Photobucket

Sunday, February 17, 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් සහ උප නායකයන් පත් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා සිදු කරන ලදී. අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉවත් කර සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවක් පත් කළ අතර, ඔවුන්ගේ පළමු කාර්යය වූයේ නව නායකයන් පත්කිරීම සහ එළැඹෙන බංගලිදේශ තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමයි.
සනත් ජයසූරිය සභාපතිත්වයට පත්වීමත් සමගම බොහෝ දෙනා අතර ප්‍රශ්නයක් වූයේ ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කිරීමට පැමිණි පුද්ගලයකු ලෙසයි.

ක්‍රීඩා කරන කාලයේ ඇතිවූ නොයෙක් මත ගැටුම් හේතුවෙන් ඔහු සංගා සහ මහේල ඉවත් කිරීමට ඉඩකඩ ඇති බවත් ඇන්ජලෝට නායකත්වය නොදෙන බවත් වාර්තා පළවී තිබුණි.

එහිදී සමහර මාධ්‍ය කෙළින්ම පළකර තිබුණේ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවේ මීළඟ ටෙස්ට් නායකයා වන බවයි.

එහෙත් නායකත්වයට සුදුසු ‍‍‍ජ්‍යෙෂ්ඨ මෙන්ම නායකයන් විවේක ගත් අවස්ථාවල සාර්ථකව ශ්‍රී ලංකා පිල මෙහෙයවා ඇති මැතිව්ස් නායකත්වය හිමිවිය යුතු බවත්, චන්දිමාල් අත්දැකීම් ලබා ගැනීමට පෙර ඔහු යෙදවීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවිය හැකි බවත් අපි පෙන්වා දුන්නෙමු.

මෙහිදී නායකත්වය පිළිබඳව සහ තෝරාගනු ලබන කණ්ඩායම් පිළිබඳව නොයෙක් නොයෙක් මත පළවුවද අවසානයේ පසුගිය 14දා නායකයන් මෙන්ම ටෙස්ට් කණ්ඩායමද ප්‍රකාශයට පත් වූයේ සියලුම ක්‍රීඩා ලෝලීන්ට සතුටුවිය හැකි ආකාරයටයි.

කෙටියෙන්ම කියනවා නම් “සනා හොඳ වැඩක් කරලා” යැයි කීමේ අවස්ථාව මාධ්‍යවේදීන්ට උදා විය.
ක්‍රිකට් ගහපු සනාට සහ දේශපාලන සනාට වඩා තේරීම් කමිටු සභාපති සනාට වගකීමක් ඇති බව ඔහු වටහාගෙන ඇතැයි මෙම තේරීම් දෙස බලන විට අපිට සිතිය හැකිය.

ඔහු පරණ කෝන්තර තරහ, මරහා සහ යාලු මිත්‍රකම් අමතක කර රටේ ක්‍රිකට් දියුණු කිරීමේ අවංක ච්ෙතනාවෙන් මෙම කාර්යයට අතගසා ඇතැයි අපිට සිතේ. එහෙත් එහි ඇති අවංකභාවය දන්නේ සනාම පමණකි.

සනා ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ට කිසිවක් නොකළ බවත්, නායකයන් පත් කිරීමේදීත් රට වෙනුවෙන් සිතා කටයුතු කර ඇති බව මම මගේ මාධ්‍ය මිතුරකුට පැවසූ විට ඔහු මට පෙරළා ප්‍රකාශ කළේ “මචං සනා මාතර බව අමතක කරන්න එපා” යනුවෙනි.

එහෙත් ඉදිරියේදී කුමක් සිදුවේදැයි පැවසිය නොහැකි වුවත් මෙවර සනා ප්‍රමුඛ තේරීම් කමිටුව නායකයන් සහ කණ්ඩායම තේරීමේදී සැලසුමකට අනුව කටයුතු කර ඇති බව නම් පැහැදිලිව ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.

