අපේ
කලාපයෙන් එහා සැතපුම් ගව් ගණනක් ඈතින් පිහිටියද කොරියාව යනු අපට නුහුරු
නුපුරුදු රටක් නොවේ. උතුරු හා දකුණු ලෙස බෙදී ඇති කොරියානු අර්ධද්වීපයේ
දඩබ්බරයා වන්නේ උතුරු කොරියාවයි. හුදකලා වූ රාජ්‍යයක් ලෙස වැජඹෙමින් කාටත්
හොර රහසේ ඔවුන් සිදු කරන න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වල නම් අඩුවක් නොවේ.
තුන්වන න්‍යෂ්ටික අත්හදා බැලීමද සාර්ථකව සිදු කළ බව පසුගියදා උතුරු කොරියාව
නිවේදනය කළේ මහ උජාරුවෙනි. ඔවුන්ගේ මේ න්‍යෂ්ට්ක ක්‍රියාකාරකම් නිසා දැන්
ජාත්‍යන්තරයේ අවධානයද එරට වෙත යොමුව තිබේ. උතුරු කොරියාව සිය න්‍යෂ්ටික
අත්හදා බැලීම් ඔස්සේ කරන්නට යන්නේ කුමක්ද ? ඒ තුළ සැඟවුණු රහසක් වේද ? මේ
ලිපියෙන් ඒ ගැන විමසා බලමු.
න්‍යෂ්ටික අත්හදා බැලීමකට මුලින්ම උතුරු කොරියාව අත්‍පොත් තැබුවේ 2006 වසරේදීයි. එය සාර්ථක වීමෙන් පසු 2009 දී දෙවන අත්හදා බැලීම සිදු කළ ඔවුන් 2013 දීද නැවතත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරා ගියේ තෙවන වතාවටයි. ඔවුන් මේ සියල්ල සිදු කළේ රොකට් යානා ගුවන්ගත කිරීම්වලට එරෙහිව එක්සත් ජාතීන් පැනවූ සම්බාධකවලින් පසුව වීමද විශේෂත්වයක් වේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වා ඇත්තේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලිනි. මින් පළමු හා දෙවන අත්හදා බැලීම් ප්ලුටෝනියම් සඳහා යොදා ගන්නට ඇති බව විචාරකයන්ගේ මතයයි. මේ අතර තෙවන අත්හදා බැලීම ඉතා ඉහළ මට්ටමේ වන බව උතුරු කොරියාව කියා තිබේ. පුපුරණ ද්‍රව්‍ය අඩංගු මිසයිල හා න්‍යෂ්ටික බෝම්බ නිපදවීම මේ අත්හදා බැලීම්වල අරමුණයි. නවතම අත්හදා බැලීම ඉතා සාර්ථක බවත්, එය මින් පෙර සිදු කළ ඒවාට වඩා විශිෂ්ට ගණයේ අත්හදා බැලීමක් බවත් කියමින් උතුරු කොරියාව උදම් අනද්දී ලෝකයාම ඔවුන් දෙස බලන්නේ දෙගිඩියාවෙනි. ඒ මොවුන් කුමක් කරන්නට යන්නේද යන කුහුලෙන් යුතුවයි.
උතුරු
කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාවලිය ගැන වැඩියෙන්ම භීතියට පත්ව ඇත්තේ ඇමෙරිකාව
හා උතුරු කොරියානු අසල්වාසීනුයි. න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය අඩංගු මිසයිල
නිපදවීමට උතුරු කොරියාව ක්‍රියා කළහොත් එහි වැඩිම අවදානම ඇත්තේ එම රටවලට
වීම ඊට හේතුවයි. දැනට ලැබි ඇති ආරංචිවලට අනුව නම් මොවුන් මේ අත්හදා බැලීම්
කරන්නේ භූගතවයි. ප්ලුටෝනියම්වලට වඩා වැඩි සක්‍රියතාවක් ඇති යුරේනියම්
අත්හදා බැලීම් සඳහා දැන් උතුරු කොරියාව යොමුව සිටින බව බොහෝ දෙනාගේ සැකයයි.
