Photobucket

Saturday, February 23, 2013

රිටිගහවැව පෙරළු ඒ අද්භූත වස්‌තුව කුමක්‌ද?

හොරොව්පොතාන පොලිස්‌ බල ප්‍රදේශයේ රිටිගහවැව ගමේ ඉකුත් 13 වැනිදා රාත්‍රි මහා විශාල ශබ්දයක්‌ නැගී ඒ සමඟ අද්භූත එළියක්‌ ද හටගත්තේය. නිවෙස්‌වල සෙවිලි ගලවා ගෙන ගෙවතුවල දැවැන්ත ගස්‌ කොළන් ද පෙරළා ගෙන ගිය සිද්ධියක්‌ පිළිබඳ සොයා බැලීමට එම ගම්මානයට ගියෙමි. එම ගමට මා නුහුරු නුපුරුදු ආගන්තුකයෙකු වුවත් මා දුටු ගම්වාසීන් බොහෝ දෙනෙක්‌ දුවගෙන මාව වටකර ගත්තේ මීට දින කීපයකට පෙර සිද්ධවූ අද්භූත සිදුවීම ගැන යමක්‌ තමන්ට පහදා දෙන්නට පැමිණියාදොa යන බලාපොරොත්තුවෙනි. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ දේට පිළිතුරක්‌ ලබා දෙන්නට තරම් අපටද හැකියාවක්‌ නොවීය. කාගේත් කුතුහලයට මෙන්ම විමතියට පත් මෙම සිදුවීම ගැන සවිස්‌තරාත්මක තොරතුරු ලබා ගැනීමට මා පැමිණි බව ගම්වාසීන් වටහා ගැනීමත් සමඟ පළමුවෙන්ම සිද්ධිය ඇසින් දුටු රිටිගහවැව ගමේ පදිංචි ඩී. ප්‍රියංගිකා සංජීවනී මහත්මියගේ නිවසට ගියෙමි. එහිදී තම අත්දැකීම ඇය විස්‌තර කළේ මේ ආකාරයටයි. පසුගිය 13 වැනිදා රෑ ටී.වී. බලමින් සිටියා. ඒ වෙලාවේ ගුඩු ගුඩු ගාලා මහා විශාල ශබ්දයක්‌ ඇසුණා. ඒ ශබ්දය හරියට හෙලිකොප්ටර් යානයක ශබ්දයක්‌ වාගෙයි. හෙලිකොප්ටර් යානයක්‌ අපේ ගෙවල් ආසන්නයේ උඩින් යනවදොa කියලා මමත් මගේ මහත්තයත් මිදුලට ඇවිත් වටපිට අහස දෙස බැලුවා. ඒ මොහොතේ මගේ දරු දෙන්නයි අම්මයි ගේ ඇතුලේ සිටියා. අපේ ගමට උතුරු දිසාවෙන් වෙල්යාය හරහා අපේ ගේ පැත්තට මහා භයංකර ශබ්දයක්‌ සමඟ යමක්‌ එන බව වැටහුණා. ඒත් එක්‌කම පොළවේ සිට අඩි 20 ක්‌ පමණ උසින් ශබ්දයක්‌ සමඟ ගිනි බෝලයක්‌ වගේ විශාල එළියක්‌ මතුවුණා. එළියත් සමඟ එන යමක්‌ අපේ ගේ ආසන්නයට එන ආකාරය දැක්‌කා. ඒ වෙලාවේ මමත් මගේ මහත්තයත් ගේ ඇතුළට දුවගෙන ගොස්‌ දොර වහ ගත්තා. 