සනා මෙවර කණ්ඩායම තෝරා මාධ්‍ය සමග කතා කොට ඔහුගේ අනාගත සැලසුම් පිළිබඳව ප්‍රකාශ කළ අතර, එහිදී මාධ්‍යයට ඇතිවූයේ එකම පරස්පර තත්ත්වයක් පමණකි.
එනම් සංගා, මහේල සහ ඩිල්ෂාන් යන තිදෙනා බංගලිදේශය සමග ටෙස්ට් තරගාවලියේදී පාවිච්චි කරන්නේ කෙලෙසද යන්නයි.

ඔවුන් තිදෙනාම ටෙස්ට් තරග දෙකම ක්‍රීඩා කළහොත් තරුණ ක්‍රීඩකයන් අත්හදා බැලීමේ අවස්ථාව අහිමිවන අතර, සනා පවසන්නේ කණ්ඩායමේ සංයුතිය පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවයි.
එහෙත් තරුණ ක්‍රීඩකයන් පෙරට ගැනීමේ අවංක ච්ෙතනාවක් ඇත්නම් මෙම ක්‍රීඩකයන් තිදෙනාම එකම තරගයකට යොදා නොගෙන තරගයෙන් තරගයට යොදවා නවකයන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව තේරීම් කමිටුව අවධානය යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

මෙවර නායකත්වය අනිවාර්යයෙන්ම ඇන්ජලෝට හිමිවිය යුතු වූ අතර, සනත් ජයසූරියද පැවැසුවේ වත්මන් කණ්ඩායමේ එම තනතුර සඳහා සිටින හොඳම ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස් බවයි.
මැතිව්ස් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්වූ බොහෝ අවස්ථාවල එම තත්ත්වයෙන් පිල ගොඩ ගැනීමට දුන් සටන්කාමීත්වය තමන් ඉහළින් අගය කරන බව පැවසූ සනත් ඔහු සාර්ථක නායකයකු වනු ඇතැයි බලා‍පොරොත්තු පළ කළේය.

ඇන්ජලෝට ටෙස්ට් සහ එක්දින වගකීම පවරා ඉදිරි අනාගත නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල්ට උප නායකත්වයත්, 20-20 නායකත්වයත් පැවරූ බව සනත් ප්‍රකාශ කරයි.
ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේද එයයි. දිනේෂ් චන්දිමාල් පාසල් කාලයේ සිට විශිෂ්ට ක්‍රීඩකයකු මෙන්ම නිහතමානී නායකයකු විය. ඔහු පාසල් කණ්ඩායමේ නායකත්වය දරන අවධියේ පිට පළාත් ක්‍රීඩකයන් ඔහුට බොහෝ සෙයින් ආදරය කළේ ක්‍රීඩක අවශ්‍යතා සලකා බලා සැමට සාධාරණය ඉටු කරන නායකයකු බව පවසමිනි.

ඔහු ඇන්ජලෝගේ උප නායකයා ලෙස සිටිමින් වසර ගණනාවක් අත්දැකීම් ලබා ගත්තාට පසු ශ්‍රී ලංකාවේ සිටින හොඳම නායකයකු වනු ඇතැයි අනුමාන කළ හැක.

ශ්‍රී ලංකා නායකත්වය හිමිවීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී නව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසුවේ ශ්‍රී ලංකාව ටෙස්ට් සහ එක්දින ශ්‍රේණියෙන් පහත වැටී ඇති බැවින් ලොව පළමු තිදෙනා අතරට කණ්ඩායම රැගෙන යාම තම ප්‍රධාන අරමුණ බවයි.

මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඔහු හොඳින් අවබෝධ කරගෙන ඇති අයුරු පෙනේ. එහෙත් එම අභියෝගයට තමන් සූදානම් බව ඔහු පවසයි. ඉදිරි මාස කිහිපය තුළ ප්‍රබල ප්‍රතිවාදීන් සමග තරග වැදීමට සිදු නොවීම මැතිව්ස්ගේ වාසනාවකි. එවිට ඔහුට ක්‍රම ක්‍රමයෙන් කණ්ඩායම ගොඩනගාගෙන ප්‍රබල ප්‍රතිවාදීන් සමග සටනට පිවිසිය හැකි වේ.

