මුදල් බැංකුව වෙත ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත්තේය. පසුව එම මුදල් ඔහු මෝටර් රථයෙන්ම රැගෙන යැම පුරුද්දක් ලෙස කළේය.
දීර්ඝ කාලයක සිට ඔහු මේ ක්‍රමය අනුගමනය කළ ද කිසිම දිනක කිසිවකුත් ඔහුගේ මුදල් කොල්ලකෑවේ නැත. මුදල් අස්‌ථාන ගත වූයේද නැත.
පසුගිය 12 වැනිදා දහවල් තේවනේසන් වැල්ලවත්තේ පිහිටි සිය ආයතනයෙන් පිටවූයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ප්‍රධාන ශාඛාව වෙත යන බලාපොරොත්තුවෙන්ය. ඔහු සිය රියෑදුරුද සමග බැංකුව වෙත පැමිණෙද්දී දහවල් 12.00 ට ආසන්න වී තිබිණි.
බැංකු කාර්ය මණ්‌ඩලය ද තේවනේසන් හොඳින් දන්නා හඳුනන නිසා විදේශ මුදල් මාරුකර ගැනීමට එතරම් කාලයක් මිඩංගු කිරීමට සිදු වූයේ නැත. විදේශ මුදල් මාරු කිරීමෙන් පසු ලබා ගත් රුපියල් කෝටියක මුදලත් රැගෙන තේවනේසන් සිය මෝටර් රථයට නැගුණේ හැකි ඉක්‌මනින් ව්‍යාපාරික ස්‌ථානය වෙත යන බලාපොරොත්තුවෙන්ය.
හොඳමට බඩගිනියි. අපි ඉක්‌මනට යමු......
ඔහු සිය ගෝලයාට අණ කළේය.
තේවනේසන් රැගත් මෝටර් රථය නවලෝක රෝහල පසුකර ගංගාරාම විහාරය දෙසට ධාවනය වන්නට විය.
ඒ වනවිට දහවල් 12.00 පසු වී තිබිණි. මුළු ප්‍රදේශයම ජනාකීර්ණය. දැඩි වාහන තදබදයක්‌ද පැවැතිණි. නවලෝක රෝහලේ රථ ගාලට ආසන්න මාර්ගයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටියේ පොලිස් නිලධාරියෙකි.
සුදු පැහැති හරස් පටියක් සහිත පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියා එකවරම තේවනේසන් ගමන්ගත් මෝටර් රථය නතර කළේය.
අපි මාර්ග නීති කඩ කළේ නැහැනේ ලයිසන් එක බලන්න වෙන්න ඇති තේවනේසන් සිතුවේය. මෝටර් රථය මාර්ගය අයිනට කර නතර කළේය. ගතවූයේ නිමේෂයකි. මෝටර් රථයට පිටුපාමින් ආ ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් එකවරම නතර කෙරිණි. ඉන් බැස ගත් හැඩි දැඩි තරුණයෝ දෙදෙනකු තේවනේසන් සිටි මෝටර් රථය දෙසට දිව ආහ.
අපි සී. අයි. ඩී. එකෙන් මෙතන කලබල කරන්න එපා. අපිට ඔයාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. කරුණාකරලා අපිත් එක්‌ක එන්න.
මෝටර් රථය අසලට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනා තේවනේසන්ට බොහොම ගරු සරු ඇතිව කතා කළහ.
මම වරදක් කරල නැහැනෙ මොකද බයවෙන්නේ. තේවනේසන් සිය ගෝලයාට කීවේය. ජීප් රථයේ පැමිණි තරුණයන් දෙදෙනා තේවනේසන්ගේ රියෑදුරුට පහරදී ඔහු ජීප් රථයට ඇද දමාගත්හ. ඒ අතර එක් අයකු තේවනේසන්ගේ රථයට නැගී එය පණගන්වා ගත්තේය. බැංකුවෙන් මාරු කළ මුදල් පර්සලයද එක් තරුණයකු තේවනේසන්ගෙන් උදුරා ගත්තේය.
කොහෙටද ඕගොල්ලෝ මාව අරගෙන යන්නේ. ඇයි මට මෙහෙම කරදර කරන්නේ. මොකක්‌ද මම කරපු වරද?
තේවනේසන් මෝටර් රථයේ සිටි නාඳුනන තරුණයන්ගෙන් විමසුවේය.
අපි තමුසෙව සී. අයි.ඩී. එකට අරගෙන යන්නෙ. තමුසෙගෙන් කටඋත්තර ගන්න තියෙනවා.
තරුණයා කෑගැසුවේය. තේවනේසන් නිසොල්මන් විය. ඔහු රැගත් මෝටර් රථය දෙමටගොඩ ගුවන් පාලම අසලට පැමිණ නතර කෙරිණි. මෝටර් රථය පසුපසින් ආ ඩිපෙන්ඩර් ජීප් රථයද ඒ ආසන්නයේම නතර කළේය. තමුසෙ නගිනවා ජීප් එකට මෙතන කලබල කරන්න ලෑස්‌ති වෙන්න එපා. එහෙම වුණොත් ප්‍රශ්න වැඩිවෙන්න පුළුවන්.
තරුණයන්ගේ අණට කීකරු වූ තේවනේසන් කිසිම කලබලයකින් තොරව ඩිපෙන්ඩර් රථයට ගොඩ වූවේය.
තමුසෙගෙ වාහනේ අපි පෑලියගොඩින් දානවා. පස්‌සේ ගිහිල්ලා ඒක අරගන්නවා. ජීප් රථයේ සිටි තරුණයකු තේවනේසන්ට කීවේය.