තම නවතම අත්හදා බැලීම් ගැන ඔවුන් මෙතරම් අනතුරු ඇඟවීම් කරන්නේ ඒ නිසා බව
ඔවුන්ගේ මතයයි. කෙසේවුවද ඉහළ තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන මේ අත්හදා
බැලීම් කුමකින් වුවද සිදු විය හැකි අවදානමේ තරම අඩුවක් නොවේ. ඇමෙරිකාව
ප්‍රමුඛ රටවල් මේ ගැන සොයා බැලීමට උනන්දු වන්නේ එබැවිනි. උතුරු කොරියාව
කාටත් හොර රහසේ හුදකලාව සිදු කරන න්‍යෂ්ටික අත්හදා බැලීම්වල සැබෑ ස්වරූපය
අනාවරණය කර ගැනීමට දැන් ජාත්‍යන්තරය පෙළ ගැසී සිටියි.
උතුරු කොරියාවේ ප්‍රධානම න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇත්තේ යොන්බියොන්වල බවට විශ්වාසයක් වේ. එම ප්‍රදේශයේ කරන මෙහෙයුම් නවත්වන බවට කිහිප වතාවකදීම උතුරු කොරියාව පොරොන්දු දී තිබේ. එහෙත් ඒවා ක්‍රියාත්මක වී ඇති සෙයක් නම් පෙනෙන්නට නැත. අසල්වැසි දකුණු කොරියාව හා ඇමෙරිකාව කියන්නේ යුරේනියම් අත්හදා බැලීම් සිදු කළ හැකි වෙනත් බලාගාර උතුරු කොරියාව සතු වන බවයි. සිවිල් වැසියන්ගේ බලශක්ති අවශ්‍යතා උදෙසා බව කියමින් ඔවුන් මේවායේ යුරේනියම් අත්හදා බැලීම් කරන බව වැඩි දෙනාගේ අදහසයි.
මේ න්‍යෂ්ටික ක්‍රියාවලින් අත්හරින ලෙසට බල කරමින් උතුරු කොරියාව සමග ඇමෙරිකාව, රුසියාව, චීනය, ජපානය හා දකුණු කොරියාව සාකච්ඡා වට කිහිපයකටම එළඹියද ඒවා සාර්ථක වී නැත. ඇතැම් අවස්ථාවල එකඟතාවලට එළැඹියද උන්හිටි ගමන් උතුරු කොරියාව සිදු කරන දඩම්බර ක්‍රියා හමුවේ ඒවා බිඳ වැටේ. උතුරු කොරියාවේ නායකත්වය දැරූ කිම් ජොන්ග් ඉල් මිය ගිය පසු බලයට පත් ඔහුගේ පුත් කිම් ජෝන්ග් අන් යටතේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හිටුවීමට දුන් පොරොන්දුවට තුටු පඬුරක් සේ ඇමෙරිකාව ආහාර සහනාධාර ලබා දීමටද එකඟ වී තිබුණි. එහෙත් හදිසියේම උතුරු කොරියාව සිදු කළ රොකට් යානා ගුවන්ගත කිරීමක් නිසා ඒ ගනුදෙනුවටද තිත තැබිණි. දැන් ඔවුන් හිතුමනාපේ සිය මෙහෙයුම්වල යෙදී සිටියි. මේ හරහා ඔවුන් කොයි වේලේ ක්‍රියාත්මකවේදෝයි බියක් ලෝක බලවතා වූ ඇමෙරිකාව තුළ නැතුවා නොවේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය අවදි කිරීමට ඔවුන් පෙළඹෙන්නේ එබැවිනි. උතුරු කොරියාවෙන් යම් කෙනෙහීමක් සිදු වුවහොත් ඇමෙරිකාව නිකම් බලා සිටිනු නැත. ඔවුන් දැනටමත් දකුණු කොරියානු දේශ සීමා තුළ සිය හමුදා යොදවා තිබේ.
කෙසේ වුවද ඉදිරි වසර කිහිපය තුළ න්‍යෂ්ටික තාක්ෂණයේ නියමුවා බවට පත් වීමේ හැකියාවක් උතුරු කොරියාව සතු වේ. ලෝකයාගේම දෑස් වසා මේ වෙද්දී උතුරු කොරියාව සිදු කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ එවන් තත්ත්වයකට ඔවුන් ළඟා නොවේ යැයි කිව හැක්කේ කාටද ?
0 comments:
Post a Comment