Photobucket

Sunday, February 24, 2013

වගකීම දැන සටනට එනු !

අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ව්‍යqහය සුපිරිසිදු කිරීමේ මහා කර්තව්‍ය දැන් ආරම්භ වී තිබේ. පරිපාලනයේ සිට ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයනුත්, එතැනින් අන්තර් ක්‍රීඩා සමාජ මට්‌ටමේ සිට පාසල දක්‌වාත් විහිදෙන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ජාලය මේ වන විට අලුත් පරිච්ඡේදයක්‌ ආරම්භ කළ යුතුව තිබේ. ඒ සඳහා ප්‍රධාන සාධකයක්‌ බවට පත් වන ක්‍රිකට්‌ නිලවරණ සටන දැන් ඇරඹී ඇත.


ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම මේ පසුවන්නේ සිය සුපිරි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නික්‌ම යන සමයකය. නව නායකත්වය සමග නවක සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පිටියේ රංගනය පිළිබඳව එදිනෙදා ඔවුන්ගේ දක්‍ෂතා අනුව මාතෘකාවට බඳුන් විය හැකිය. ඒ සඳහා වගකිව යුතු ක්‍රිකට්‌ තේරීම් කමිටුවක්‌ ඇති බැවින් ක්‍රීඩකයන්ට පෙර තේරීම් කමිටුව වෙත ඇඟිල්ල දිගු කළ හැකිය.

ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ තේරීම් කමිටුවට ඇති භාර දූර වගකීම ඔවුනොවුන්ට පැහැදිලිය. එහෙත් ක්‍රිකට්‌ නිලවරණයෙන් කවුරු තේරී පත් වුවද ඔවුන්ගේ වගකීම පැහැදිලිද යන්න සාකච්ඡාවට බඳුන්විය යුතුව තිබේ. ක්‍රිකට්‌ නිලවරණ උණුසුම ළංවීමත් සමග ක්‍රිකට්‌ ආයතන ඉහළ පුටුද හතර අතේ කරකැවෙන්න පටන් ගෙන තිබේ. ඒ ඔවුන්ගේ ඊළඟ පිම්ම සඳහාය.

ක්‍රිකට්‌ ආයතනයේ දුක සැප හොඳට දන්නා කිහිප දෙනෙක්‌ මේ වන විටත් නිලවරණයට ඉදිරිපත් වීමට විපරම් කරමින් සිටිති. විටෙක අර්ජුන රණතුංගද, තවත් විටෙක උපාලි ධර්මදාස හෝ ජයන්ත ධර්මදාසද නැතිනම් තිලංග සුමතිපාලද ඉදිරිපත් වනු ඇතැයි ඉඟි පලවුවද සිය නිල ඉල්ලුම්පත් මේ වන විට කිසිවෙකුත් භාරදී නොමැත.

මෙවර නිලවරණයෙන් සභාපති ධූරය භාරගන්නා තැනැත්තාට වසර දෙකක නිල කාලයක්‌ ලබාදීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගැනීම කාලෝචිත ක්‍රියාවකි. වසරක කාලයක්‌ යනු දින 365 කි. දින 365 කින් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ක්‍රම සම්පාදන කිරීමට වඩා වසර දෙකක කාලයක්‌ ලබාදීමෙන් ක්‍රිකට්‌ වෙනුවෙන් වැඩක්‌ ගත හැකිය. එසේ කළ හැකි වන්නේ ඒ සඳහා සද්භාවයෙන් ක්‍රියාකරන පරිපාලකයකුට පමණි. පසුගිය වසරවල සිදුවූයේ අතුරු කමිටු මගින් හිතු මතේට සමස්‌ත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නැටවීමය. එබැවින් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට අතුරු කමිටු තහනම් කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් ලැබුණු හොඳ තීරණයකි.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති උපාලි ධර්මදාස ඉකුත් නිලවරණයට දින කිහිපයකට පෙර 'දිවයින ඉරිදා ක්‍රීඩා සංග්‍රහය' සමග පැවැති සාකච්ඡාවකදී පවසා සිටියේ සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවක සංඛ්‍යාව 40 කට සීමා කරන බවයි. එහෙත් දැන් ඔහුගේ එම ධූර කාලයේ අවසන් සති කිහිපය ගෙවෙමින් තිබේ. නමුත් ක්‍රිකට්‌ ආයතනයේ සේවක සංඛ්‍යාව 240 ක්‌ පමණ බව වාර්තා වේ.

1997 වසරේදී උපාලි ධර්මදාස මහතා ක්‍රිකට්‌ සභාපති ධූරය දරන අවස්‌ථාවේ පඩි ගෙවිය යුතු සේවක සංඛ්‍යාව හතක්‌ පමණ බව ඔහු එදා පැවසීය. නමුත් ඊට වසර 15 කට පසු යළිත් ඔහු එම තනතුරට පත්වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන සේවක සංඛ්‍යාව 280 කට ආසන්නව තිබිණි. ක්‍රිකට්‌ ආයතනය බිලියන 20 කට වඩා ණය වී තිබිණි. එහෙත් උපාලි ධර්මදාස පුටුවට පැමිණීමෙන් පසු පෙර කී දෑ තනතුර හොබවන කාලසීමාවේදී ක්‍රියාවෙන් කිරීමට පෙර කාලය ගෙවී ගොස්‌ය. තවමත් සේවක සංඛ්‍යාව 200 ඉක්‌මවා තිබීම එයට හොඳම නිදසුනකි. ක්‍රිකට්‌ ආයතනයේ උසස්‌ නිල දරන තැනැත්තන්ට කරන්නට දෙයක්‌ නැත. ඔවුන් එක්‌ අයෙකුට ලේකම්වරු තුන හතරක්‌ සිටින බව වාර්තාවේ. ඒ සියලු දෙනාට ප්‍රවාහන පහසුකම් සමග සුපිරි පහසුකම්ය.