තමන් රැගෙන යන්නේ රහස් පොලිසියේ නිලධාරින් පිරිසක් නොවන බව ඒ වනවිටත් තේවනේසන්ට තේරුම් ගොස් තිබිණි. ඔහුගේ සිතට දැනුණේ මහා බියකි.
මේ මිනිස්‌සු මාව මරල දායිද? ඔහුට කිහිපවරක්‌ම සිතිණි. එහෙත් තේවනේසන් බියවූ බවක් නොපෙන්වා සිටීමට හැම විටම උත්සාහ කළේය. ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථය බොරැල්ල දෙසට ධාවනය වූ අතර තේවනේසන්ගේ මෝටර් රථය පැදවූ පුද්ගලයා එය පෑලියගොඩ ප්‍රදේශයට පදවා ගෙන ගියේය.
පැය කීපයක් තිස්‌සේ කොළඹ නගරයේ ස්‌ථාන කීපයක් වෙත යමින් කාලය කා දැමූ නාඳුනන තරුණයන් පිරිස අවසානයේදී තේවනේසන් රැගෙන කෝට්‌ටේ ප්‍රදේශයට ගමන් කළහ.
තමුසෙ මෙතනින් බැහැලා යනවා. වාහනේ පෑලියගොඩ පැත්තෙ තියෙනවා. අපි ගැන කාටවත් කියලා තිබුණොත් බලාගමු.
තේවනේසන් සහ ඔහුගේ රියෑදුරු ජීප් රථයෙන් පිටතට ඇද දැමූ නාඳුනන තරුණයෝ ඔහු සතුව තිබූ රුපියල් කෝටියක මුදලද කොල්ලකාගෙන පලා ගියහ.
තේවනේසන් දැඩි ලෙස අසරණව සිටියේය. කළ යුත්තේ කුමක්‌දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය. දෙනෝදහසක් දෙනා ගමන් කරන ජනාකීර්ණ ප්‍රදේශයකදී මහ දවල් සිදුවූ කොල්ලකෑම පිළිබඳව පැමිණිල්ල කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත ලැබිණි. පැමිණිල්ල ලැබෙන්නේ කොල්ලකෑම සිදුවී පැය දෙක තුනකට පසුවය.
ඒ සැණින් ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. එල්. රණවීර එහි ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ කටයුතු ඇරඹූහ.
කොල්ලකෑමට සම්බන්ධ වූ පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයා පිළිබඳව අපරාධ කොට්‌ඨාසය වෙත දැඩි අවධානයක් යොමු වී තිබිණි. එම පුද්ගලයා ඇත්තටම පොලිස් නිධාරියකුද එසේත් නැත්නම් නිල ඇඳුමින් සැරසුණු කොල්ලකරුවකු ද යන්න ප්‍රශ්නයක් මතුවී තිබිණි.
කොළඹ නගරය පුරා ආරක්‍ෂිත කැමරා පද්ධති (සී සී.ටී.වී.) සවිකර තිබියදී මෙවැනි කොල්ලකෑම් සිදු කිරීම බරපතළ ගැටලුවකි. මෙතරම් මුදලක් කොල්ල කාගෙන නිරුපද්‍රිතව පලායැම කොළඹ නගරයේ ආරක්‌ෂාවට බලවත් තර්ජනයකි.
එමෙන්ම මෙතරම් විශාල මුදලක් රැගෙන ඉතාම අනාරක්‌ෂිත ආකාරයට මහ මග ගමන් කිරීම අපරාධවලට අතවැනීමක් වැනිය.
ව්‍යාපාරිකයා පැහැර ගැනීම සිදු වූ ස්‌ථානයේ පෞද්ගලික ආයතනයක සවිකර තිබූ ආරක්‌ෂිත කැමරාවක එම පැහැරගැනීමේ දර්ශන සටහන්ව තිබිණි.
මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු එම දර්ශන ලබා ගත්හ. ඉදිරි පරීක්‌ෂණ සඳහා එය ඉතාම වැදගත් විය. පැහැර ගැනීමට ලක්‌වූ මෝටර් රථයද තොටළඟ ප්‍රදේශයේ අත හැර දමා තිබියදී පොලිසිය සොයා ගත්තේය. එහි සැකකටයුතු පුද්ගලයන්ගේ ඇඟිලි සටහන් කිහිපයක් සටහන්ව තිබියදී පොලිසිය සොයා ගත්තේය.
දෙනෝදාහක් දෙනා ගමන් කරන මාර්ගයේ සිදුවූ මේ මහා කොල්ලය පිළිබඳ කිසිදු තොරතුරක් සිකුරාදා (16 වැනිදා) වනතුරුත් ලැබී නොතිබිණි.
කොයිතරම් ආරක්‍ෂක විධිවිධාන යොදවා තිබුණද මාර්ග බාධක, ආරක්‌ෂිත කැමරා යොදා තිබුණද අපරාධකරුවන්ට රිසිසේ ක්‍රියා කිරීමට හැකිවීම පිළිබඳව පොලිසිය දෙවරක් සිතා බැලිය යුතුය.
කොළඹ නගරයට මෙතරම් ආරක්‍ෂාවක් ලබාදී තිබුණද එහි ඇති යම් යම් අඩුපාඩු වලින් අපරාධකරුවෝ ප්‍රයෝජන ගනිති. ආරක්‌ෂාවේ හිඩැස් ඇත්නම් එම ආරක්‌ෂාවෙන් පලක් නැත.
0 comments:
Post a Comment