ගෙය තුළ සිටි ඇගේ මව වන ආර්. විමලාවතී (56) මහත්මිය සිද්ධිය විස්‌තර කළේ මේ ආකාරයටයි. මම පුතාලට ඉස්‌කෝලෙ වැඩ වගයක්‌ කියා දෙමින් සිටියේ. මගේ දුවයි පුතයි කෑ ගහගෙන දොර වහගෙන ගේ ඇතුළට ආවා. ඒත් එක්‌කම විශාල එළියක්‌ ජනේලයෙන් ගේ ඇතුලට ආවේ මහා ශබ්දයක්‌ එක්‌ක. මට හිතුනේ චොපර් එකක්‌ ගේ ඇතුළට කඩාගෙන එනවදෝ කියලා. මම හයියෙන් කෑ ගැහුවා මගේ ළමයි කෝ කියලා. දුව කිසිවක්‌ කියාගන්න බැරිව බිරාන්ත වෙලා සිටියා. පොඩි ළමයින් දෙන්නත් අරන් අපි ඔක්‌කොම මේසේ යටට රිංගුවා. ආව එළියත් සමඟ දඩ දඩ ගාල ගේ වහලේ යමක්‌ වැදුනා. මේ සියල්ල සිද්ධ වෙන්න විනාඩි 2 - 3 ක්‌ වත් ගත වුණේ නෑ. මගේ දුවයි පුතයි මිදුලේ ඉඳලා ගේ ඇතුළට පැන ගත්තේ නැත්නම් ඔවුන්ට කිසියම් අනතුරක්‌ වෙන්න තිබුණා. මට දැන් අවුරුදු 56 යි. මුළු ජීවිත කාලෙටම මේ වගේ සිද්ධියක්‌ දැකලා තියා අහලවත් නෑ. අපි ඔක්‌කොම හොඳටම බය වුණා. එළියටවත් ආවේ නෑ. ගෙයි ඉඳන්ම අල්ලපු ගෙදර අයියා කෙනෙකුට කතා කළා. ඔහු ආවාට පසුවයි අපි ගේ දොර අරලා බැලුවේ. ඒ වෙනකොට වහලේ පැත්තක උළු පෙරලාගෙන ගිහින් ගේ බිත්ති දෙපළකින් පුපුරලා තිබුණා. මේ පිළිබඳ පුතා රෑම 119 ට දැනුම් දුන්නා. පසුදා උදේ ග්‍රාම නිලධාරි මහතා හා හොරොව්පොතාන පොලිසියේ මහත්වරු ආවා. වුණ සිද්ධිය අපි පැහැදිලි කළා. ඒ මහත්වරුන්ටත් මේ ගැන වටහාගන්න බැරිව ගියා. වහලේ උළු ටික වහගන්න කියලා අපට උපදෙස්‌ දුන්නා.

එල්. පී. ජයසේන මහතා සිද්ධිය විස්‌තර කරමින් එදා සවස වැසි සහිත කාලගුණ තත්ත්වයක්‌ තිබුණත් එතරම් තද වැස්‌සක්‌ තිබුණේ නෑ. වරින්වර ටික ටික පොද ඇල්ලක්‌ ගියා. සුළඟ ද සාමාන්‍ය සුපුරුදු අන්දමට තිබුණා. රාත්‍රි 7.00 ට පමණ වෙල්යාය පැත්තෙන් විශාල ශබ්දයක්‌ ඇසුනා. අපි දොරවල් වහගත්තා. ඒ ශබ්දය හරිම බය හටගන්නා ශබ්දයක්‌. එළිවෙනකල් අපි ගෙවල් වලින් එළියට ආවේ නෑ. උදේ බලන විට ගමේ ගෙවල් කීපයකම වහළවල්වල උළු, සීට්‌, තහඩු පෙරළාගෙන ගිහින් තිබුණා. ඒ විතරක්‌ නෙමෙයි මගේ වත්තේ හූරි හා තේක්‌ක ගසකුත් පෙරළාගෙන ගිහින් තිබුණා. අපි සුළි සුළං වලටත් මුහුණදීලා තියෙනවා. ඊට වැඩි විශාල බලයක්‌, ශක්‌තියක්‌ මේ ගමන් කරපු දේට තියෙන්න ඕනෑ. එසේ නැතිනම් මේ වගේ දැවැන්ත ගස්‌ පෙරළාගෙන යන්න පුළුවන් කමක්‌ නෑ. ගම තුළ කි. මී. 01 පමණ දුරට මෙය ගමන් කර තිබුණත් එහි විශේෂ ලක්‍ෂණයක්‌ වන්නේ නිවාසවලට මෙන්ම ගස්‌වලට හානිසිදුව ඇත්තේ තැනින් තැන්වලයි. ඒ විතරක්‌ නොවෙයි. එය ගමන් කිරීමේදී එහාට මෙහාට පැන පැන ගියා වගෙයි (සිග් සැග් ක්‍රමයට වාගෙයි) එකම දිසාවකට ගමන් කර නෑ.