මැතිව්ස්ගේ පළමු අභියෝගය වන්නේ කණ්ඩායම එකම පවුලක් සේ එකට බැඳ තබා ගනිමින් සියලු දෙනාගේ උපරිමය ලබා ගැනීමට උත්සාහ ගැනීමයි. නවකයන් බොහෝ දෙනකු නව තේරීම් කමිටුව ලබාදී ඇති බැවින් කණ්ඩායම ගොඩ නැංවීම ඔහුට පහසුවක් වී තිබේ.

මෙවර බංගලිදේශය සමග ටෙස්ට් තරගාවලියට 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තරුණ ක්‍රීඩකයන් රැසක් ඊට ඇතුළත් කිරීම සතුටුවිය හැකි තත්ත්වයකි.

තම රටේ තරගාවලියක් පවතින අවස්ථාවකදී ජාතික පිල සමග එක්ව කටයුතු කරමින් අත්දැකීම් ලබා ගැනීමට වැඩිපුර තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම ඉතා කාලෝචිත පියවරකි.

ශ්‍රී ලංකා අවු. 19න් පහළ කණ්ඩායම්වල ක්‍රීඩා කළ තරුණ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව හිමිවී ඇති අතර, අෂේන් සිල්වා, කිත්රුවන් විතානගේ සහ කුසල් ජනිත් පෙරේරාට අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටුව ගත් තීරණය අනාගතයට හොඳ ආයෝජනයකි.
ලකුණු අතර නොසිටින තිලාන් සමරවීර, තරංග පරණවිතාන සහ ප්‍රසන්න ජයවර්ධන බංගලිදේශය වැනි කණ්ඩායමක් සමග තම රටේදීම ක්‍රීඩා කරන අවස්ථාවේ පෙර වාර්තා නොසලකා හරිමින් ඉවත් කිරීමට තේරීම් කමිටුව ගත් තීරණය හොඳ තීරණයකි.

එසේ නොමැතිව ඔවුන්ගේ පෙර ලකුණු සාමාන්‍යයන් දෙස බලා තේරීම් කමිටුව කටයුතු කළා නම් යළිත් තරුණ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව අහිමි වීමට ඉඩ තිබුණි.

බංගලිදේශයේ සුපිරි දඟපන්දු යවන්නා වන ෂකිබ් අල් හසන්  මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් නවක පිතිකරුවන්ව කණ්ඩායමට එක්කර ගැනීමේ හොඳ අවස්ථාවක් හිමි වී තිබේ.
බංගලිදේශයට එරෙහි ප්‍රථම තුන්දින තරගයට කණ්ඩායම නම් කිරීමේදී යම් යම් ප්‍රශ්නකාරී තැන් ඇති නමුත්, සනත් පැවැසුවේ තම තේරීම් 100ක්ම නිවැරදි යැයි නොසිතන බවයි.

මෙහිදී රමිත රඹුක්වැල්ල දඟ පන්දු යවන්නකු ලෙස එම සංචිතයට නම් කර තිබිම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබුණි. එහෙත් සනත් පැවැසුවේ එම සංචිතය නම් කරන විට අන්තර් සමාජ තුන්දින තරගාවලියේ එක් තරගයක් පමණක් ක්‍රියාත්මක වී තිබූ බවයි.
පසුගිය සතියේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වූයේ ක්‍රීඩක ඒජන්තවරුන් සමග ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය තිබූ ගනුදෙනු සියල්ල අවසන් කළ බව ක්‍රිකට් ‍ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කිරීමයි.

පසුගිය කාලයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මහත් වසංගතයක්ව තිබූ මෙම ක්‍රිකට් ඒජන්තවරු හේතුවෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රීඩා කිරීමේදී ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවිය.