මෙම නිලවරණයේදී සභාපති තනතුර ඇතුළු සෙසු නිලතල හොබවන නිලධාරීන්ට ලෝක කුසලාන සංවිධායක කටයුතු නොමැත. එවිට ලැබෙන ප්‍රතිලාභද වෙනදාට සපේක්‍ෂව සොච්චමකි. 2011 පන්දුවාර පනහ ලෝක කුසලාන සහ 2012 විස්‌සයි-20 ලෝක කුසලාන සංවිධායක කටයුතු කළ ශ්‍රී ලංකාව තවමත් බැංකු වලට ණය වී සිටියි. ඒ ඩොලර් මිලියන ගණන් ලෝක කුසලාන සංවිධානය වෙනුවෙන් ලැබී තිබියදීය. එබැවින් ලෝක කුසලාන වලින් ක්‍රිකට්‌ ආයතනයට යළිත් ලාභ ලැබීමට නම් තව වසර ගණනක්‌ බලා සිටීමට සිදුවනු ඇත. මේ සියලු අහේනිකම් වලට ඔරොත්තු දිය හැකි සභාපතිවරයෙක්‌ මෙවර පත්විය යුතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉදිරිය අහේනියකින් තොරව පරිපාලනය කිරීමටය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග යළිත් ලේකම් ධුරය හෝ ප්‍රධාන විධායක ධුරයට පත්වන බවට රාවයක්‌ පවතී. ඔහු එම තනතුරට නිරායාසයෙන් හෝ පත්වන බවට ඉඟි පල වන්නේ මේ දිනවල ඔහුගේ මූලිකත්වය ඇතිව කරන ලද වැඩ කොටස නිසාවෙනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගාවලි සඳහා සහභාගි වීමේදී ලබාදෙන 25% ක දීමනාව කප්පාදු කිරීම, ක්‍රීඩකයන්ගේ ක්‍රිකට්‌ කළමණාකරුවන්ට ලැබෙන මුදල් කප්පාදු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමග නව ගිවිසුමකට ක්‍රීඩකයන්ව පෙළ ගැස්‌වීම යන කරුණු කාරණා පිළිබඳව, වැඩි අවධානයක්‌ යොමුකිරීම තුළින් යළිත් වරක්‌ ඔහුට ක්‍රිකට්‌ ආයතනයේ රැකියාවක්‌ විවෘතව ඇති බව පැහැදිලි වේ. ජාතික ක්‍රීඩකයන්ගේ සියලු දේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් නඩත්තු කරන්නේ නම් කළමණාකරුවකට ලැබෙන මුදල ක්‍රිකට්‌ ආයතනයට ලැබීම සාධාරණ වනු ඇත.

දේශීය ක්‍රීඩාවේ වැඩිම වැටුප් ලබන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ය. එහි තර්කයක්‌ නොමැත. ඔවුනට කොතෙක්‌ වැටුප් ලැබුණද එයට යමෙකු ඊර්ෂ්‍යා කරන්නේ නම් එය කුහක කමකි. නමුත් ක්‍රීඩකයන්ගේ පදයට නටන පරිපාලනයක්‌ වෙනුවට හරි පදයට නටන නව පරිපාලනයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට අවශ්‍ය වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය බැංකුවලට ණය වී තිබුණද ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට ඉකුත් ඔස්‌ටේ්‍රයානු සංචාරය සඳහා රුපියල් මිලියන හතරකට වඩා වියදම් කර බව අනාවරණය වේ. මේ සියලු වියදම් කිරීමට පෙර ණය බරින් නිදහස්‌ විය යුතුය යන මනස ක්‍රිකට්‌ බලධාරීන්ට නොතේරීම අහේතුවකි.

ක්‍රීඩකයන්ගේ මානසික සහ කායික ශක්‌තිය වෙනුවෙන් හැකි පමණ මුදල් ලබාදුන්නද, ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් කොතරම් ප්‍රසාද දීමනා ලබාදුන්නද එහි වටිනාකමක්‌ තිබිය යුතුය. එබැවින් සියල්ල එක්‌ රැයකින් විනාශ නොකර අනාගතය සඳහා ආයෝජනයක්‌ ඇති කළ හැකි නිලධාරීන් පිරිසක්‌ මෙවර නිලවරණයට පැමිණීම අනිවාර්ය වේ.

හරූන් ලෝගාට්‌ වැන්නන් ගෙන්වා දමාගත් 'ගොන් පාට්‌' වැඩ නතර කළ යුතුය. ඔහුට කෝටි එකහාමරක්‌ ලබාදී පුස්‌ වාර්තාවක්‌ ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට සිදුවූ සෙතක්‌ අපි නොදනිමු. ඔහුගේ වාර්තාවේ තිබූ දේ මෙරට ක්‍රිකට්‌ පිළිබඳව ඇස යොමුකර සිටින සියල්ලෝම දන්නා කරුණුය. අනුග්‍රහකයකු නොමැතිව ලතවෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමයට එම මුදල ලබා දුන්නේ නම් එය කදිම ආයෝජනයකි. නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. ඉතිරිව ඇත්තේ සද්භාවයෙන් ක්‍රිකට්‌ දියුණු කරන එවුන්ගේ පැමිණීම පමණි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all