ඇත්ත වශයෙන්ම මෙම සිදුවීම දෙස ඇසින් දුටු කෙනෙකුට එය විෂ්මයජනක සිදුවීමකි. ඒ සම්බන්ධව රිටිගහවැව ගමේ වැඩිහිටි කිහිපදෙනකුගෙන්ම අදහස්‌ විමසා බැලුවෙමි. එහිදී ඔවුන් පවසා සිටින්නේ මෙම ගම්මානය අවුරුදු 100 කට වැඩි පැරැණි ගමක්‌ බවත් එදා මෙදා තුර මේ ගමට අකුණුසර වැදීමක්‌, උල්කාපාත වැනි ග්‍රහ වස්‌තු පතිත වීමක්‌, පිට සක්‌වල ජීවීන්, පාවෙන පීරිසි, ගුවන්ගත චJද්‍රිකා, ටොනාඩෝ වැනි විවිධ ග්‍රහ වස්‌තුන් හා ක්‍රියාකාරකම් ගැන අහලා තිබුණත් මේ කිසිවක්‌ මේ ගමට පහත් වී නොමැති බව ඔවුන් පවසති. මෙම සිදුවීම ගැන යමක්‌ කිව හැකිය. ගමන් ගන ඒ යම්කිසි වස්‌තුව එකම දිසාවකට ගමන් කර නොතිබීමත්, මෙය සිග් සැග් ක්‍රමයට ගමන් කර කි. මී. 1 පමණ දුරට ගමන් කර තිබේ. ඉන් එහාට ගමන් කර ඇත්තේ කිනම් දිසාවකට ද යන්න අපැහැදිලිය. මේ සම්බන්ධව අවට ගම්මානවලින් කිසිවක්‌ වාර්තා නොවේ. මෙය ගමන් කිරීමේදී අඩි 30 ක්‌ පමණ පළලට හා අඩි 20 ක්‌ පමණ උඩින් ගමන් කර ඇත. එසේ ගමන් කිරීමේදී ඇතැම් ස්‌ථානවලින් පොළාවට ඉතාමත් පහළින්ද, තවත් ස්‌ථානවලින් තරමක්‌ උසින් ද ගමන් කර ඇති ආකාරයක්‌ දක්‌නට ලැබේ. කුඹුරුවල ඇති මිටි පඳුරු සහිත ඉතාමත් ශක්‌තිමත් මයිල ගස්‌ ගලවා පෙරළා ඇත්තේ පහළින් ගමන් කිරීම තුළින්. එහිදී කුඹුරුවල ගොයම් පනාවකින් පීරුවා සේ දෙපැත්තේන් එකට එක්‌කර උඩට ගත් ආකාරයක්‌ දක්‌නට ලැබේ. ගම්වාසීන් පවසන අන්දමට මෙය කිසියම් යානයක්‌ පියාසර කරන්නට ඇති බවයි ඔවුන් අනුමාන කරන්නේ. එසේ උපකල්පනය කළහොත් තවත් සැකයක්‌ මතුවන්නට පුළුවන. උඩින් පියාසර කරන ලද කිසියම් යානයක්‌ වහළයක හෝ ගසක ගැටුනොත් එම ගමන් ගත් යානයට ද කිසියම් හානියක්‌ හෝ අනතුරක්‌ සිදු නොවිය යුතුද. සිතා බැලිය යුතුයි. එසේ සිදු වූවා නම් ඒ සම්බන්ධව ද කිසිදු සළකුණක්‌ දක්‌නට නොලැබේ. මේ පිළිබඳ පර්යේෂකයන්ගේ ස්‌ථිර සාර නිගමනයක්‌ හැරෙන්නට අපි කිසිවකුටත් මේ සම්බන්ධව කරුණු දැක්‌විය නොහැක. එසේ නම් ඊට අදාළ පර්යේෂණ විද්වතුන්ගේ අවධානය යොමු කෙරෙත්වා යෑයි අපි අපේක්‍ෂා කරන්නෙමු.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all