ක්‍රිකට් ඒජන්තවරු මුදල් වෙනුවෙන් ක්‍රීඩකයන් වෙන්දේසි කිරීමත්, ප්‍රිමියර් ලීග් තරග වසංගතයක් නිර්මාණය කිරීමත් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බල රහිත ආයතනයක් බවට පත්වී තිබුණි.
ක්‍රීඩකයන්ට සහ ඒජන්තවරුන්ට අවශ්‍ය අයුරින් ක්‍රිකට් තරග කාලසටහන නිර්මාණය කරන තරමටම ප්‍රශ්නය දුරදිග ගිය අතර, වසරකට ක්‍රීඩා කරන ටෙස්ට් තරග සංඛ්‍යාව අඩු කර ඒජන්තලාගේ අවශ්‍යතාවයට ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ගහන තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්වී තිබුණි.
මෙම ඒජන්තවරුන් සමග පැවති සම්බන්ධතාවය නැවැත්වීමත් සමගම ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් එළිදැක්වීමට ක්‍රිකට් ආයතනය වහා කටයුතු කළ යුතු වේ.

මෙහිදී මුදලට පෙර රටට ක්‍රිකට් ගැසීමේ කොන්දේසියක් ඉදිරිපත් කළ යුතු අතර, ඊට අකමැතිවන ක්‍රීඩකයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ගැසීමට නිදහස් කර රටට ආදරේ කරන රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයකි.

සංගා, මහේල, ඩිල්ෂාන් සහ මාලිංග දැන් “ප්‍රිමියර් ලීග් ගහන්න එපා” යනුවෙන් ප්‍රකාශ කිරීම ප්‍රතිඵල රහිත ක්‍රියාවකි. ඔවුන් ඉදිරි වසර 3ක් සඳහා ගිවිසුම් ගතවී සිටිති. ඔවුන් දැන් සිටින්නේද ජාතික පිලෙන් ඉවත්ව යන වයසේයි.

එහෙයින් දැන් මැතිව්ස්, චන්දිමාල් ප්‍රමුඛ නවක තරුණ ක්‍රීඩකයන්ව පී්‍රමියර් ලීග් වසංගතයෙන් බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම නොපමාව ආරම්භ කළ යුතු වේ. එය කතාවට පමණක් සීමා නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

සිදුවිය යුත්තේ ශ්‍රී ලංකාවේ තරග කැලැන්ඩරයට අනුව ක්‍රීඩකයන්ට වෙනත් තරගාවලි ක්‍රීඩා කිරීමේ ඇති ඉඩකඩ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමයි. එසේ නොමැතිව වෙනත් මුදල් හම්බ කිරීමේ තරගාවලි වෙනුවෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම නැවැත්වීම මින් පසු සිදු නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

මෙම ප්‍රිමියර් ලීග් වසංගතය නිසා ටෙස්ට් ක්‍රිකට් විනාශ වන බවත්, ක්‍රිකට් ඒජන්තවරු නිසා ක්‍රීඩකයන් පාලනය කිරීමට නොහැකි වනු ඇති බවත් මීට කලකට පෙර හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවැසූ බව මේ අවස්ථාවේ මතක් කළ යුතු වේ.

අර්ජුන එදා සටන් කළ දේ පසුව හෝ ක්‍රිකට් බලධාරීන් අවබෝධ කර ගැනීම ගැන සතුටු විය යුතුය. ක්‍රීඩක ඒජන්තවරුන්ගේ යුගයක් යළි ඇති නොවේවායි ක්‍රීඩා ලෝලීන්ගේ පැතුමයි.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ඒජන්තවරුන් සමග කිසිදු සම්බන්ධයක් නොපවත්වන බව පැවැසූ නිශාන්ත පිටත්ව යන ගමන් ප්‍රකාශ කළේ “තව දේවල් ඉස්සරහාට කරනවා” යනුවෙනි. “හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” ඇතැයි මීට පෙරද ප්‍රකාශ වුවද ප්‍රතිඵල නම් දක්නට නොලැබුණි. නිශාන්ත කී පරිදිම මෙම ප්‍රිමියර් ලීග් වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු.

20-20 උප නායකත්වයට පත්වූ ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකිරීම පිළිබඳව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න මතුවිය. ඕස්ට්‍රේලියාවේදී වේගපන්දු යවන්නන් ආබාධවලට ගොදුරු වෙද්දී මාලිංග බිග් බෑෂ් තරගාවලිය ක්‍රීඩා කළ බවත්, ඔහු ටෙස්ට් තරගවලට කැඳවූයේ නැත්තේ ඇයි දැයි මාධ්‍ය විමසීය.
එහිදී මාලිංගට ඇත්තේ කලාතුරකින් ක්‍රීඩකයකුට එන දණහිසේ ආබාධයක් බවත්, එය ලොව බොහෝ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවෙන් පසු ඔවුන් ලබාදී ඇති සැලසුමකට අනුව ඔහු තරග සඳහා යොදවන බවත් සනත් ජයසූරිය සහ නිශාන්ත රණතුංග පැහැදිලි කළේය.

එහෙත් දිගින් දිගටම ප්‍රශ්න ඇසීමේදී තම කණ්ඩායම් සගයා වෙනුවෙන් කතා කළ ඇන්ජලෝ මැතිව්ස් පැවැසුවේ මාලිංග පිළිබඳව වැරදි චිත්‍රයක් ඇති නොකරගන්නා ලෙසයි.

මාලිංග කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කරන බව පැවැසූ මැතිව්ස්, ඔහුගේ ආබාධය අනුව ටෙස්ට් තරගයක දිනකට පන්දුවාර 20ක් පමණ යැවීමට නොහැකි බවත් පැවැසීය. ඔහුගේ සේවය වැඩි කාලයක් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු බව මැතිව්ස් ප්‍රකාශ කළේය.

මේ අතර පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වූ මාලිංග නරඹන්නෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවැසුවේ පසුගිය 20-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී රට වෙනුවෙන් ජයග්‍රහණය ලබාදීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටු වන බවයි.

තමන් සුපිරි පන්දුවාරයත් පවා හොඳින් යවා සෙසු සියලුම තරගවලදී රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ බව පැවැසූ මාලිංග අවසන් තරගයේදී තම යුතුකම ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව නිහතමානීව කණගාටුව පළ කළේය.

මෙම අවසන් තරගයේදී කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල්ස් අතින් ලසිත් මාලිංග දරුණු ප්‍රහාරයකට ලක්වුවද ඉන් පසු පැවති ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගයකදී මාලිංගගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් සැමුවෙල්ස්ට මාස 3ක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වී සිටීමට සිදුවිය.

කෙසේ වුවද බංගලිදේශයට එරෙහිව ටෙස්ට්, එක්දින සහ 20-20 තරගාවලි සඳහා ඇත්තේ තව දින 10ක පමණ කාලයකි. අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේදී ප්‍රවේග-කාරී පිතිකරණයක යෙදුනු ක්‍රීඩකයන්ට එක්දින සහ 20-20 වරම් ලබාදෙන බවට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කළේය.

නව තරුණ නායකයන් පත්කිරීමට තරුණ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව ලබා දීමට සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස් සහ එරික් උපශාන්තගෙන් යුත් තේරීම් කමිටුව ක්‍රියා කර තිබේ.

එහෙයින් අවස්ථාව ලැබුණු සියලුම ක්‍රීඩකයන් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට වගබලාගත යුතු වේ. එවිට නවකයන්ට ජාතික පි‍ලේ ස්ථාන තහවුරු කරගත හැකි වේ. එසේ නොමැතිව ලැබුණු අවස්ථාව පැහැර හැර තේරීම් කමිටුවට දොස් පැවරීමෙන් පලක් නොවේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් එළැඹෙන බංගලිදේශ තරගාවලියේදී “තරුණ ජවය” වැඩ පෙන්වනු ඇතැයි ක්‍රීඩා ලෝලීහු දැඩි ඕනෑකමකින් බලා සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all